මෙරට ආර්ථි­කයේ සංව­ර්ධ­න­යට 'සතුටු පවුල' සංක­ල්පය ඉතා වැද­ගත් | දිනමිණ

මෙරට ආර්ථි­කයේ සංව­ර්ධ­න­යට 'සතුටු පවුල' සංක­ල්පය ඉතා වැද­ගත්

රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය

මෙරට ආර්ථිකයේ සංවර්ධනයක් සිදු කරන විට 'සතුටු පවුල' සංකල්පය වඩාත් වටිනා බව සමාජ ආරක්ෂණ රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතා පැවැසීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකාවේ වෘත්තීයවේදී සමාජ සේවකයන්ගේ සංගමය සහ ජපානයේ සමාජ සේවකයන්ගේ සංගමය එක්ව පවුල් ඒකකය ශක්තිමත් කිරීමේ දී සමාජ සේවකයන්ගේ කාර්යභාරය තේමාවෙන් පෙරේදා (20) කොළඹ ජානකී හෝටලයේ පැවති දෙදින ජාත්‍යන්තර වැඩමුළුවක් අමතමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.

'සතුටු පවුල' නම් වූ සංකල්පය ස්ථාපිත කිරීමට අද පැවැත්වෙන මේ වැඩමුළුව වඩාත් වටිනවා. පවුල් ඒකකය ශක්තිමත් කිරීමේ වටිනාකම කියා දෙන මෙවැනි වැඩසටහන් පැවැත්විය යුතුයි. මේ වැඩමුළුව අවසන් වුණාට පසුව පවුල් ඒකකය ශක්තිමත් කිරීමට සමාජ සේවකයන් මැදිහත් විය යුතු ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර අපි රජයට ලබා දෙනවා. රටේ පවුල් ඒකකය ශක්තිමත්ව ගොඩනැඟීමට එම වාර්තාව උපයෝගි කර ගත හැකියි.

ආසියා පැසිපික් කලාපයේ විවිධ රටවල නියෝජිතයන් ද, ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රතිපත්ති සකස් කරන්නන් ද, වෘත්තීය සමාජ සේවාවේ යෙදෙන්නන් ද මේ සඳහා සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ පවුල් ව්‍යූහයේ වෙනස්වීම, යෝජිත පවුල් ප්‍රතිපත්තිය, ළමා රැකවරණයේ සහ වැඩිහිටි රැකවරණයේ නව අභියෝග පිළිබඳව දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ දේශන හා සාකච්ඡා පැවැත්වූ අතර වෘත්තීයවේදී සමාජ සේවකයන්ගේ කාර්යභාරය හඳුනාගැනීමත් මෙහි දී සිදු කෙරිණි.

මානව සමාජයේ මූලික ඒකකය පවුල වේ. මර් ඩොක් නැමති සමාජ විද්‍යාඥයා දක්වන ආකාරයට පවුල යන්න ලෝකයේ සෑම සමාජයකම දක්නට ලැබෙන ලක්ෂණයක් වන අතර පොදු වාසස්ථානයක ජීවත් වීම, ආර්ථික සහයෝගීතාව, නව සාමාජිකයන් සමාජයට එකතු කරන ප්‍රජනන කාර්යය සහ ඔවුන් සමාජයට හුරු කරන සමාජානුයෝජන ක්‍රියාවලිය පවුලෙන් සිදු වේ.

වත්මන් සමාජයේ පවුල් සංස්ථාවේ ගැටලු රැසක් නිර්මාණය වී ඇත. නව යෞවනයේ දරුවන්ට තමන් පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන තීරණ ගැනීමට අවස්ථාව සලසනවාට වඩා මවුපියන්ගේ අභිලාස සම්පූර්ණ කිරීමට බල කිරීම මවුපියන් සහ දරුවන් තුළ මානසික ගැටලු නිර්මාණය වීමටත් සබඳතා බිඳවැටීම්වලටත් හේතු වී තිබේ. පවුලක් නිර්මාණය වන විවාහය සම්බන්ධයෙන් සලකන විට විවිධ හේතූන් නිසා දික්කසාද 400ක් පමණ දිනකට සිදු වේ. විවාහ 100කින් 15ක් දික්කසාදයෙන් අවසන් වන බවත්, තවත් වාර්තාවකින් එය සියයට 25ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් දක්වා තිබේ. විශේෂිත ගැටලුවලට මුහුණ දෙන පවුල්වල සුබසාධනයට කටයුතු කිරීම පවුල් ශක්තිමත් කිරීමේ දී අත්‍යාවශ්‍ය වේ. අතීතයේ දී ස්වාමි පුරුෂයා සහ බිරිය අතර පවුලේ කාර්යභාරය බෙදී ගොස් තිබුණ ද වර්තමානයේ දී එම තත්ත්වය වෙනස් වී තිබේ. බිරිය ද රැකියාවක නියැලී පවුලේ ආදායම් උත්පාදනයට දායක වීම සහ දරුවන් තම අධ්‍යාපන කටයුතුවලට සම්පූර්ණ කාලය යෙදවීම පවුලේ සාම්ප්‍රදායික කාර්යය කොටස් ඉටු කිරීම වෙනස්වීමට බලපා තිබේ. මෙය පවුලේ අන්‍යෝන්‍ය සම්බන්ධතා පිළිබඳ ගැටලු ඇති කර තිබේ.

වර්තමාන ශ්‍රී ලංකාවේ පවුල් මුහුණ දී තිබෙන තත්ත්වයන් අවබෝධ කර ගැනීමට, මැදිහත් විය යුතු අංශ සහ ආකාර පිළිබඳ එම අංශයේ විශේෂඥයන්ගේ අදහස් මත පදනම් කර සාකච්ඡා සංවාදයක් ගොඩනඟා ගැනීම මේ වැඩමුළුවෙහි ප්‍රධාන අරමුණ වී ඇත. වෘත්තීය සමාජ සේවකයන් මෙන්ම එම අංශයේ වැඩ කරන රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පෞද්ගලික අංශයේ නිලධාරීන්ට ප්‍රතිපත්ති සකස් කරන්නන්ට, වැඩසටහන් සකස් කරන්නන්ට සහ ක්‍රියාවට නංවන්නන්ට ඉතා වැදගත් වේ.

මේ වැඩමුළුවට ශ්‍රී ලංකාවේ වෘත්තීයවේදී සමාජ සේවකයන්ගේ සංගමයේ සභාපති අමරවංශ රණවීර, ආසියා පැසිපික් වෘත්තීයවේදී සමාජ සේවකයන්ගේ සංගමයේ සභාපති, ජපානයේ කාන්තා විශ්වවිද්‍යාලයේ සමාජ වැඩ අංශයේ මහාචාර්ය මරිකෝ කිමුරා, ජපානයේ සමාජ සේවකයන්ගේ සංගමයේ ජාත්‍යන්තර නියෝජිත ආචාර්ය මිචිකෝ හිරාතා මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

නව අදහස දක්වන්න