නීති ගරුක මැතිවරණයක් පැවැත්වීම පක්ෂ නායක වගකීමක් | දිනමිණ

නීති ගරුක මැතිවරණයක් පැවැත්වීම පක්ෂ නායක වගකීමක්

එලඹෙන මහ මැතිවරණය නීති ගරුක මැතිවරණයක් බවට පත්කර ගැනීම සඳහා පක්ෂ නායකයින් සතුව විශාල වගකීමක් පවතින බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

මෙම මහමැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් සන්ධානගතව තරඟ කිරීමට නියමිත අතර නාම යෝජනා ලබාදෙන අපේක්ෂකයින් නීති ගරුක මැතිවරණ ව්‍යාපාරයකට යොමු කරවා ගැනීමට ඒ ඒ පක්ෂ නායකයින් කටයුතු කළ යුතු බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා සඳහන් කරයි.

එමෙන්ම මෙවර බොහෝවිට එකම පක්ෂයේ හෝ සන්ධානගත පක්ෂවල අපේක්ෂකයින් සහ ආධාරකරුවන් අතර ගැටුම් ඇතිවිය හැකි තත්වයක් මතුවිය විය හැකි බව කැෆේ සංවිධානයේ අදහසයි.

  ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවල ඇතිව තිබෙන අභ්‍යන්තර අර්බුද හේතුවෙන් මෙම තත්වය ඇතිවිය හැකි බව අහමඩ් මනාස් මකීන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම සන්ධානගත දේශපාලන පක්ෂ තුළද විවිධ පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයින් සිටින නිසා මෙවැනි තත්වයක් අපේක්ෂා කළ හැකි බව ඒ මහතා පෙන්වා දෙයි.

මෙම ගැටුම් සහිත තත්වයන් ආගම්වාදී, ජාතිවාදී ගැටුම් දක්වා වර්ධනය වීමේ අවධානමක් ද පවතින බව කැෆේ සංවිධානයේ අදහසයි. පසුගිය මැතිවරණ පිළිබඳව සලකා බැලීමේදී මාධ්‍ය හා සමාජ මාධ්‍ය විසින් එල්ලකරන බලපෑම පිළිබඳව මෙවර වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

මේ සම්බන්දයෙන් වන උපමාන මැතිවරණ කොමිසම විසින් හදුන්වා දුන්න ද එම උපමාන මායිම් නොකර පසුගිය මැතිවරණ වලදී මාධ්‍ය කටයුතු කළ බව මනාස් මකීන් මහතා කියයි.

මේ නිසා මෙවර මැතිවරණ සමය තුළ මාධ්‍ය භාවිතාව සහ සමාජ මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් විධිමත් සුදුසු ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇති බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

මහමැතිවරණය අප්‍රේල් 25වන දින පැවැත්වීමට නියමිතව ඇති අතර එළඹෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්දු සමය නීති විරෝධි ප්‍රචාරක කටයුතු සහ ඡන්ද දායකයින්ට අල්ලස් දීම් වැනි කටයුතු පහසුවෙන් සිදුකිරීමේ අවස්ථා රැසක් සහිත සමයක් බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

මේ නිසා මෙවැනි ක්‍රියා පිළිබඳව තම සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බවත් දිවයින පුරා යොදවන ස්වාධින නිරීක්ෂකයින් මඟින් ලබා ගන්නා තොරතුරු අනුව වහා ක්‍රියාමාර්ග ගන්නා බවත් අහමඩ් මනාස් මකීන් මහතා සඳහන් කරයි.

නව අදහස දක්වන්න