ලුණු ගලන කළුතරට ආණ්ඩුවෙන් කොළ එළියක් | දිනමිණ

ලුණු ගලන කළුතරට ආණ්ඩුවෙන් කොළ එළියක්

2015 දී

යහපාලන ආණ්ඩුව ඇවිත් මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ආණ්ඩුවෙ සියලු ව්‍යාපෘති නතර කළා. ඒ වෙලාවෙ මේ ව්‍යාපෘතිය නතර කරන්න එපා කියල අපි කෑගැහුවා වැඩක් වුණේ නැහැ. ඒ ව්‍යාපෘතිය ඉවර කරන්න තිබුණෙ 2017 පෙබරවාරි 20 එහෙම වුණා නම් අද මේ ප්‍රශ්නය නැහැ.

 කළුගඟට ලවණ ජලය මිශ්‍ර වීම බොහෝ කලක සිට සිදුවන්නක්. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

‍මිහිතලය උණුසුම්වීමත් එක්ක අයිස් කඳු දියවෙනවා. එතකොට මුහුදේ ජල මට්ටම ඉහළ යනවා. ඒ ඉහළ යන ජලය මුහුදට විවෘතවුණු ගංඟාවලට එනවා. ඇතැම් මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා මේ තත්ත්වය වැඩිවෙනවා. විශේෂයෙන් වැලි ගොඩදැමීම ප්‍රධාන හේතුවක්. කළුගඟ ආසන්න‍ෙය් තිබුණු කැලිඩෝ වෙරළ තීරය විනාශවීමත් එක්ක කළුගඟ මුහුදට විවෘත වුණා. දැන් ලුණු එන එක වැඩියි.

කෙත්හේන ජලපොම්පාගාරය පවතින ප්‍රදේශය දක්වා වැලිගොඩ දැමීම නතර කරවන ලෙස ජනතාවගෙන් ප්‍රබල හඬක් නැ‍ඟෙනවා නේද?

වැලි ගොඩදාන්න අවසර දෙන්නෙ පතල් හා භූ විද්‍යා කාර්යාංශය. කළුග‍ඟෙත් අනෙක් ගංඟාවලටත් කොච්චර ගැඹුරට වැලි ගොඩදාන්න ඉඩ දෙනවද යන්න මේ වන විට සොයාබලමින් ඉන්නවා. බැකෝ යන්ත්‍රවලින් වැලි ගොඩදැමීම දැනටමත් අපි නතර කළා. කළුගඟට මුහුදු ජලය ඒම වළක්වන්න ස්ථිර ලවණ බාධකයක් ඉදිකළ යුතුයි.

මේ ගැටලුව විසඳන්න ආණ්ඩුව හැටියට අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවාද?

කළුතර ජල පාරිභෝගිකයන් දශක එකහමාරක පමණ කාලයක ඉඳන් මේ ප්‍රශ්නයෙන් පීඩා විඳිනවා. ඒක නතර කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ආණ්ඩුවෙන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. කුඩා ගඟ ඔය මෝදර ප්‍රදේශයෙන් ජලය ගෙනවිත් කෙත්හේන ජල පවිත්‍රාගාරයේදී ජලය පිරිසුදු කරල බෙදාහරින්න 2014 පෙබරවාරි 20 වෙනිදා ඉන්දියානු සමාගමක් එක්ක ගිවිසුමක් පවා අත්සන් කළා. 2015 දී යහපාලන ආණ්ඩුව ඇවිත් මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ආණ්ඩුවෙ සියලු ව්‍යාපෘති නතර කළා. ඒ වෙලාවෙ මේ ව්‍යාපෘතිය නතර කරන්න එපා කියල අපි කෑගැහුවා වැඩක් වුණේ නැහැ. ඒ ව්‍යාපෘතිය ඉවර කරන්න තිබුණෙ 2017 පෙබරවාරි 20 එහෙම වුණා නම් අද මේ ප්‍රශ්නය නැහැ. කළුතර ජනතාව ලුණු බොන්නෙ යහපාලන ආණ්ඩුව නිසා.

ඔබ කියන ඔය ව්‍යාපෘතිය මේ වෙනකොට ක්‍රියාත්මකයි නේද?

