සංචාරකයන් ආපහු යන්නේ ප්‍රශංසා කරලා | දිනමිණ

සංචාරකයන් ආපහු යන්නේ ප්‍රශංසා කරලා

නානුඔය ත්‍රීවීල්

මනරම් කඳුවැටි හා සාරවත් තේ වතුවලින් හාත්පස වට වූ නානුඔය, දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් අතර බොහෝ ප්‍රකට නමකි. ඒ නුවරඑළිය සංචාරක පුරවරයට දුම්රියෙන් පැමිණෙන සියල්ලන්ම නානුඔයේදි දුම්රියෙන් බැස එතැන් සිට නුවරඑළියට ගමන් කළ යුතු වීම හේතුවෙනි. එසේම වෙනත් දුරබැහැර ප්‍රදේශවල සිට, අවිස්සාවේල්ල මාර්ගයෙන් නුවරඑළියට පැමිණෙන සියල්ලන් ද නානුඔය නගරය පසුකර යායුතුය.

මුහුදු මට්ටමේ සිට අඩි 5291 ක් උසින් පිහිටි නානුඔය නගරය, 1950 දශකයේ අගභාගය වන විටත් පැවතියේ එඩිම්බරෝ වතුයායේ කඩමණ්ඩිය වශයෙනි. එදා බ්‍රිතාන්‍ය ජාතිකයන් මේ ප්‍රදේශයෙන් පිටත්වන විට එම කඩමණ්ඩියේ තිබු කඩ පනහකට අධික ප්‍රමාණයක් සින්නක්කර ඔප්පුවක් මගින් දේශීය ව්‍යාපාරිකයකුට විකුණා ඇත්තේ රුපියල් හැත්තෑ පහක මුදලකටය. එතැන් පටන් ක්‍රමානුකූලව විකාශනය වූ නානුඔය නගරය අද වන විට අංග සම්පුර්ණ නගරයක් බවට පත්ව තිබේ.

ඒ ආසන්නයේ තේ වතුවල සේවයේ නිරතවන කම්කරු ජනතාවගේ සියලූම අවශ්‍යතා සඳහා ඔවුන් පැමිණෙන්නේ නානුඔය නගරයටයි. එසේ වුවත් දිවයිනේ වෙනත් බොහෝ නගර මෙන් නොව නානුඔය නගරයේ ත්‍රීරෝද රථවලින් වැඩිපුරම සේවය ලබාගන්නේ දේශීය හා විදේශීය සංචාරකයන්ටය.

මෙවර මගතොට මිතුරෝ විශේෂාංගය තුළින් අප හමුවන්නේ එවැනි සුවිශේෂී කාර්යයක් ඉටු කරන නානුඔය නගරයේ ත්‍රිරෝද රථ රියැදුරන්ය. එම පිරිස බහුතරයක් දෙමළ ජාතිකයන් වුවද, මෙම නගරයේ ඇති සුවිශේෂී තත්ත්වය වන්නේ ඔවුන් සැමට සිංහල භාෂාව ඉතා හොඳින් කතා කිරීමට ඇති හැකියාවයි.

නානුඔය උදයන් ත්‍රිරෝද රථ සංගමයේ සභාපති ෂන්මුගම් ත්‍යාගරාජා මහතා

"නානුඔය, උදයන් ත්‍රිරෝද රථ සංගමය ගොඩනඟලා දැනට වසර 20 ක පමණ කාලයක් වෙනවා. මේ වෙනකොට සාමාජිකයෝ 75 කට වැඩියි. එක් දිනකට දුම්රිය 7 ක් විතර නානුඔය දුම්රිය ස්ථානයට එනවා. නුවරඑළිය යන හැමෝම මෙතනින් බැහැලා පොදු බස් එකක හරි වෙනත් කුලී වාහනයක හරි නැගලා නුවරඑළියට යන්න ඕනේ. ගොඩක් විදේශීය සංචාරකයින් ඒකට තෝර ගන්නේ අපිව. අපිට ඒ සඳහා සංචාරක මණ්ඩලයෙන් විශේෂ පුහුණුවක් ලබලා දීල තියෙනවා. ඒ වගේම සංචාරකයන් ප්‍රවාහනය සඳහා බලපත්‍රත් තියෙනවා. ඒ සහතික පවා අපි ත්‍රිරෝද රථයේ ප්‍රදර්ශනය කරලයි තියෙන්නේ. ඒක නිසා විශ්වාසයක් ඇතුව ඕනම කෙනකුට අපේ ත්‍රිරෝද රථයකට නගින්න හැකියාව තියෙනවා."

