දැනුම පිරුණු නවමු අත්දැකීම නවෝත්පාදන ජාතික අධ්‍යාපන ප්‍රදර්ශනය | දිනමිණ

දැනුම පිරුණු නවමු අත්දැකීම නවෝත්පාදන ජාතික අධ්‍යාපන ප්‍රදර්ශනය

අධ්‍යාපනික විනෝදාස්වාදය, ක්‍රියාකාරකම් (ගණිත විද්‍යාගාරය, අධ්‍යාපනික ක්‍රීඩා ආදිය) ජංගම ග්‍රහලෝකාගාරය, සූර්ය බල ශක්තිය භාවිතය, 5G හා අන්තර්ජාල දැනුම්, ස්නායු තාක්ෂණය, රාත්‍රී අහස පරීක්ෂණ කඳවුරු, සිසුන් විසින් ජල රොකට් නිකුත් කිරී‍මේ ක්‍රියාවලිය ඇතුළු තාක්ෂණ ලෝකයේ නවමු අත්දැකීම්, මේ ප්‍රදර්ශන භූමියේදී දැකබලා ගැනීමට අවස්ථාව ලැබේ.

 

උසස් අධ්‍යාපන ජනමාධ්‍ය හා තාක්ෂණ නවෝත්පාදන අමාත්‍යාංශය හා අනෙකුත් තාක්ෂණ ආයතන එක්ව සංවිධානය කරන වසරේ දැවැන්තම තාක්ෂණ හා නවෝත්පාදන ජාතික අධ්‍යාපන ප්‍රදර්ශනය මේ මස 11, 12, 13 හා 14 වන දිනවල, පෙ. ව. 9.00 සිට රාත්‍රී 10.00 දක්වා හෝමාගම පිටිපන තාක්ෂණ ගම්මානයේදී පැවැත්වේ.

නවෝත්පාදන ජාතික අධ්‍යාපන ප්‍රදර්ශනය, අධ්‍යාපන කලාපය, නවෝත්පාදන කලාපය හා පර්යේෂණ හා සංවර්ධන කලාපය ලෙස මේ දැවැන්ත ප්‍රදර්ශනය කලාප තුනකින් සමන්විත ය. හෝමාගම පිටිපන තාක්ෂණ ගම්මානයේ පිහිටි මහින්ද රාජපක්ෂ ජාතික පාසල, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල (NSBM හරිත විශ්වවිද්‍යාලය) හා මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව යන පරිශ්‍රයන්හිදී පැවැත්වෙන මේ ප්‍රදර්ශනයේදී, පාසල් 400ක නව නිපැයුම් 1200ක් පමණ ප්‍රදර්ශනයට සූදානම් කර තිබේ.

ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ නව නිපැයුම් හා ප්‍රදර්ශන භාණ්ඩ ද, දිවයින පුරා විශ්වවිද්‍යාල 15ක සිදුකළ පර්යේෂණ හා එමඟින් නිර්මාණය කළ නව නිපැයුම්, නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, රොබෝ තාක්ෂණය, ඩ්‍රෝන යන්ත්‍ර භාවිතය ඇතුළු රටේ විවිධ ප්‍රදේශවල සිදු කළ නවෝත්පාදන රැසක්, මේ ප්‍රදර්ශනය භූමියේදී දැක බලා ගැනීමට අවස්ථාව ලැබේ.

මේ ජාතික අධ්‍යාපන ප්‍රදර්ශනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී උසස් අධ්‍යාපන, තොරතුරු හා ජනමාධ්‍ය හා තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා සඳහන් කෙළේ, හෝමාගම පිටිපනදී පැවැත්වෙන තාක්ෂණ හා නවෝත්පාන ප්‍රදර්ශනය, දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරන ජාතික අධ්‍යාපන ප්‍රදර්ශනයක් බවයි.

“අපේ රටේ පාසල් ශිෂ්‍යයන්ගේ බාහිර ක්‍රියාකාරකම් පළමු පාසල් වාරය තුළ අවසන් කළ යුතුයි. ඒ ගැන සැලකිල්ලෙන් තමයි මේ ප්‍රදර්ශනය මාර්තු 11 – 14 දක්වා යොදාගෙන තිබෙන්නෙ. ප්‍රදර්ශනය නරඹන්න කිසිම මුදලක් අය කරන්නෙ නැහැ. ප්‍රදර්ශනය හරහා අධ්‍යාපනය ලබන සියලු තරාතිරම්වල සිසුන්ට දැනුම් සම්භාරයක් ලබා ගන්න පුළුවන්.

අතීතයේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ තිබුණ ග්‍රාමීය බව නැතිවෙලා. අද වන විට තාක්ෂණ පුරවරයක් බවට පරිවර්තනය වෙලා. පාසල් විෂයධාරාවට තාක්ෂණ විෂය එකතු කරන්නට අපි 2013 වසරේදී පියවර ගත්තා. ඒ අනුව මේ වන විට විශ්වවිද්‍යාලවල තාක්ෂණ විෂය ධාරාවෙන් උපාධිය ලබන්න අපේ දරුවන්ට අවස්ථාව ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ග්‍රාම සේවා වසම් 14000න් පිටිපනත්, එක් ග්‍රාම සේවා කොට්ඨාසයක්. දැන් මේ ග්‍රාම සේවා වසම තාක්ෂණ පුරයක් බවට පත්වෙලා. විශ්වවිද්‍යාල ඉතිහාසයේ ආරම්භ කරන ප්‍රථම තාක්ෂණ පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධව පිටිපන ඉදිකර තිබෙනවා. එය මාර්තු 16 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිසු අයිතියට පැවරෙනවා. මේ අනුව අනාගතයේදී මෙරටට පමණක් නොව ලෝකයටම ප්‍රඥාවන්තයින් බිහි කරන පුරවරයක් බවට පිටිපන පත් වේවි. අනාගතයේදී පිටිපනට ‘ප්‍රඥා බන්ධුපුර’ කියලා නමක් හැදෙන්නත් පුළුවන් යැයිද අමාත්‍යවරයා කීවේය.

මාර්තු 11 – 14 දක්වා පුරා දින 4ක් පැවැත්වෙන මේ ප්‍රදර්ශනය පිටිපන ප්‍රදේශයේ අක්කර 300ක් පමණ පුරාවට විසිරී තිබේ. නියම ව්‍යාපෘතියක් ලෙස මෙවර පැවැත්වෙන මේ තාක්ෂණ හා නවෝත්පාදන ජාතික අධ්‍යානික ප්‍රදර්ශනය, ඉදිරි කාලයේදී දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගෙන ගොස් ඉන් ලැබෙන සියලු ආදායම මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට බැර කිරීමට ද අපේක්ෂිතයි.පාසල්, විශ්වවිද්‍යාල සිසුන්, තෘතියික හා අනෙකුත් අධ්‍යාපන ආයතනවල සිසුන්, ව්‍යවසායකයන්, නව නිපැයුම්කරුවන්, පෞද්ගලික අංශයේ හා සමස්ත සමාජයේ ගෘහණියන් ඇතුළු සැමට එක සේ දැනුවත් විය හැකි මේ ප්‍රදර්ශනය පුරාවට, දැනුම, විනෝදය බෙදා හදා ගැනී‍මේ අවස්ථා බොහෝමයකි.

අධ්‍යාපනික විනෝදාස්වාදය, ක්‍රියාකාරකම් (ගණිත විද්‍යාගාරය, අධ්‍යාපනික ක්‍රීඩා ආදිය) ජංගම ග්‍රහලෝකාගාරය, සූර්ය බල ශක්තිය භාවිතය, 5G හා අන්තර්ජාල දැනුම්, ස්නායු තාක්ෂණය, රාත්‍රී අහස පරීක්ෂණ කඳවුරු, සිසුන් විසින් ජල රොකට් නිකුත් කිරී‍මේ ක්‍රියාවලිය ඇතුළු තාක්ෂණ ලෝකයේ නවමු අත්දැකීම්, මේ ප්‍රදර්ශන භූමියේදී දැකබලා ගැනීමට අවස්ථාව ලැබේ.

එමෙන් ම, සුනඛ සංදර්ශන, තුරග සංදර්ශන, වීදි නාට්‍ය හා ප්‍රදර්ශන භූමි‍යේදී දිනපතා පැවැත්වෙන ශාස්ත්‍රීය සංගීත සංදර්ශන හා සංස්කෘතික සංදර්ශන රස විඳින්නටද, නරඹන්නන්ට අවස්ථාව උදාවේ.

මේ තාක්ෂණ හා නවෝත්පාදන ජාතික අධ්‍යාපනික ප්‍රදර්ශනය හරහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ 'සෞභාග්‍යයේ දැක්ම' වත්මන් ජාතික ප්‍රතිත්ති රාමුවෙහි විශේෂිතව සඳහන් කොට ඇති තාක්ෂණය පදනම් කරගත් සමාජයක් බිහි කර ගැනීමේ කාර්යය වඩාත් පහසු වනු ඇත.

උසස් අධ්‍යාපන හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන්, අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ සහයෝගීතාවයෙන් සහ තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මැතිතුමාගේ සභාපතීත්වය යටතේ, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යාංශය මඟින් මේ ප්‍රදර්ශනය සංවිධානය කර පැවැත්වෙනු ඇත. උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය සහ තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සියලු ආයතන, අධ්‍යාපන අමාත්‍යාංශය සහ සහයෝගීතාවයෙන් මේ ප්‍රදර්ශනයේදී විවිධ කලාප යටතේ සිය ප්‍රදර්ශන භාණ්ඩ එළිදක්වමින්, මේ සඳහා සහභාගිත්වය දක්වනු ඇත. මේ ප්‍රදර්ශනය සඳහා, දශ ලක්ෂයකට අධික ජන සහභාගිත්වයක් අපේක්ෂා කෙරෙන අතර, ඒ සඳහා විශේෂිත ප්‍රවාහන සේවාවක් සැපයීමට ද කටයුතු කර තිබේ.

 ජයසූරිය උඩුකුඹුර

නව අදහස දක්වන්න