එදා ඔය ව්‍යාපෘතිය නතර කළේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වැරදියි කියල. 2017 මැයි 25 මේ ව්‍යාපෘතිය පටන් ගත්තා. මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ආණ්ඩුව කාලෙ කොන්ත්‍රාත්තුව දීපු ඉන්දියානු සමාගමටම මේ අයත් දුන්නා. මේ අයකළේ ව්‍යාපෘතිය ප්‍රමාද කරපු එක විතරයි. දැන් අපි ඒ සමාගම එක්ක කතා කළා. මේ ව්‍යාපෘතිය කඩිනම් කරන්න කිව්වා. ඔවුන් ඒකට එකඟ වුණා. හිටපු ජලසම්පාදන රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර මහත්තය අපිට අවශ්‍ය සහාය දුන්නා. 2020 ජූලි වෙනකොට මේ ව්‍යාපෘතිය නිමකරනවා.

මුහුදට ගසාගෙන ගිය කැලිඩෝ වෙරළ තීරය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙනවා. ලුණු ප්‍රශ්නයට ඉන් විසඳුමක් ලැබෙයිද?

කළුගඟට ලුණු ඉක්මනින් එකතුවෙන්නට කැලිඩෝව විනාශවීමත් හේතුවක්. රාජිත සේනාරත්න, ලක්ෂ්මන් විජේමාන්න මේවට වගකියන්න ඕන. කළුගඟ පිටාර ගලද්දී වැරදි තැනකින් මෝය කැපුවා. අපි ඒකට විරුද්ධ වුණා. අපේ විරෝධතා ගණන් ගත්තෙ නැහැ. ඒකෙ ප්‍රතිඵල විදියට ඉඩම් අක්කර 35 ක් මුහුදට ගසාගෙන ගියා. කැලිඩෝ වෙරළ තීරය ආයෙත් හදන්න කියල යහපාලන ආණ්ඩුවෙන් අපි ඉල්ලුවා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට 2017 දී රුපියල් මිලියන 800 ක් වෙන්කළා. ව්‍යාපෘතිය පටන් ගන්න කැබිනට් පේපර් එකක් දාන්න එදා කළුතරට දේශපාලන නායකත්වයක් තිබුණෙ නැහැ. ඒ නිසා අවුරුදු දෙකක්ම ඒ සල්ලි මහ භාණ්ඩාගාරයට ගියා. අපි ආපු ගමන් කැබිනට් පේපර් එකක් දැම්මා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්තුරු මේ ගැන හොඳ අවබෝධයකින් ඉන්නවා. යළි උපදින කැලිඩෝව වැඩසටහන අපි පටන් ගත්තා.

කළුතර ජල පාරිභෝගිකයන්ට සහනයක් ලෙස ජල බිල්පත් අයකිරීම නතර කරන බව කියනවා නේද?

ඔව්. අපි එවැනි යෝජනාවක් කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ඉදිරිපත් කළා. හිටපු ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහත්තය ඒ ගැන එකඟතාවකටත් ආවා. ජලසම්පාදන මණ්ඩලයෙන් දැන් දෙන ජලය භාවිතයට සුදුසු නැහැ. 2015 දී ලුණු ආපු වෙලාවෙ ජලය පරීක්ෂා කළා. කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය කිව්වෙ ඉතාම භයානක කතාවක්. ඒ වතුරවල විද්‍යුත් සන්නායකතාව රත්‍රන්වලටත් වඩා වැඩියි කිව්වා. ජලයේ තියෙන්න ඕන රසායනික ප්‍රමාණයට වඩා වැඩි රසායනික ප්‍රමාණයක් වතුරේ තියෙන බවත් කිව්වා. නැවත පිරිසුදු ජලය ලැබෙන තෙක් ජල බිල්පත් අයකිරීම නවත්වන්නැයි අපි ඉල්ලුවේ ඒකයි.

 

 

කළුතර බෝධිය අසලින් මුහුදට ගලාවැටෙන කළුගඟ එදා මෙදාතුර බොහෝ දෙනකුගේ ජල පිපාසාව සංසි‍ෙඳව්වේය. එහෙත් අද වන විට දින කිහිපයක් වැසි රහිත වුවහොත් දියට ලවණ මිශ්‍රවීමෙන් එම ජලය මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වේ.