එස්. රාමක්‍රිෂ්ණන් මහතා

"මේ රක්ෂාව කරගෙන යන කොට එන පුංචි පුංචි ප්‍රශ්න නැතුවම නෙමෙයි. විශේෂම ගැටලූව වෙන්නේ ලියාපදිංචි නැති ත්‍රිරෝද රථ ධාවනයේ යෙදීම. ඒක ගැටලූකාරි තත්ත්වයක්. නානුඔය නගරය විශේෂ නගරයක්. අපි බොහෝ විට ප්‍රවාහනය කරන්නේ සංචාරකයින්. ඒකට භාෂා දැනුමක්, විශේෂ පුහුණුවක් අවශ්‍යයි. අපි ඒක ලබාගෙන තියෙනවා. නමුත් ඉඳහිට නගරයට එන ත්‍රිරෝද රථ, සංචාරකයන් ප්‍රවාහනය කරන නිසා යම් යම් ගැටලූ ඇති වෙලා තියෙනවා. එහෙම වුණාම ඉස්සෙල්ලම ඇඟිල්ල දික්වෙන්නේ අපේ සංගමයට. අපි මේ ගැන පොලිසියටත්, නුවරඑළිය ප්‍රාදේශීය සභාවටත් කියලා තියෙනවා. නමුත් තවමත් කිසිම පිළියමක් නෑ."

සේවියර් ඥාණප්‍රකාශ් මහතා

"බොහෝ විට අපි කරන්නේ මේ සංචාරකයන්ව නුවරඑළිය නගරයට රැගෙන යාම. නමුත් ඒ අතර සංචාරකයන්ගේ ඉල්ලීම මත අපි ඒ අයව නානුඔය ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණීය ස්ථානවලටත් එක්කගෙන යනවා. බොහෝ සංචාරකයන් අපිට ප්‍රශංසා කරලයි මේ ප්‍රදේශයෙන් යන්නේ. කිසිම චෝදනාවක් අපේ සංගමයේ සාමාජිකයන්ට එල්ල වෙලා නෑ"

විශ්වලිංගම් මහේෂ්වරන් මහතා

"මෙහාට එන සංචාරකයින් නුවරඑළියේ ඉන්නේ එක දවසයි. පහුවෙනිදා ඇල්ලට යනවා. නමුත් මේ ප්‍රදේශවල දින ගණනක් බලන්න දේවල් තියෙනවා. හැබැයි ඒවා ගැන තවම හරි ප්‍රචාරයක් ලබාදීලා නෑ. මේ එන සංචාරකයින් දින ගණනාවක් මේ ප්‍රදේශවල රැඳෙනවා නම් ඒක අපිටත් හොඳ ආදායම් මාර්ගයක්. නමුත් තවමත් ඒ ගැන කවුරුත් අවධානය යොමු කරලා නෑ."

රෙන්ගන් යෝගරාජ් මහතා

"නුවරඑළිය නරඹ‍්න්න යන සංචාරකයන්ගෙන් හැමතැනකදිම සල්ලි ගන්නවා. දේශීය සංචාරකයෙක්ගෙන් රුපියල් 50 ක් ගන්න තැනකින් විදේශිය සංචාරකයන්ගෙන් රුපියල් 1500 ක් ගන්නවා. හැබැයි ඒ ගන්න මුදලට නිසි සේවයක් සපයන්නේ නෑ. ඒ නිසා නුවරඑළියට එන සංචාරකයන් ප්‍රමාණය සෑහෙන්න අඩුවෙලා. මේ නානුඔය අවටත් ආකර්ෂණීය ස්ථාන ගණනාවක් තියෙනවා. ඒ ස්ථාන හඳුන්වලා දෙන්න පුළුවන් නම් සංචාරකයින් වැඩි වශයෙන් මේ පළාත්වලට එනවා. ඒ තුළින් අපේ ආදායමත් වැඩි වෙනවා."

සම්පත් ජයලාල් 
කඳපොල සමූහ

නව අදහස දක්වන්න