අපි දුප්පත් දරුවන්ට උදව් කරනවා - ජයශ්‍රී | දිනමිණ

අපි දුප්පත් දරුවන්ට උදව් කරනවා - ජයශ්‍රී

‘ජයශ්‍රී’කියන්නේ ජාත්‍යන්තරය ජයගත් සංගීත කණ්ඩායමක්. රෝහිත ජයලත්, රොහාන් ජයලත් නිවුන් සොයුරන් මේ බෑන්ඩ් එක නිර්මාණය කරන්නේ රටරටවල දක්ෂ සංගීතකරුවන් කිහිප දෙනකුගේ සංකලනයක් ලෙසින්. මේ සංකලනයේ අපූර්වත්වය සහ ඔවුන්ගේ සංගීත දිවියේ රසමුසු තැන් ගැන අපට කියන්න රෝහිත සහ රොහාන් එකතු වුණේ ඔස්ට්‍රියාවේ වියානා නගරයේ ඉඳන්.

අලුත් සිංදුවක් කළා නේද?

ඔව්. රයිනි නංගි එක්ක ‘හදවත කීරි ගසයි’ කියලා රෙගේ ඩුවට් එකක් කළා. ඒක රේඩියෝවලට දීලා තියෙන්නේ. වීඩියෝ එක මේ දවස්වල කරගෙන යනවා.

ඇයි සංගීතය ජීවිතයට මේ තරමට මුහු කරගත්තේ?

මොන්ටිසෝරි යන කාලෙ ඉඳල ම අපිට තිබුණෙ මියුසික් පිස්සුව. අපි දෙන්නට ඉස්සෙල්ලම ගිටාර් දෙකක් ලැබුණෙත් අපි මොන්ටිසෝරි යන කාලේ. ඉස්කෝලෙ ගියේ මීගමුව මාරිස්ටෙලා එකට. එතනදි අපි අපේ පළවෙනි බෑන්ඩ් එක පටන් ගත්තා. තාත්තා කිව්වා O/L හොඳට පාස් වුණොත් ඩ්‍රම් සේට් එකක් අරන් දෙනවා කියලා. ඉතිං මායි මල්ලියි උපරිමයෙන් ම පාස් වුණා මම O/Lවලදි ඉස්කෝලෙ බෙස්ට් රිසාල්ට්ස් ගත්තා. A/Lවලින් පස්සෙත් අපි බෑන්ඩ් එකක් පටන් ගත්තා. ගොඩක්ම ප්ලේ කලේ ටුවරිස්ට් හොටෙල්වල. වැඩිදුර අධ්‍යාපනයට මම ඔස්ට්‍රියාවලට ආවට පස්සේ රොහානුත් ආවා. ඊට පස්සෙ තමයි අපි අපේ සංගීත ජීවිතය ඔස්ට්‍රියාවේ පටන් ගන්න හිතුවේ.

ජාත්‍යන්තරය ජයගැනීම ගැන මොකද හිතෙන්නෙ?