මේ හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ජල පාරිභෝගිකයෝ 73000 කට ආසන්න ප්‍රමාණයක් උග්‍ර ජල ගැටලුවකට මුහුණපා සිටිති. කළුතර කෙත්හේන ජල පොම්පාගාරයෙන් ජලය බෙදාහරින කළුතර, බෝම්බුවල, වාද්දුව, පයාගල, බේරුවල, අලුත්ගම, දර්ගා නගරය, බෙන්තර ආදී ප්‍රදේශ ගණනාවක ජනතාව පීඩාවට පත්වන්නේ බොහෝ කලක සිටය. කළුතර ජල ගැටලුවට එතෙක් මෙතෙක් සිටි රජයන් නිසි විසඳුම් නොයෙදූ බව ජනතාව පවසන්නේ දැඩි කලකිරීමෙනි. වත්මන් රජය කළුතර ජල ගැටලුවට විසඳුම් සෙවීමට ගන්නා උත්සාහය පිළිබඳව ඔවුහූ බලාපොරොත්තු තබා ඇත. විශේෂයෙන් කළුතර කැලිඩෝ වෙරළ තීරය යළි සකසන්නට හිටපු පරිසර රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර මහතා ගන්නා උත්සාහය මෙන්ම ජල පාරිභෝගිකයන්ගෙන් ජල බිල්පත් අයනොකිරීමට ඔහු කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ගෙනා යෝජනාවට ද ජනතාවගේ ප්‍රසාදය හිමිව තිබේ. කළුග‍ඟේ කෙත්හේන ජල පොම්පාගාරයට ඉහළින් ඇති කුඩා ග‍ඟෙන් කෙත්හේනට ජලය පොම්ප කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කරන්නට කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පියල් නිශාන්ත සහ හිටපු පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා උපදෙස් දී තිබීම ද වැදගත් පියවරකි.

දශක එකහමාරක පමණ කාලයක සිට කළුතර ජල පාරිභෝගිකයන් ලවණ මිශ්‍ර ජලය හේතුවෙන් පීඩාවට පත්ව සිටී. පසුගිය වසර තුනක පමණ කාලයක සිට වසරකට දෙතුන් වතාවක්ම ඔවුන් ලවණ මිශ්‍ර ජලය හේතුවෙන් පීඩාවට පත්ව සිටියද යහපාලන ආණ්ඩුවේ බලධාරීන්ගේ වැඩි අවධානයක් ඊට යොමුවූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඊට කදිම සාක්ෂිය සපයනුයේ කැලිඩෝ වෙරළ තීරය සකසන්නට 2017 වසරේ අයවැයෙන් වෙන්වූ රුපියල් මිලියන 800 ක මුදල වසර දෙකක්ම අදාළ ව්‍යාපෘතියට නොගෙන නැවත මහා භාණ්ඩාගාරයට හරවා යැවීමයි.

කළුතර ජල පාරිභෝගිකයන්ට ජලසම්පාදන මණ්ඩලයෙන් ලබාදෙන ලවණ මිශ්‍ර ජලයේ විස රසායනයන් රැසක් අඩංගු බවට කළුතර සෞඛ්‍ය විද්‍යායතන වාර්තා පෙන්වා දී ඇත. 2015 දී කළ පරීක්ෂණයකට අනුව ලවණ මිශ්‍ර ජලයේ විදුලි සන්නායකතාව රත්‍රන්වලටත් වඩා ඉහළ බව එහිදී පෙන්වා දී තිබීම අවධානයට යොමුවිය යුත්තකි.

ලවණ මිශ්‍ර ජලය පරිභෝජනය කරන ජල පාරිභෝගිකයන් සොයා කළුතර දිස්ත්‍රික්කයේ කළ සංචාරයේදී කළුතර, බේරුවල, පයාගල, අලුත්ගම ජනතාව ‘දිනමිණ’ ට අදහස් දක්වමින් පැවසූයේ මෙවැන්නකි.

ෆයිසාල් මහතා -

දැන්නම් අපිට හොඳටම ලුණු වතුර එන්නෙ. වැස්සෙ නැත්නම් හොඳ වතුර නැහැ. ජලසම්පාදන මණ්ඩලය ටැංකිවලින් වතුර බෙදනවා. ඒක ලොකු දෙයක්. වතුර නැතුව බිල් ගෙවන්න බැහැ. වතුර බිල අයකරන්නෙ නැහැ කියනවා. ඒක හොඳ දෙයක්.

නිෆාල් මහතා -

දවස් තුන හතරක් වැස්සෙ නැතිවුණොත් දැන් ලුණුවතුර එනවා. ලුණු වතුරවලින් මොනවත් කරන්න බැහැ. වතුර බිල අයකරන්නෙ නැහැ කියල ආණ්ඩුව කියනවා. ඉස්සර තිබිච්ච ආණ්ඩු එහෙම සහනයක්වත් අපිට දුන්නේ නැහැ.

