ජනතාව රකින ආණ්ඩුවේ ආරක්ෂණ දැල | දිනමිණ

ජනතාව රකින ආණ්ඩුවේ ආරක්ෂණ දැල

ආචාර්ය අජිත් දිසානායක
ජේෂ්ඨ කථිකාචාර්ය ආර්ථික විද්‍යා අධ්‍යනාංශය කැළණිය විශ්වවිද්‍යාලය

වර්තමානයේ මේ ඇති වී ඇති ව්‍යසනය ශ්‍රී ලංකාවට පමණක් පොදු වූ තත්ත්වයක් නොවේ. Covid - 19 හෙවත් කොරෝනා වෛරසයට ලෝකයේ 200 කට ආසන්න සං්‍යාවකට ව්‍යාප්ත වුණු 30,000 කට අධික මරණ සං්‍යාවක් සිදුවුණූ සහ ලක්ෂ 07 කට ආසන්න ප්‍රමාණයක් ආසාදිතයන් බවට පත් වුණු ආකාරයත් දක්නට ලැබේ. මෙවැනි අවස්ථාවකදී කුඩා රාජ්‍යක් වශයෙන් ශ්‍රී ලංකාවට මේ ව්‍යසනයට මුහුණ දිය යුත්තේ කෙසේ ද යන්න පිළිබදව සාපේක්ෂව සලකා බැලිය යුතු ය.

ශ්‍රී ලංකාව කුඩා ජනගහනයක් සිටින සීමිත නිෂ්පාදන ප්‍රමාණයක් මත, ආනයන අපනයන ක්‍රියාවලියක් තුළ ඉහළ පහළ යන ආර්ථිකයක් මත යැපෙන රටකි. අනෙක් කරුණ වන්නේ මේ ව්‍යසනය රටට පැමිණෙන විටත් රටේ පාලන තන්ත්‍රය දේශපාලන වශයෙන් අස්ථාවර තත්ත්වයක පැවතීම ය. නව ජනාධිපතිවරයෙකු පත්ව සිටියද ඔහුට ඇත්තේ සුළුතර රජයකි. යම්කිසි පනතක් සම්මත කර ගැනීමට හෝ ඔහුගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ නොහැකි අවස්ථාවක නමුත් නව ජනාධිපතිවරයාට විශාල ජනවරමක් තිබෙන නිසාත් , දේශපාලඥයකු නොවු නමුත් රාජ්‍ය පරිපාලකයකු වශයෙන් ඔහු ලත් අත්දැකීමක් ද තිස් අවුරුදු යුද්ධය නිමා කල හමුදා නායකයකු වශයෙන් ලැබූ අත්දැකීම් උපයෝගී කරගෙන මේ ප්‍රශ්නයට විසදුම් සෙවීමට උත්සාහ කිරීම අගය කළ යුතු ය.

ව්‍යසනකාරී තත්ත්වයකදී එහි වගකීම ගතයුතු කණ්ඩායම් කිහිපයක් තිබේ.ජනාධිපතිවරයා ප්‍රමුඛ පරිපාලන තන්ත්‍රය මේ වගකීම නිසියාකාරව අවබෝධ කරගෙන ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලිව දක්නට ලැබේ. සෞඛ්‍ය ඇමතිනිය ප්‍රමුඛ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයම ශක්තිමත්ව කැපවීමෙන් කටයුතු කරමින් සිටිති.

මේ ව්‍යසනයට මුහුණ දීම සදහා ජනාධිපතිවරයා ප්‍රමුඛ අපේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නිර්භීතව තීරණ ගැනීමේ ප්‍රතිඑලයක් ලෙසට මේ තත්ත්වය යහපත්ව කළමනාකරණය කර ගැනීමට හැකි වූ බව කිය යුතු ය. මෙහිදී ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව බැලීමේදී සාර්ථකත්වයක් දැකිය හැකි ය. මේ වන විට ලංකාවේ දෙසීයකට ආසන්න ප්‍රමාණයක් රෝහල්වල ප්‍රතිකාර ලබන අතර එයින් රෝගය ඇතැයි හදුනාගෙන ඇති රෝගීහු 115ක් පමණ සිටිති.

