දේව මණ්ඩලයම පෙනී සිටින කදිර දිව්‍යරාජ | දිනමිණ

දේව මණ්ඩලයම පෙනී සිටින කදිර දිව්‍යරාජ

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ ආචාර්ය රවී ලියනගේ විසින් නිෂ්පාදනය කළ "කදිර දිව්‍යරාජ" චිත්‍රපටයේ ප්‍රථම මාධ්‍ය හමුව පසුගියදා රන්මිහිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානයේ පැවැත්විණ. ඒ එම චිත්‍රපටයට දායක වූවන්ගේ සහභාගීත්වයෙනි. '‍කදිර දිව්‍යරාජ' චිත්‍රපටය තුළින් කියවෙන්නේ සත්‍යත් මායාවත් අතර දෝලනය වන වල්ලී-කඳකුමර ප්‍රේම ආඛ්‍යානයය.

මෙහි භාරතීය රංගන ශිල්පී සමර් විර්මානි, භාරතීය රංගන ශිල්පිනී සොනාක්ෂි රාවන්,‍ රොෂාන් පිලපිටිය, නිල්මිණී තෙන්නකෝන්, ජගත් චමිල, චරිත් අබේසිංහ, වසන්ත විට්ටච්චි, නදීපා රණසිංහ, සරත් කොතලාවල, ධනංජය සිරිවර්ධන, විනූ උදානි සිරිවර්ධන, හරිනි උත්පලා, අජිත් ශාන්ත, සමුදි ජයසිංහ, වසන්ත කුමාරවිල, ෂෙල්ටන් කැකුලාවල, රජිත රොද්‍රිගෝ, රංගී රාජපක්ෂ, සම්පත් තෙන්නකෝන් ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.

රයිගම් ක්‍රියේෂන්ස් ඉදිරිපත් කිරීමක් වන මෙම චිත්‍රපටයේ කතා ප්‍රතිරචනය,තිර රචනය,සංවාද සහ ගේය කාව්‍ය රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න ගෙනි. මෙම චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සඳහා චන්න දේශප්‍රිය දායක වේ. කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුවත්ත ගෙනි. සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහ විසිනි. ගායනය නිරෝෂා විරාජිණී,රවීන් කණිෂ්ක ගෙනි. නිෂ්පාදන කළමණාකරණයෙන් නිමල් විජේසිරි සේනාධීර ද, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර ද, සටන් අධ්‍යක්ෂණයෙන් සුමුදු අමල්ක ද, දෘශ්‍ය ප්‍රයෝගයෙන් චමත් පරණවිදාන ද සහාය වෙති. නර්තන අධ්‍යක්ෂණය සංඛ අබේසිංහ ගෙනි. වස්ත්‍රාභරණ වෙනුක වික්‍රමආරච්චි ගෙනි. වෙස් ගැන්වීම ප්‍රියන්ත දිසානායක විසිනි. කේශාංලංකරණය හරූන් ෂයිඩීන් ය. සහය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රියය. නිශ්චල ඡායාරූප ධම්මික පතිරත්නය. නිෂ්පාදන සම්බන්ධීකරණය ඒ.ඩී රංජිත් කුමාර වේ. Steady Cam කැමරා මෙහෙයවීම ස්ටයිනර් ඇඩම්ස් විසින් සිදු කර තිබේ‍.

අධ්‍යක්ෂ,

මහාචාර්ය සුනිල් ආරියරත්න.

"මම විශ්වාස කරන විදිහට කලා කෘතියක් කියන්නේ පෙර නොවු විරූ, පෙර නොඇසූ විරූ,පෙර නොදුටු විරූ දෙයක්. ඒ තුළ තමයි චමත්කාරය තියෙන්නේ. මම හිතනවා මෙම චිත්‍රපටය මේ තාක් කල් කිසිදු ශ්‍රී ලාංකිකයෙක් නොදුටු වීරූ,නොඇසු විරූ, නොකියු විරූ දෙයක් කියලා . ප්‍රේක්ෂකයන් මෙම චිත්‍රපටය තුළින් ඒ චමත්කාරය විඳගත්තොත් මම සාර්ථකයි.