කුලාංග එදිරිසිංහ මහතා -

කළුගඟට ලුණු එන එක පටන් අරගෙන දැන් අවුරුදු 10 කට වැඩියි. තිබිච්ච එක ආණ්ඩුවක්වත් මේ ප්‍රශ්නය විසඳුවේ නැහැ. පහුගිය ගංවතුර වෙලාවෙ කළුග‍ඟේ මෝය වැඩිපුර කැපුවා. ඒකෙන් තමයි මේ ප්‍රශ්නය වැඩිවුණේ. කිසිම ආණ්ඩුවක් ජල පාරිභෝගිකයන්ට සහන දුන්නේ නැහැ. මේ ආණ්ඩුව ජල පාරිභෝගිකයන්ගෙන් සල්ලි අයකරන්නෙ නැහැ කියනවා. මැතිවරණය බලාගෙන දීපු සහනයක් ද දන්නේ නැහැ. කොහොම වුණත් එහෙම සහනයක් දෙනවනං හොඳ දෙයක්.

ඥානවතී මහත්මිය-

කියන්න දෙයක් නැහැ. ලුණුවතුර එන එක හරිම කරදරයක්. ගොඩක් දුර ගිහින් ළිංවතුර අරන් එනවා. ටැංකිවලින් අපි වතුර ගන්නෙ නැහැ. වතුර බිල ගෙවන්න ඕන නැහැ කියනවා. ඒක හොඳ වැඩක්, අපිට සහනයක්.

දිනේෂ් මහතා-

අවුරුදු තුනක විතර ‍කාලෙක ඉඳන් ලුණු වතුර ප්‍රශ්නය වැඩිවෙලා. මුලින් අවුරුද්දකට එක සැරයක් වගේ මේ ප්‍රශ්නය ඇතිවුණේ. දැන් අවුරුද්දකට දෙතුන් පාරක් ලුණු එනවා. කැලිඩෝ එක විනාශ වෙච්ච එක තමයි මෙහෙම වෙන්න හේතුව. ඒක හැදුවොත් මේ ප්‍රශ්නය අඩුවෙයි. ලුණු වතුර ආවම අපේ ටැප් ඔක්කොම විනාශ වෙනවා. පොඩි සහනයක් දීල වැඩක් නැහැ.

යමුනා සෙනෙවිරත්න මහත්මිය-

නාගරික ජනතාවට ළිං නැහැ. ඒ අය පොඩි ඉඩම්වල පදිංචිවෙලා ඉන්නෙ. මේ නිසා ජලසම්පාදන මණ්ඩලයෙන් ජලය ගන්න හැමෝම ලොකු අපහසුතාවකට පත්වෙලා. වතුර බිල ගෙව්වෙ නැහැ කියල මිනිස්සුන්ට හොඳ වතුර ලැබෙන්නෙ නැහැ. ඒ හින්ද හොඳ වතුර දෙන්න විකල්ප මාර්ගයක් ඉක්මනින් හොයන්න ඕන. පරිසර රාජ්‍ය ඇමැති ඉන්නෙ කළුතර ඒ හරහා දෙයක් වෙයි කියලා අපිට විශ්වාසයි.

රත්නසිරි වන්නිආරච්චි මහතා-

අපි දන්න කාලෙ ඉඳන් මෝය තිබුණෙ කටුකුරුන්ද හෝටලය ළඟ. ගංවතුර ප්‍රශ්නෙ වෙලාවෙ දෙපැත්තෙම දේශපාලනඥයො එකතුවෙලා සම්බන්ධීකරණ කමිටුවෙදි තීරණයක් අරගෙන මෝය කපල දැම්මා. දැන් මෝය තියෙන්නෙ කළුගඟ කෙළින්. මුහුද ගඟට වඩා උසයි. දවස් දෙකක් පායනකොට ගඟදිගේ මුහුදු වතුර එනවා. මාවිල්ආරු සොරොව්ව වැහුවෙ ප්‍රභාකරන්. මේක වැහුවෙ අපේ දේශපාලකයො. පරිසර ඇමැති ජයන්ත මහත්තය කැල‍ිඩෝව හදන වැඩේ පටන් ගත්ත. ඒ මනුස්සය මේ වැඩේට අතගහනකන් කවුරුවත් මේ ගැන බැලුවෙ නැහැ. වතුර බිලට දීපු සහනය නම් පින්සිද්ධ වෙන වැඩක්.

නීතිඥ සංජීව ගුණරත්න මහතා-

කළුගඟ ආශ්‍රිත පරිසර විනාශය හින්ද තමයි මේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ. ලුණු ගැටලුවෙන් ජනතාව ඉතාම පීඩාවට පත්වෙලා. මේකට කඩිනම් විසඳුමක් අවශ්‍යයි. පරිසර රාජ්‍ය ඇමැතිකම දැන් කළුතරට ලැබිල තියෙනවා. කැලිඩෝ වෙරළ හදන්න පටන් ගත්තා. ඒක හොඳ පියවරක්. දැනට අවුරුදු දෙකකට ඉස්සරත් උත්සාහයක් ගත්තා. වැඩක් වුණේ නැහැ. අලුත් ජල ව්‍යාපෘතිය කඩිනම් කරන්න කියල අපි ඉල්ලනවා. ජලසම්පාදන මණ්ඩලයට සල්ලි අයකරන්න අයිතියක් නැහැ. ඔවුන් බැඳිල ඉන්නෙ පාරිභෝගිකයන්ට පිරිසුදු වතුර දෙන්න. ඒත් දැන් දෙන්නෙ හොඳ වතුර නෙවෙයි.

