ජාතික ආරක්ෂාවට උපරිම සහය දෙනවා | දිනමිණ

ජාතික ආරක්ෂාවට උපරිම සහය දෙනවා

හමුදාපති

රටේ ඇති වී ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ මේ වන විට ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාමට හමුදාවේ විශාල පිරිසක් යොදවා ඇති අතර, තවත් අවශ්‍ය ඕනෑ තරම් හමුදා සහාය රට වෙනුවෙන් යෙදවීමට සුදානම් බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ දැනට ඇති නීරෝධායන මධ්‍යස්ථාන දහය 12 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බවයි.

ඊට අමතරව යුද්ධ හමුදාව සතුව ඇති හමුදා නිවාඩු බංගලා සහ වෙනත් නිකේතන සියල්ල ද මෙම නීරෝධායන කටයුතු සඳහා ලබාදීමට පියවර ගෙන ඇත. ඒ අනුව දියතලාව ප්‍රදේශයේ පිහිටි එම නිකේතන 23කට ලන්ඩන්වල සිට පැමිණි පිරිසක් යොදවා ඇති අතර එහි ළමුන් විශාල පිරිසක් සිටින බවත්ය.

මේවන විට යුද්ධ හමුදාවේ සියලුම වෛද්‍ය බළකාවලට අයත් සියලුම පිරිස් සහ උපකරණ ආදිය ද මෙම නීරෝධායන කටයතු සඳහා යොමු කර ඇත. තවත් පිරිස් යෙදවීම පිණිස අවශ්‍ය පුහුණු කටයුතු උපදෙස් ආදිය ද ලබා දෙමින් පවතින බවද පවසන යුද්ධ හමුදාපතිවරයා රටේ සියලුම ආපදා අවස්ථාවල දී එම ආපදා තත්ත්වයෙන් රට බේරා ගැනීමට කැප වන හමුදාව මේ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ ද උපදෙස් මත නීරෝධායන කටයුතුවලට මෙන්ම රෝගය ඇති පිරිස් සොයා ගැනීමටත්, මහජනතාවට උපදෙස් ලබා දී වෛරසය බෝවීම වැළැක්වීමටත් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරගෙන යන බවයි.

හමුදාව යටතේ ඇති නීරෝධායන මධ්‍යස්ථානවල ඊයේ පස්වරු වන විට පුද්ගලයන් 1779 සිටි අතර, හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පවසා සිටියේ එම ප්‍රමාණය 1780 ඉක්මවා යන තත්ත්වයට ළඟා වෙමින් පැවැතින බවයි.

 විජයානි එදිරිසිංහ‍

නව අදහස දක්වන්න