එයින් ද කොයිඩ් 19 රෝගය ආසාදනය වී ඇතැයි පළමුවරට හදුනා ගැණුනු රෝගීන් මේ වන විට 09 පමණ දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත. මෙය සැබවින්ම යහපත් ප්‍රවණතාවයකි. මේ වන විට අසල්වාසී ඉන්දියාවේ 20 කට අධික ප්‍රමාණයක් රෝගයෙන් මිය ගොස් තිබේ. ඉන්දියාව සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති ආකාරයත් දැකිය හැකි ය.එහි කිසිම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවේ. එතරම් දැවැන්ත රාජ්‍යක් වුවත් මේ සදහා විශේෂිත සැලසුමක් ක්‍රියාත්මක නොවන බවක් නොපෙනේ.

අපේ රටේ කුඩා රාජ්‍යක් වුවත් මේ ව්‍යසනකාරී අවස්ථාවේදී මේ සදහා වන යාන්ත්‍රණය කළමනාකරණය කර ගැනීමේ හැකියාව ඇති බව පැහැදිලි ය. යාන්ත්‍රණය මෙහෙය වන අයගේ නිපුණතාව,අත්දැකීම් පෙනෙන්නට තිබේ. අද මෙය ගෝලීය අර්බුදයක් බවට පත්වීම තුළ, ලෝකයේ රාජ්‍යන් එයට මුහුණ දුන්නේ කෙසේ ද යන්න පිළිබද සාපේක්ෂව බැලිය යුතු ය. චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් ඇරඹි රෝගය ව්‍යාප්ත වී විශාල සංඛ්‍යාවක් මිය ගිය ද ඔවුන් එය ඉතාමත් සාර්ථකව කළමනාකරණය කර ගත් ආකාරයක් පෙනෙන්නට තිබේ. ඔවුන් වැඩ කළේ අණ කිරීම්වලට යටත්වය. එම ජනතාව රජය පනවන නීති ඒ අයුරින් පිළිපැද්ද නිසා ( Controliy power ) වැඩ කළ නිසා ඔවුන්ගේ යම්කිසි සාර්ථකත්වයක් දක්නට ලැබිණි.

සමාජවාදී කොමියුනිස්ට් මූලධර්ම මත ඒ සංස්කෘතිය තුළ විනයක් ඇතිව නොකණ්ඩව ජනතාව කටයුතු කළ හෙයින් චීනයට හැකිතාක් දුරකට මේ ගැටලුවෙන් ගොඩ ඒමට හැකි වූ බව පෙනේ. කොරියාව,ජපානය,සිංගප්පූරුව වැනි රටවල් මේ අර්බුදයට මුහුණ දුන්නේ චීනය අනුගමනය කළ ක්‍රමවේදයට ආසන්න අත්දැකීම් ලබා ගෙන ය.

එසේ ම චීනයට අතපසු වුණු දේ අඩුපාඩු හදුනාගෙන මේ රටවල් කටයුතු කළ ආකාරයක් ද පෙනේ. ඒ නිසා මේ තත්ත්වය ඉහළ මට්ටමකින් කළමනාකරණය කර ගත් කණ්ඩායම් වශයෙන් ඔවුන්ව හැදින්විය හැකි ය. ඉන්පසු මේ තත්ත්වය දරුණු ලෙස බලපාන්නේ යුරෝපයට ය. ඉතාලිය, ස්පාඥඤය ,ප්‍රංශය වැනි රටවලට ය. වෙළෙදපළ හිතෛෂී රටක් හැටියට ඉතාලියට මෙය කළමනාකරණය කරගත නොහැකි විය. ඉතාලියේ ඇත්තේ Commanding economy එකක් නොවේ. නිදහස් වෙළෙදපළ ක්‍රමය තුළ ඔවුහු මෙම ව්‍යසනය ගණන් නොගත්හ. පා පන්දු ගැසීම, සහ වෙනත් විනෝද කටයුතුවල ඔවුහු නිදහසේ යෙදුණා නිසා මේ රෝගය විශාල ලෙස පැතිරී ගිය ආකාරයක් දක්නට ලැබේ.

