ශ්‍රී ලංකා ජනපතිට, චීන ජනාධිපතිගෙන් ඇමතුමක් | දිනමිණ

ශ්‍රී ලංකා ජනපතිට, චීන ජනාධිපතිගෙන් ඇමතුමක්

චීනය සහ ශ්‍රී ලංකාව COVID-19 වැළැක්වීම සහ පාලනය සිදුකරමින් රටේ විවිධ ක්ෂේත්‍රවල සිදුකෙරෙනා සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීම සුදුසු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා යෝජනා කරයි.
 
චීන ජනාධිපතිවරයා ඊයේ (13) රාත්‍රියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සිදුකළ දුරකථන සංවාදයකදී මේ බව පැවසු බව ෂින්හුවා පුවත් ඒජන්සිය වාර්තා කළේය.
 
කොරෝනා වෛරසයට එරෙහිව චීනය මුහුණදී තිබු තීරණාත්මක මොහොතක ශ්‍රී ලංකා සමාජයේ විවිධ කොටස් තම රටට ලබාදුන් ක්‍රියාකාරී සහය සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කර තිබේ.
 
ශ්‍රී ලංකාව තුල කොරෝනා වසංගතය ප්‍රතිඵලදායි ලෙස පාලනය කර ඇති බවත් අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට චීනය ඉදිරිපත්වන බවත් ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කර ඇත. එසේම මුල් අවධියේදී ශ්‍රී ලංකාවේ ජනතාව වසංගතය පරාජය කරනු ඇතැයි චීන ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.
 
වසංගත සමයේදී චීන පුරවැසියන් රැකබලා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට චීන ජනාධිපතිවරයා ස්තූතිය පුද කළ අතර, තම භූමියේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සහතික කිරීම සඳහා චීන රජය අඛණ්ඩව කටයුතු කරන බව පැවසීය.
 
COVID-19 පාලනය වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට අඛණ්ඩව සහයෝගය දැක්වීමටත්, ඒකාබද්ධ COVID-19 වැළැක්වීම සහ පාලනය පිළිබඳ ගෝලීය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමටත්, ආරක්ෂාව සඳහා වන සටන ජය ගැනීමටත් ශ්‍රී ලංකාව මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවත් චීන ජනපතිවරයා මෙහිදී පැවසු බව ෂින්හුවා පුවත් ඒජන්සිය වැඩිදුරටත් වාර්තා කර ඇත.
 
 

නව අදහස දක්වන්න