ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ | දිනමිණ

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

‘මානවේ’ යන හුරුපුරුදු ගෞරවනීය නාමයෙන් සාහිත්‍ය ලෝකයේ බහුතරයක්ම දැන හැඳින සිටි, විද්වතුන්ගෙන් බුහුමන් ලැබූ , ගමත්, ගැමි පරිසරයත් විනිවිද දුටු, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්, මෙරට ලේඛන කලාවේ අද්විතීය ලකුණකි. 1913 ජුනි 19 වැනිදා දකුණු සිරිලක බෙලිඅත්තේ පුවක්දණ්ඩාව නම් අති සුන්දර ගම්මානයේ ජන්ම ලාභය ලැබූ, මානව පරපුරටම සිංහයකු විය. කවියකු, ගීත රචකයකු, පුවත්පත් කලාවේදියකු, ලේඛකයකු, ඒ සියල්ලටම වඩා ගමට, ගමේ පරිසරයට , රටට, ජාතියට, ආගම දහමට ආදරය කළ විද්වත් ගැමියකු ද විය. එදා ලංකාදීපයේ ඔහුගේ කලණ මිත් දීගොඩ පියදාස ලියූ සටහනක් අපි යළිත් සිහිපත් කරමු.

“මානවසිංහ බොහෝම ප්‍රිය මනාප සරල ගති පැවතුම් අනුගමනය කළ අයෙක්. තරුණ කාලෙදි පවා ඇඳුම් පැලඳුම්, ගති පැවතුම් දෙස බැලුවත්, ඔහුගේ සරල බව, නිහතමානී ගතිය හොඳහැටි නිරූපණය වුණා. මානව දයාව ඔහු තුළ නොඅඩුව තිබුණා. ඒ ගුණය හැම ඉරියව්වකම පිළිබිඹු වුණා. ඒ පමණක් නොවෙයි. කාගේ හෝ වරදක් දුටු විට ඊට නිර්දය ලෙස පහර දුන්නේ, උස් මිටිකම් බලමින් නෙමෙයි. මානවසිංහලා අපට යළිත් හමුවේදැයි සිතන්නට බැහැ.”

ගමේ ගුරු ගෙදරින්, බෙලිඅත්තේ ශ්‍රී පඤ්ඤානන්ද බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන්, ‘සියබස’ සඟරාවේ කතුවර ජී.පී. ජිනදාස මහතාගෙන්, දේශප්‍රේමී ගීත මෙන් ම කථිකත්වය ද පුරුදු පුහුණු වූ බැව්, මානවසිංහ සිය ලේඛන කලා ජීවිතය ගැන සඳහන් කරමින්, සටහන් කර ඇත.

මානවසිංහ, පාලි, සංස්කෘත, පෙරදිග භාෂා ඉගෙන ගත්තේ විද්‍යාලංකාර පිරිවෙන්හි විද්වතුන්ගෙනි. මානවසිංහ තරුණයා හැදෑරූ පාලි, සංස්කෘත බඳු පෙරදිග භාෂා, ගීත නිර්මාණය කෙරෙහි බලපෑ වග විචාරකයෝ පවසති. හැටේ දශකයේ මුල් අදියරේදී මානවසිංහ ලියූ සරස්වතී අභිනන්දන ගීතය, ඔහු තුළ පැවැති භාෂා ඥානය ඉතා මැනවින් නිරූපණය කළ බැව් විචාරකයෝ පෙන්වා දුන්හ. මේ ගැන මහාචාර්ය සුනිල් ආරියරත්න යන් සඳහන් කර ඇත්තේ, "සරස්වතී අභිනන්දන ගීතය සංස්කෘත භාෂාව පිළිබඳ ඔහු තුළ පැවැති මනා පටුත්වය ප්‍රකාශ කරන සටහනක් වැන්න.” යනුවෙනි.

වංග බස හැදෑරීමේ අවස්ථාව ගැන, කතරගම මැණික් ගංතෙර අසබඩ වූ අසපුවක වාසය කළ වංග සිරිමතියගෙන් ලැබුණු ඒ අවස්ථාව ගැන, මානවසිංහ කෝමල රේඛාවේ මෙසේ සටහන් කරයි. “දුර්වාස්ගේ ශාපයෙන් මිහිබට සරස්වතී දේවිය සෝණ නදී තීරයේ ලිය මඩුල්ලේ උපලු සයනයේ අභිමණය කළ ලීලාව මවා පාමින්, ඒ සුන්දරිය මට හර්ෂ චරිතය ඉගැන්වූයේ ඇසින්, හිසින්, අතින්, මුවින් හැඟුම් නිරූපණය කිරීමෙනි. ඈ නිසා මම සංස්කෘත කාව්‍යන්හි රසවත් ජවනිකාවලට පිවිසුණෙමි. වේද කතා උගනිමි.”

(1978-2-26 නවයුගය සටහන)

පෙරදිග භාෂාවන්හි කෙතරම් නිපුණත්වයකට පැමිණිය ද, මානවසිංහයෝ ගමේකමට, ගැමි සංස්කෘතියට ඉහළ ම තැනක් දුන්නේය. සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත, වංග ආදී භාෂා එක්කොට, ඔහුටම ආවේණික වූ භාෂා ශෛලියක් නිර්මාණය කර ගත්තේය. මානවසිංහයන් ලියූ ගීයක මෙන් ම, ඉතා ජනප්‍රිය වගතුග තිරයේ ද, ළමා සාහිත්‍ය කෘති තුළ ද ඒ ලක්ෂණ දැකිය හැකි විය. 