කිසිම දෙයක් ඔවුන් ගණන් නොගත් අතර හිතුමනාපයට කටයුතු කළහ.මේ නිසා ඔවුන්ගේ රට ඉතාමත් දරුණු තත්ත්වයට පත් විය. නිදහස් වෙළෙදපොල ක්‍රමයේ ආදීනව ආර්ථික විද්‍යාඥයන් පෙන්වා තිබුණි. එහි ප්‍රතිඑල ඇස්පනාපිට දක්නට ලැබිණි.චීනයත් අභිබවා ගිය මරණ සංඛ්‍යාවක් ඉතාලියේ වාර්තා වේ. ප්‍රංශය සහ ස්පාඥඥ ද එසේම ය. ඇමරිකාව භයානක තත්ත්වයකට පැමිණ සිටී. එතෙක් අප විශ්වාස කළ ආර්ථික ක්‍රමවේදයක් තුළ මෙය කළමණාකරණය කරගත නොහැකි බව පැහැදිලි ය.

ශ්‍රී ලංකාව ඇත්තේ මේ ක්‍රමවේදයන් දෙකටම අතරමැදිව ය. එනම් වෙළෙදපොල හිතෛෂී ( Commanding economy ) ක්‍රමයක් සහ ජනතා හිතෛෂී ( people friendly ) වෙළෙඳපොළ ක්‍රමයන් ය. ජනතා හිතෛෂී වෙළෙදපොළ ක්‍රමයක් අපේ රටේ තිබුණ නිසා මෙවැනි අවස්ථාවක ඇඳිරි නීතියක් පැනවුව ද ජන ජීවිතය බිඳ නොවැටී පවත්වාගෙන යාමට හැකියාව ලැබී ඇත. ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවේ තමන්ගේ අවශ්‍යතා මිල දී ගැනීම සඳහා ජනතාවට පහසුකම් සපයා දී තිබේ.

නිවෙස්වලින් බැහැරව යා නොහැකි අයට අත්‍යවශ්‍ය ආහාර මල්ලක් නිවෙසටම ලබා දීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක වේ. ජන ජීවිතයේ යම් කිසි අඩාල වීමක් සිදු වුව ද බිඳ වැටීමක් නොවන්නේ මේ නිසා ය. අතීතයේ පටන් ම ශ්‍රී ලාංකීය ජාතිය ඉතා ශක්තිමත්ව අර්බුදවලට

මුහුණ දුන් ආකාරය අපි දනිමු. ආහාර අහේනියකින් කිසි කලෙක ඔවුන් මිය ගියේ නැත.අල, බතල,කොස්,පොළොස් ඕනෑ තරම් තිබේ.නමුත් අප මේ ආහාරවලින් පරිභෝජනය කර තිබෙන්නේ ඉතා සුළු කොටසකි. මේ නිසා සහයෝගීතාවය ,සාමූහිකත්වය,බෙදා හදා ගැනීම, තුළින් මේ තත්ත්වයට ඉතාමත් සාර්ථකව මුහුණ දිය හැකි ය.

