මේ ඇරැඹෙන්නේ ගෝඨාභය දසකයයි | දිනමිණ

මේ ඇරැඹෙන්නේ ගෝඨාභය දසකයයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ අතිවිශිෂ්ට මහ මැතිවරණ ජයග්‍රහණයත් සමග ඇරඹෙන්නේ ‘ගෝඨාභය දසකය’ බවත්, නව ජනමතය නිවැරදිව වටහාගෙන එයට ගෞරවයක් වන ආකාරයට කටයුතු කිරීමේ අභියෝගය නව ආණ්ඩුවේ සියලු දෙනා හමුවෙහි පවතින බවත්, තමන් ඇතුළු ජාතික නිදහස් පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 06 දෙනා ඉතා සතුටින් එම අභියෝගය භාර ගන්නා බව එම පෙරමුණෙහි නායක විමල් වීරවංශ මහතා පවසයි.ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ ලබා ඇති අතිවිශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය. “2015 ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුණා. ඉන්පසු එතුමන් ජනවාරි 09 වැනිදා, පාන්දරම අරලියගහ මන්දිරයෙන් කාල්ටන් නිවස බලා පිටත් වුණා. ඒ දර්ශන පෙළ දැකලා බොහෝ හදවත් කම්පාවට පත්වුණා. අපට පුළුවන් වුණා ඒ කම්පාවට පත් වුණු හදවත් තුළ ගැබ්ව තිබූ වුවමනාව දේශපාලන බලවේගයක් බවට පත් කරන්න.

ඒ අනුව තමයි 2015 පෙබරවාරි 18 වැනිදා ‘මහින්ද සුළඟ’ නුගේගොඩින් ඇරඹුණේ. එසේ ඇරඹුණු මහා ජන ක්‍රියාන්විතය අද ඉතා විශිෂ්ට මහ මැතිවරණ ජයග්‍රහණයක් ලබා දීම තෙක් පෙරට ඇවිත් තිබෙනවා. ගෝඨාභය රාජපක්‍ෂයන් ජනාධිපති ධුරයට පත් කරමින්, ඉන් නොනැවතී එතුමන්ට 2/3ක බලයක් සහිත පාර්ලිමේන්තු කණ්ඩායමක් ලබා දීමට සමත් වූ ඒ මහා ජන ක්‍රියාන්විතයට පුරෝගාමියකු ලෙස දායක වීමට ලැබීම මා සහ අප පක්‍ෂය ලැබූ ඉතා ඉහළ භාග්‍යයක් ලෙස සලකනවා.

මේ රටේ ඉතිහාසය පුරාම ජනාධිපතිවරණකින් පසුව පැවති මහ මැතිවරණයකදී ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ආණ්ඩු බලය හිමි වන දේශපාලන පක්‍ෂයට ලැබී නැහැ. මේ තමයි එවැනි තත්වයක් නිර්මාණය වූ පළමු අවස්ථාව. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂයන් කෙරෙහි තැබූ විශ්වාසයටත් වඩා වැඩි විශ්වාසයකින් මෙවර මහා මැතිවරණයේදී 60%කට වැඩි ඡන්දදායකයන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් සම්මාදම් වෙලා තිබෙනවා. කොරෝනා වසංගත තත්වය යටතේ ආරක්‍ෂිත මනසකට නොයා, ඡන්දපොළට ඇවිත් මේ පිරිස තම යුතුකම ඉටු කරලීම නිසා මේ ජයග්‍රහණය තව තවත් සුවිශේෂී වෙනවා. ඒ වගේම වෙනම තරග වැදුණු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අයත් අපේ කඳවුරේ දේශපාලන පක්‍ෂ ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව ද සමගින් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාට සවියක් විය හැකි මන්ත්‍රී ධුර 151කින් යුත් කණ්ඩායමක් මේ රටේ ජනතාව ආණ්ඩුවට ලබා දී තිබෙනවා.

ඒ ජනතා තීන්දුව තුළ ඇත්තේ අප දේශපාලන කඳවුර කෙරෙහි තැබූ ඉතා ඉහළ විශ්වාසයයි. ඒ තුළ ‘ගෝඨාභය රාජපක්‍ෂමහතා පවතින ක්‍රමය වඩා යහපත් අතට වෙනස් කරාවි’ කියන විශ්වාසය ගැබ් වූ ජනතා බලාපොරොත්තුවක් සැඟව තිබෙනවා. ඒ වගේම අපේ ප්‍රතිවාදීන් ලෙස බැලුවහොත් එක්සත් ජාතික පක්‍ෂය සොහොන් කොත කරාම රැගෙන ගොස් තිබෙනවා. මෙම මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ධුර 03කට අසරණ කොට තිබෙනවා. එමගින් පෙනී යන්නේ පසුගිය මාස 07-08 තුළ ගෝඨාභය රාජපක්‍ෂ පාලනයට එරෙහිව ගොඩනඟන ලද ප්‍රවාද මේ රටේ ජනතාව ‘තඹ දොයිතුවකට’ මායිම් කර නැති බවයි.

නව අදහස දක්වන්න