ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්ට ස්ථාන මාරුවක් | දිනමිණ

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්ට ස්ථාන මාරුවක්

ප්‍රින්ස් ගුණසේකර

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතාට ස්ථාන මාරුවක් ලැබී තොරතුරු තාක්ෂණ හා ආරක්ෂක අමාත්‍යාංශයට යයි. මුතුගල මහතා ඊයේ දිනයේ ක්‍රීඩා අමාත්‍යාංශ රාජකාරී වලින් සමුගත්තේය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව පත්වන අතර එම නව තනතුර සඳහා මහවැලි අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අමල් චන්ද්‍රසිරි මහතා වැඩ භාර ගැනීමට නියමිතය.

වසර 31ක් රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවල කටයුතු කළ ධම්මික මුතුගල මහතා මෙයට වසර 2කට පමණ පෙර ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයේ වැඩ භාර ගත්තේය. නිමාවට පත්වූ දකුණු ආසියා ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිධාන කටයුතු සඳහා මූලිකවී ක්‍රියා කළේ ධම්මික මුතුගල මහතාය. එහෙත් දකුණු ආසියා ක්‍රීඩා උළෙල පැවැති නේපාලයේ කත්මණ්ඩු නුවරදී ඇතිවූ යම් යම් සිද්ධීන් පිළිබඳ ඒ මහතා කළ කිරීමකින් පසුවූ බව වාර්තා විය.

කෙසේ වුවද ක්‍රීඩා සංචර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස තමන් තනතුරට පත්ව මාස 6ක් ගතවීමේදී, එම කාලය තුළ ක්‍රීඩා සංවර්ධනය හැර සියලු දේ කළ බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතා මෙයට මාස කිහිපයකට පෙර පවසා තිබිණි. ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරේ කටයුතු කරමින් සිටි මුල් කාලය තුළ කටයුතු කිරීමේදී තෘප්තියට වඩා අතෘප්තියක් ඇතැයි ඒ මහතා සඳහන්කර තිබිණි.

නව අදහස දක්වන්න