මේ රටවල එක එක මියුසික් ස්ටයිල්ස් තියෙනවා. වර්ල්ඩ් මියුසික් රෙගේ කියන කැටගරි එකේ තමයි ජයශ්‍රී බෑන්ඩ් එක ඉන්නේ. ගොඩදෙනෙක් අපිව බුක් කරන්නේ අපේ සිංදු අහන්න. ඒ නිසා අපි අනුන්ගේ සිංදු කියන්නෙ නැති තරම්. අපි රෙගේ ගැහුවත් ගහන්නේ අපේ භාෂාවෙන්. සුන්දරියේ, සුදු ඇඳුමින්, හනුමන්තා ඔය සේරම ඉන්ටර් නැෂනල් ඕඩියන්ස් එකට ගහනවා. අපේ ම කියලා අනන්‍යතාවක් හදාගත්ත හින්දා තමයි අද අපි මෙතනට ඇවිත් ඉන්නෙ. ජාත්‍යන්තරය ජයගැනීමට හැකිවීම අපිට ලැබුණු ලොකු වාසනාවක්. මෙහේ ගොඩක් අය ජාත්‍යන්තරයට යනවා කියලා කියනවා. ඒත් ඇත්තට ම ජාත්‍යන්තරයට යනවා කියන්නේ වෙන ම දෙයක්. අපි ඔස්ට්‍රියාවට ඇවිත් අවුරුදු 30ක් විතර වෙනවා. ගොඩක් ලංකාවේ බෑන්ඩ් ඇවිත් පිටරටවල ප්ලේ කරන්නේ ඒ රටවල ජීවත් වෙන ලාංකිකයන්ට. මම හිතන විදිහට ජාත්‍යන්තරයට යනවා කියන එකේ ඊට වඩා වෙනස් දේවල් ගොඩක් තියෙනවා. ඉන්ටර් නැෂනල් රෙකෝඩ් කම්පැනි එක්ක ගිවිසුම් සයින් කරලා තියෙනවා නම්, ඉන්ටර් නැෂනල් චාර් ට්වලට ඒ අයගේ සිංදු ඇවිත් තියෙනවා නම්, ඉන්ටර් නැෂනල් ඒජන්ට්ලා ඒ අය ව කොන්සර් ට්වලට බුක් කරනවා නම්, එයාලගේ මියුසික් පිටරටවල මිලදී ගන්න තියෙනවානම්, පිටරටවල ටී වී. රේඩියෝවල ප්ලේ වෙනවා නම්, පිටරටවල චාර්ට්වලට ඇවිත් තියෙනවා නම්, පිටරවල සම්මාන දිනලා තියෙනවා නම් තමයි ජාත්‍යන්තරයට ගියා කියන්න පුළුවන්. අපි අවරුදු 30ක් තිස්සේ මේ සියලු දේ ලබාගෙන තියෙනවා. අපි මෙහේ ප්ලේ කරන ගොඩක් දැවැන්ත ප්‍රසංගවල ඕඩියන්ස් එකේ ලංකාවේ කිසි කෙනෙක් නෑ. අපි ගහන්නේ තනිකර ඉන්ටර් නැෂනල් ඕඩියන්ස්වලට. ඒ අතර ලංකාවේ අය වෙනුවෙනුත් වෙන ම ප්‍රසංගවල ප්ලේ කරනවා.

අපේ රටේ සංගීතය මොන වගේ වෙන්න ඕනෙ ද?

ලංකාවේ ගොඩක් වෙලාවට වෙන්නෙ එක ම ප්‍රසංගයක එක එක ජාතියෙ මියුසික් ස්ටයිල්ස් ප්ලේ කරන එක. එක ම බෑන්ඩ් එක රොක්, රෙගේ සේරම ගහනවා. ඒ වගේ ම ගොඩක් ප්‍රසිද්ධ අය අනුන්ගේ සිංදුත් කියනවා. ඒකෙ වැරැද්දක් නෑ. නමුත් ජාත්‍යන්තරයට යනවා නම් එහෙම බෑ. මෙහෙයි එහෙයි ප්‍රේක්ෂකාගාරය ගොඩක් වෙනස්. දැන් දැන් ලංකාවේ ගොඩක් සංගීතඥයන් නවීන තාක්ෂණයත් එක්ක ලැබෙන පහසුව නිසා අපේ සංගීතඥයන් පිටරටවල මියුසික් දිහා බලලත් ගොඩක් දේවල් ඉගෙනගන්නවා. ඒක හොඳ දෙයක්. සමහර ආටිස්ට්ලා එයාලගේ ඔරිජිනල්ස් තියාගෙනත් ක්‍රවුඩ් එක අල්ලන්න ඕන හින්දා අනුන්ගෙ හිට් වෙච්ච සිංදු කියලා ප්‍රසංගවලදි මිනිස්සු නටවන එකට වඩා තමන්ගෙම නිර් මාණයක් කරලා රසිකයන් දිනාගන්න එක වටිනවා. ඒ වගේ ම තමයි රැල්ලට එක ම විදිහේ සිංදු ගහන එකත් අඩුවෙනවා නම් තමයි හොඳ. ඒ වගේ දේවල් පිටරටවල නම් සිද්ධ වෙනවා අඩුයි. ක්ෂේත්‍රය තුළ තමන්ට ම කියලා අනන්‍යතාවක් හදාගන්න කලාකරුවන්ට රඳා පැවැත්මක් තියෙනවා.