රූපිකා මහත්මිය-

මුහුද උසයි. ගඟ පාතයි. ඒ නිසා ගඟදිගේ මුහුදු වතුර එනවා. අපි ගඟ අයිනෙම පදිංචි කට්ටිය. දැන් ගඟට බහින්නත් බැහැ. ඒ තරම්ම ලුණු වතුර ඇවිත්. ළිංවලත් තෙල් තට්ටු බැඳිලා. අපිට නාන්නවත් වතුර නැහැ. කළුතර ඉඳන් ඇළමෝදර පාලම ළඟටයි හොරණින් දොඹගොඩ කෑම්ප් එක ළඟටයි ජලසම්පාදන මණ්ඩලයෙන් වතුර දෙනවා. අපිට ටැප් වතුරවත් නැහැ. අපි ඉල්ලන්නෙ ඇළමෝදර බරුපොළට නළ ජලය දෙන්න කියලා. වැහි කාලෙට ගංවතුර පායනකොට ලුණුවතුර. අපිව අයිති බණ්ඩාරගමට. කිසිම කෙනෙක්ගෙන් අපිට සහනයක් නැහැ.

මහේෂ් ගුණසිංහ මහතා (ප්‍රාදේශීය කළමනාකරු ජාතික ජලසම්පාදන මණ්ඩලය) -

ජලසම්පාදන මණ්ඩලයෙන් ටැංකිවලට ජලය සපයනවා. ඒ ජලය ඉතාම පිරිසුදු ජලය. ඒ ගැන අපි සහතික වෙනවා. ජලසම්පාදන මණ්ඩලයට විතරක් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න බැහැ. දිසාපතිතුමා, පළාත් පාලන ආයතන අපිට සහය වෙනවා. මේ වෙනකොට ජල ටැංකි 943 ක් යොදවල තියෙනවා. ජලසම්පාදන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය දිවා රෑ නොබලා ජනතාවට පිරිසුදු වතුර දෙන්න මහන්සි වෙනවා. ජල බිල්පත් අයකර නොගැනීමට තීරණයක් ගෙන තියෙනවා. ඒ ගැන අමාත්‍යාංශ මට්ටමින් නියෝගයක් ආවම අපි කටයුතු කරනවා. ලුණුවතුර ප්‍රශ්නය නිසා අපේ කෙත්හේන ජල පොම්පාගාරයට විශාල හානියක් වෙනවා. ඒ යන්ත්‍ර සූත්‍ර හදන්න අපි විශාල මුදලක් දරනවා. ජලය පරිස්සම් කරන්න ජාතියක් හැටියට අපි මීට වඩා කැපවෙන්න ඕනා.

කළුග‍ඟේ ජලයට මුහුදු ජලය එක්වීමෙන් පීඩාවට පත් ජනතාව දැඩි අපහසුතාවයකට පත්වෙද්දී ආණ්ඩුව එම ජනතාවට විවිධ සහන දෙන්නට උත්සාහ ගනිමින් සිටී. පරිසරය රැකගැනීම වෙනුවෙන් ජනතාවගේ පැත්තෙන්ද ලැබෙන සහාය ප්‍රමාණවත් නැත. සියලු අපද්‍රව්‍ය ජලපෝෂක වෙත මුදාහරින්නේද ප්‍රමිතියකින් තොරව වැලි ගොඩදමා ගංගා පතුල ගැඹුරු කරන්නේද රටේ ජනතාවය. ඒවා පාලනය කරනවාට ඔවුන් බොහෝ දෙනකු විරුද්ධය. මේ පරිසර විනාශයන් පිටුපස දේශපාලන හස්තයන්ද ක්‍රියාත්මකය. කෙසේ වුවද ජලපෝෂක සුරැකීමට ජනතාව පෙළගැසෙන්නේ නම් තවත් බොහෝ කාලයක් පිරිසුදු ජලය ලබාගත හැකිය. එසේ නොවන්නේ නම් අනාගතයේ දිනෙක ජලය වෙනුවෙන් විශාල සටනක් කරන්නට සිදුවනු ඇත.

 

නව අදහස දක්වන්න