බස්නාහිර පළාත අවධානම් කලාපයක් වශයෙන් සැලකීම ඉතාමත් වැදගත් ය. දිගින් දිගටම නිදහස් වෙළෙදපොළට තරග කිරීමට ගොස් බොහෝ පිරිසක් මේ ව්‍යවසනයට ගොදුරු විය හැකි ය. ජනතා හිතෛෂී වෙළෙඳපොළ ක්‍රමය හඳුන්වා දී ඇත්තේ මේ ගොදුරු වීම් වැළැක්වීම සඳහා ය. සුබසාධන සමාජවාදී සංකල්පය යනුවෙන් හඳුන්වා දෙන්නේ මෙයටම ය. මේ ව්‍යවසන අවස්ථාවේ සුබසාධන කටයුතු ද කළමනාකරණය කර ගැනීම සඳහා අත්දැකීම් ඇති ශක්තිමත් පුද්ගලයකු වන බැසිල් රාජපක්ෂ මහතාට බාර දී ඇත්තේ මේ නිසා ය.

තිස් අවුරුදු යුද්ධයක් ජයගත් අප වැනි රටක හමුදාව කෙරෙහි රටේ ජනතාවගේ පුර්ණ විශ්වාසය තිබේ. මුලින් නිරෝධායනයට අකමැති වු විරෝධතා දැක්වු පිරිස නිරෝධායනය වී මෙම යන අවස්ථාවේ හමුදාවට ප්‍රශංසා කළ අකාරය ඉතාමත් සංවේදී ය. සුළු සේවකයා දක්වා ජිවන අවධානම නොතකා නිර්භයව මේ රට ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරිම අගය කළ යුතු ය. නමුත් සාමාන්‍ය ජනතාව මෙයට කීකරු නොවේ. මේ සියලු අංශ කැපවීම් කළ ද ප්‍රයෝජනයක් ඇති නොවේ.සාමාන්‍ය ජනතාව රජයේ නීතිවලට අවනතව කටයුතු කළ යුතු ය. තමන්ගේ වගකීම කුමක්දැයි අවබෝධ කර ගෙන වැඩ කළ යුතු ය. ජනතාව වෙනුවෙන් ආරක්ෂණ දැලක් ( people safty net ) මගින් එදිනෙදා බිල් ගෙවීම කල් දැමීම,ණය වාරික ගෙවීම කල් දැමීම සහ කිසිදු ගැටලුවකින් තොරව විදුලිය,ජලය,දුරකථන පහසුකම් ලැබීම මේ අතර ප්‍රධාන ය.

ව්‍යාපාරික ක්ෂේත්‍රය කඩා නොවැටීමට බැංකු ක්ෂේත්‍රය උපරිම ලෙස මුල්‍ය කලමණාකරණය කර තිබේ.ගොවියාට සිය අස්වැන්න නෙලා ගැනීමට අවසර ලබා දීම,ඒවා මිල දී ගැනීමට යාන්ත්‍රණයක් සකස් කිරීම,ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු පලතුරු රැගෙන ඒමට අවස්ථාව ලබා දීම,ගොවියා, පාරිභෝගිකයා සුරක්ෂිත කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම,ජනතාවට රජයෙන් සිදු විය යුත්තේ people friendly Market තත්ත්වය ගොඩනැගීම ය.

අසල්වැසි ඉන්දියාවේ මෙවැනි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවේ.එදිනෙදා හම්බ කරන අයට,පීඩිත පන්තියට කිසිම විසඳුමක් ලැබී නැත.ඇඳිරි නීතිය දැමීමේ කිසිම සැලසුමකින් තෙරව ය.ලෝකයේ කළමණාකරණය කරන්න බැරිවෙච්ච දෙයක් අප කලමණාකරණය කර ඇත. ත්‍රස්තවාදය මර්දනය කරලා ලෝකයටම අගනා පාඩමක් කියා දීමට අපට හැකි විය. එසේ ම මේ ව්‍යසනයේ විසදුම සොයා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව ලෝකයට තහවුරු කර තිබේ. යුද්ධය අහවර කළා යැයි අපට අවලාද ගහපු , ඇඟිල්ල දික්කර රටවලට අප මානූෂීය හැගීමෙන් කටයුතු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව පැහැදිලි කර දී තිබේ.