ජයශ්‍රීලගේ රෙගේ අමුතු රෙගේ එකක් වුණේ කොහොමද?

රෙගේ කිව්වට අපි ඒකට හැම වෙලේ ම අපේ ඒෂියන් දේවල් මික්ස් කරනවා. තබ්ලා, සිතාර්, බටනලා වගේ දේවල් එකතු කරගෙන අපේ ම රෙගේ එකක් අපි හදාගෙන තියෙනවා. 2003 අපි රටවල් හැට ගණනක සංගීත කණ්ඩායම් එකසිය දහයක් එක්ක තරග කරලා ඔස්ට්‍රියන් වර්ල්ඩ් මියුසික් එවෝර්ඩ් එක දින්නා. එතනදිත් ජජ් බෝර්ඩ් එක කිව්වේ, මේ මියුසික් එක ජයශ්‍රීලාගේ. මේක අහන්න පුළුවන් ජයශ්‍රීලගෙන් විතරයි කියලා. ඒ ජයග්‍රහණයත් එක්ක තමයි ලොකු තල්ලුවක් ලැබුණෙත්, දැවැන්ත ප්‍රසංගවලදි ජාත්‍යන්තර කලාකරුවන් එක්ක පෆෝම් කරන්න අවස්ථාව ලැබුණෙත්.

ජයශ්‍රී බෑන්ඩ් එකේ විශේෂත්වය ගැන කිව්වොත්?

අපේ බෑන්ඩ් එක මහද්වීප තුනක, රටවල් හතරක (ලංකාව, බංග්ලාදේශය. අප්‍රිකාව, ඔස්ට්‍රියාව) මියුසිෂියන්ලා හත්දෙනෙක්ගෙන් හැදුණ බෑන්ඩ් එකක්. පටන්ගත්තෙ 1998දි. ඒත් ඊට ඉස්සෙල්ලා 1992 දි අපි පළමු ශ්‍රී ලංකිකයො හැටියට යුරෝපියන් චාර්ට්වලට ආවා.

මොනවද ඉදිරි වැඩ කටයුතු?

මාර්තුවල අපි ලංකාවට එනවා ප්‍රසංග කීපයක් ම කරන්න හිතාගෙන. ඒ එක්ක ම අප්‍රේල් මුල ඔස්ට්‍රේලියාවටත් ටුවර් එකක් යනවා. රයිනි නංගා එක්ක කරපු රෙගේ විඩීයෝ එකත් රිලීස් කරන්න ඕනෙ. ඔය විදිහට ඉතිං අපේ ගමන අපි හිමින් යනවා. එක පාරට සුපර් ස්ටාර් ස්ලා වුණේ නෑ. මේක අමාරුවෙන් ආව දිග ගමනක්.

ලංකාවේ රසිකයින්ට මොනවද කියන්න තියෙන්නෙ?

ලංකාවට නිතර එන්න කැමතියි. අපේ ෆෑන්ස්ලා බලන් ඉන්නවා අපි එනකල්. අපි ගොඩක් වාසනාවන්තයි, ඒ ආදරය ලබන්න. කොහේ හිටියත් ඒ අය අපිත් එක්ක ඉන්න එක අපිට ලොකු හයියක්. ඉතිං ඒ හැමෝටම ආදරෙයි කියලා තමයි කියන්න තියෙන්නෙ.

මියුසික් වැඩ එක්ක ම සමාජ සේවා වැඩසටහනකුත් පටන් අරගෙන වගේ?

අපේ ගොඩක් ෂෝස්වල ටී ෂර් ට්, කැප්, ජර් සි විකුණනවා. ඒ ලැබෙන මුදල් යොදවන්නෙ ලංකාවේ දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට උදව් කරන්නයි.

 

 කාංචනා

සිරිවර්ධන

 

 

නව අදහස දක්වන්න