ගංජා කිලෝ 3ක් සමඟ සැක අයෙක් මිරිස්සේදී මාට්ටු | දිනමිණ

ගංජා කිලෝ 3ක් සමඟ සැක අයෙක් මිරිස්සේදී මාට්ටු

ජයසිරි පේදුරුආරච්චි

මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අජිත් මෙන්ඩිස් මහතා ඇතුළු නිළධාරීන් විසින් මිරිස්ස ප්‍රදේශයේ 16 දින පෙරවරුවේදී සිදුකළ වැටලීමකදී ගංජා කිලෝ තුනකට ආසන්න ප්‍රමාණයක් සමඟින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතාට ලද තොරතුරක් අනුව සිදුකළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරු මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු විසින් කුඩාවැල්ල, ගන්දර, දෙවිනුවර, මිරිස්ස, මිදිගම ධීවර වරායන් වලින් ධීවර රැකියාව සඳහා යන ධීවරයන්ට මෙන්ම කඹුරුපිටිය, අකුරැස්ස, දෙනියාය, මොරවක, හක්මණ ප්‍රදේශවලටද දීර්ඝ කාලයක් තිස්සේ ගංජා බෙදාහැරීම සිදුකරන බව මූලික පරීක්ෂණ වලින් අනාවරණයවී ඇත.

සැකකරු විසින් මෙම ගංජා කිලෝවක් රුපියල් අසූ දහසකට (80,000) අලෙවිකර ඇතැයි පොලීසිය පවසයි. ඒ අනුව අත්අඩංගුවට ගත් ගංජා තොගයේ වටිනාකම රුපියල් දෙලක්ෂ හතලිස් දහසකට ආසන්න වන අතර වයස අවුරුදු 32ක් වන සැකකරු එක්දරු පියෙකි. සැකකරු මාතර මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

නව අදහස දක්වන්න