විනාශ වූ කළුතර කැලිඩෝ වෙරළ යළි සකස් කිරීම ඇරඹේ | දිනමිණ

විනාශ වූ කළුතර කැලිඩෝ වෙරළ යළි සකස් කිරීම ඇරඹේ

ගංවතුරත් සමඟ විනාශ වී ගිය සුන්දර කළුතර කැලිඩෝ වෙරළ තීරය ගැඹුරු මුහුදේ සිට වැලි පොම්ප කර නැවත සැකසීම (29) සුබ මොහොතින් ආරම්භ කළ අතර ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 889කි.

ඩෙන්මාර්ක් සමාගමක් මඟින් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර ඈත මුහුදේ නතර කර ඇති නැවක් මඟින් වැලි පොම්ප කර කිලෝමීටරයක් දුරට වෙරළ සකස් කෙරේ.

වැලි ‍පොම්ප කිරීම ආරම්භ කරමින් පැවති උත්සව සභාව අමතමින් පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා මෙසේ කීය.

2017 ගංවතුර සමඟ මෙම සුන්දර වෙරළ තීරය අපට අහිමි වුණා. මෙය සිදු වුණේ නිසියාකාරව වෙරළ කළමනාකරණය නොකළ නිසයි.

2018 වසරේදී මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 800ක් වෙන් වුණා.

ඒ වෙනකොට උතුරු කළුතර ප්‍රදේශයෙන් අක්කර 10ක් මුහුදට ගසාගෙන ගොස් තිබුණා. එදා පැවති රජය එය ක්‍රියාත්මක කළා නම් හානිය අවම කර ගන්න තිබුණා.

ඒත් දැන් අක්කර 35ක් මුහුදට ගිහින්. දැන් ව්‍යාපෘතිය සඳහා මිලියන 889ක් අවශ්‍ය වෙනවා. මේ නිස්කාරන වැය කරන්නේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින්.

නැවත කැලිඩෝ වෙරළ සකස් කර දෙන ලෙසට අප වරින් වර ජනපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් කළ ඉල්ලීමට එතුමන්ලා ප්‍රතිචාර දැක්වූවා. මෙම ව්‍යාපෘතිය සඳහා මාස තුනක් වූ මෙම රජය මුදල් වෙන් කර දුන්නේ පරිපූරක ඇස්තමේන්තුව වත් සම්මත කර ගැනීමට විපක්ෂය සහය ලබා නොදුන් තත්ත්වයන් මතයි. මේ ලබා දුන් සහයට කළුතර ජනතාව වෙනුවෙන් රජයට අපි ස්තූතිය පුද කරනවා.

බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා

මා ඥානෝදය විදුහලේ සිසුවකුව සිටියදී මිතුරන් සමග නාන්න ආවේ මෙතැනටයි. මෙතැන ලොකු දොඹ ගහක් තිබුණා. එතැන මුල් අස්සේ පොත් හංගලා අපි මුහුදේ නෑවා. ගඟේත් නැවා. මේ විනාශ වී ඇත්තේ එදා තිබූ සුන්දර පරිසරයයි.

මෙම ව්‍යාපෘතිය මහන්සි වී ලබා ගැනීමේ සම්පූර්ණ ගෞරවය පරිසර රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර මහතාට හිමි විය යුතුයි. මැතිවරණ සමයක මනාපවලට සටන් කරන සමයක වුවත් මා ඒ බව ඉතා සතුටින් මතක් කර දෙනවා.

මෙම උත්සව සභාව අමතා මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියන්ද කළුතර දිසා ලේකම් යු.ඩී.සී. ජයලාල්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පරිසරවේදී සමන් ගුණසිංහ යන මහත්වරුද කථා කළහ.

 කළුතර මධ්‍යම සමූහ සහ කළුතර මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න