මෙය ශ්‍රී ලංකාවට පමණක් මුහුණපාන්නට සිදු වූ දෙයක් නොවේ. විවිධ රටවල් කළමනාකරණය වී ඇත්තේ ඒ ඒ රටවල හැකියාවන් මත ය. භෞතික වශයෙන් දියුණු ඉතාලිය වැනි රටවල් අකර්මණ්‍ය වී තිබෙන නමුත් අප දියුණු වී ඇත්තේ ගුණාත්මකව හා හරයාත්මකව ය. මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයකදී රටක් ආර්ථික වශයෙන් ඉහළ පහළ යාම සිදු වේ. වැදගත් වන්නේ ඒවාට මුහුණ දිමේ ශක්තියයි. අපේ රටට අවශ්‍ය වන්නේ මඟපෙන්වීමයි.පසුගිය කාලයේ යුද හමුදාව පුරන් කුඹුරු අස්වද්දන්න පටන් ගැනීම,රටේ තරුණ පිරිස චිත්‍ර ඇදීමට පුරුදු වුණු ආකාරය මෙයට කදිම උදාහරණ වේ. අනෙක් කාරණය , වෙනත් අවුරුදුවල මේ කාලයේදී අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආහාරපාන ඇතුළු රැසක් මිලදී ගැනීමට බොහෝ අය උනන්දු වන ආකාරය අපි දනිමු. පසුගිය වසරේ පරිභෝජන රටාව වෙනස් වී ඇති ආකාරය පැහැදිලි ය.

ව්‍යාපාරික පන්තියක් මත යැපෙන සංස්කෘතිය තුළ අනිටු ප්‍රතිඑල තිබේ.එයින් මිදිය යුතු ය. කොත්තු රොටි,ෆ්‍රයිඩ් රයිස් සංස්කෘතියෙන් මිදිය යුතු ය. නිවසේ පිසින දෙයක් ආහාරයට ගෙන ජීවත් වීමේ සංස්කෘතියට අපි හැඩගැසිය යුතු ය. අප මිල දී ගත යුත්තේ අපට අවශ්‍ය දේ පමණි. අපට ඇත්තේ සංජානන ඉල්ලුමකි.වෙනත් කවුරුන් හෝ මිලදී ගන්නා දෙයක් මිලදී ගැනීමට උනන්දු වේ. හිතා‍ගෙන ගිය දේ නොව අනෙක් අය කරන දේ කිරීමට පෙළඹේ.අද අපි තෝරා ගන්නේ අවශ්‍යම දේවල් පමණි.සමාජය වෙනස් කිරීමට මේ අවස්ථාව වඩාත් යහපත් ය.

මේ ව්‍යසනයේදී ක්‍රියාත්මක ප්‍රධාන අංශ, එනම් රාජ්‍ය ඇතුළු ප්‍රතිපත්ති තීරණ ගන්නා පිරිස,සෞඛ්‍ය අංශ,හමුදාව ප්‍රමුඛ ආරක්ෂණ අංශ,නිවැරදි තීරණ ගෙන කැපවීමෙන් කටයුතු කළ ආකාරය අපි හොඳාකාරව දනිමු.හතරවැනි කණ්ඩායම එනම් මහජනතාවගෙන් පිරිසක් මේ පිළිබඳ වගකීමෙන් බැහැරව කටයුතු කරන ආකාරය පෙනේ.මෙවැනි අවස්ථාවක මහජනතාවට අවශ්‍යතා මඟ හැරීමට පුළුවන. නමුත් ඔවුන් මේ තත්ත්වය වටහා ගෙන ඉවසීමෙන් කටයුතු කළ යුතු වේ. ජනතාවගේ පහසුව සඳහා රාජ්‍ය යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.මේ නිසා හතරවැනි කණ්ඩායම වශයෙන් මේ ව්‍යසනයෙන් රට මුදා ගැනීම සඳහා මහජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු වේ.

සටහන- රසිකා එස්. රණවීර

 

නව අදහස දක්වන්න