මෙයින් සිංහල සිනමාවට පළමු වතාවට දේව කථාවක් ඇතුළත් චිත්‍රපටයක් පැමිණෙනවා . ශිව, පාර්වතී,අනංග , ඉන්ද්‍ර , ස්කන්ධ යනාදී දේව මණ්ඩලයේ සියල්ලන්ම මේ චිත්‍රපටයේ පෙනී සිටිනවා. ඒ නිසා මෙම චිත්‍රපටය සුවිශේෂී නිර්මාණයක් වෙනවාට සැක නැහැ. "

නිෂ්පාදක,

රවී ලියනගේ.

" චිත්‍රපට නිෂ්පාදන ක්ෂේත්‍රයට මම සම්බන්ධ වන්නේ පළමු වතාවට. මම ඒ කාලේ ඉඳන්ම හිතුවා සුනිල් ආරියරත්න සර්ගේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ඕන කියලා . එක් දවසක් මට සුනිල් සර් කිව්වා අවුරුදු 7-8 ක් වැය කරලා පර්යේණයක් කරනවා, ඒක අවසන් වුණාට පස්සේ හොඳ තිරපිටපතක් සකස් කරන්න හම්බ වුනොත් මම ඔයාට කියන්නම් කියලා. මේ චිත්‍රපටයේ තිරපිටපත තමයි සුනිල් සර් කරපු ලොකුම පරීක්ෂණය.

කිංඩම් ඔෆ් රංගම් ව්‍යාපාර විශ්ලේශක

සමුද්‍ය අමරසිංහ.

"ඈත අතීතයේ ඉඳන්ම සහල්වලට අපි දේවත්වයෙන් සැළකුවා. ගොයමට බසින්නේ දෙවියන් සිහි කරලා. ගොයම් කපන්නේ දෙවියන්ට පින් දීලා. ගෙදරට අස්වැන්න ගේන්නේ දෙවියන්ගේ කොටස වෙන් කරලා. අපේ රයිගම් ආයතනයේ "දෙවැනි බත" කියලා කියන්නේ අපේ සහල් සංස්කෘතියට නව්‍යතාවක් .

කැමරා අධ්‍යක්ෂ

චන්න දේශප්‍රිය.

" කදිර දිව්‍යරාජ වෙනස්ම චිත්‍රපටයක්. කෙටි කාලයක් ඇතුළත විශාල වැඩ ප්‍රමාණයක් කරපු චිත්‍රපටයක්. මේක දේව කථාවක් නිසා අපිට බොහොම පරිස්සමෙන් වැඩ කරන්න සිදු වුණා. ඒ නිසා මේ චිත්‍රපටය සාර්ථක වෙයි කියලා හිතනවා."

භාරතීය රංගන ශිල්පී

සමර් විර්මානි

"ලංකාවේ ජනතාවගේ පෙනුමෙන්,හැසිරීමෙන්, විලාසිතාවන්ගෙන් මටසමීපතම හැගීමක් ඇති වෙනවා. ඔවුන් බොහෝ මිත්‍රශීලියි. මම ඉන්දියාවේ රූපවාහිනී දැන්වීම් බොහෝමයක රඟපාලා තියනවා. ඉන්දියාවෙන් බැහැරව මම විදේශ චිත්‍රපටියක් වෙනුවෙන් පළමුවරට දායක වෙන්නේ කදිර දිව්‍යරාජ චිත්‍රපටයට . "

භාරතීය රංගන ශිල්පිනී

සොනාක්ෂි රාවන්

"රංගන ශිල්පිනියක් වෙන්න මට පොඩි කාලයේ ඉදන්ම සිහිනයක් තිබුණා. හෙට උදේ චිත්‍රපටියකට නළු නිළියන් තෝරන පරීක්ෂණයක් තියනවා කියලා පාන්දර මට දුරකථන ඇමතුමක් ආවා. මම පසුවදා ඉතා කෙටි කාලයක් වෙන් කරලා ඒ පරීක්ෂණයට ගියා. ඒ පරීක්ෂනයට ගිහිල්ලා පැයක් ඇතුළත මට ඇමතුමක් ආවා මම මේ චිත්‍රපටයට තේරුණා කියලා. "

නව අදහස දක්වන්න