“අකුරට යනවා කියලා - ටිකිරි අයියා බැදිවලමයි 
ඉන්නකො මම - ගුරුගෙදරට ගිහින් කියන්නම් 
ගිහින් කියලා - මේ බැද්දෙදි අල්ලලා දෙන්නම් 
ඉදුණු කරඹ ගොඩාරියක් - මගේ ඔඩොක්කුවෙ තියෙනවා 
ටිකිරි අයියටත් දෝතක් - පුරවලා දෙන්නම් 
පුරවල දී - තව මදිනම් හිඹුටුත් දෙන්නම්” 
කෝමල රේඛා තවත් කියවමු.

1946 ඔක්තෝබරයේදී ලංකාදීප පුවත්පත ආරම්භ කිරීමත් සමඟ, ලංකාදීපයට එක්වූ මානවේ, ලංකාදීපය පුරා සිය කීර්ති නාමය සනිටුහන් කළේ ය. 1945 දී ‘හෙළදිව’ පුවත්පතෙන් ආරම්භ කළ පුවත්පත් කලා ජීවිතයේ මල් ඵල හට ගැනුණේ, විද්‍යාලංකාර පිරිවෙණින් පළ කළ ‘කාලය’ පුවත්පතේ කර්තෘ ධුරයට පිවිසීමෙනි.

ප්‍රතිභාපූර්ණ කවියකු ලෙස කෝමල රේඛාවෙන් ඇරැඹූ සිය අව්‍යාජ, අභීත ගමන් මඟ තුළ, චිත්‍රපට ගීත, ළමා ගී, වන්නම් ගීත, මුද්‍රා නාට්‍ය, ළමා, තරුණ පරපුරේ හෙට දවස උදෙසා ආලෝකය උදාකරදී ඇත.

මොනවද අම්මේ අකුරු ජාතියක් 
මල්පෙතිවල කවුදෝ ලියලා 
කවුරුද අම්මේ මේවා ලියන්නේ 
පාට පාට ඉරි හැඩ ගහලා 
අම්මේ අර අපි සාදු කියන කොට 
බුදුහාමුදුරුවො මල් දැකලා 
දුටුවද ටික ටික හිනැහෙන ලස්සන

ඉස්සර කිව් බණ මතක් වෙලා (කෝමළ රේඛා)

‘ගොළු දැරිය’ කෙටි කතා සංග්‍රහයෙන් මානවේ කෙටි කතා ලෝකය ද ග්‍රහණය කළේ ය. හැටේ දශකයේ මුල් ආරම්භයේදී ඔහු ලියූ සාහිත්‍ය රස ධාරා ලිපි පෙළ, පසු කලෙක ‘සාහිත්‍ය රසය’ හිසින් මුද්‍රණයෙන් පළ විය.

උපන් ගෙයි සම සමාජ සහෝදරයෙක් වූ මානවේ, 1956 දී සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ සටනේ ඉදිරි පෙළ නියමුවෙක් විය. සිය වමේ දේශපාලන ගමන් මඟ දකුණුට හැරෙද්දී, ඔහු ලියූ විචාර ලිපි රාශිය ‘ප්‍රජාතන්ත්‍ර ප්‍රගතිය’ නමින් මුද්‍රණයෙන් පළ විය.

පිපී පිපී රේනු නටන වනේ මලක හැප්පිලා 
වරෙන් වරෙන් සුළං රොදක් අපේ ඇ‍ඟේ ගෑවිලා 
කාගෙත් කාගෙත් පින් පල දීලා 
කාටත් කාටත් දෙවියෝ දීලා 
පුංචි පහේ ඉල්ලමකුත් පෑදිලා .......... 
අපිටත් දවසක හඳ පායනවා....

මානවේගේ ජීවිතයට හඳ පායන්නට පෙර, ඔහු අකාලයේ අපෙන් සමුගත්තේ, මතක සටහන් රාශියක් දැයට ඉතිරි කරමිනි. මානවේගේ ප්‍රියාදර බිරිය ශ්‍රීමතී වසන්තා මානවසිංහ චන්ද්‍රරත්නයන්ගේ පුළුල් ගමන් මඟට යෝධ පහනක් විය. ප්‍රභාත් සහ උදය පුතණුවන් දෙදෙනා මානවේගේ ගමන්මඟට සවියක්, දිරියක් ලබාදීම, අපි ඉතා අගය කර සලකමු.

චතුර කථිකයෙක් වූ මානවසිංහ, උපහාස රසයෙන් සභා ගැබ දෙවනත් කරන්නට මහා රුසියකු විය. ඔහු, මෙයින් අවුරුදු 56කට පළමු 1964 වප් මස 04 වැනි දින ජීවිතයෙන් සමු ගත්තේ ය.

බන්ධුල ආර්. ගුල­වත්ත

නව අදහස දක්වන්න