දෙපා රැඳි විෂබීජ නසන EDGENG Max උපකරණය සියලු රාජ්‍ය ආයතනවලට | දිනමිණ

දෙපා රැඳි විෂබීජ නසන EDGENG Max උපකරණය සියලු රාජ්‍ය ආයතනවලට

නව කොරෝනා වසංගත තත්ත්වයෙන් ආරක්ෂාවීමට දෙපා රැඳි විෂබීජ නසන EDGENG Max උපකරණය EDGENG ආයතනය විසින් සියලු රාජ්‍ය ආයතනයන්ට පරිත්‍යාග කෙරේ.

එම උපකරණය රාජ්‍ය ආයතනයන්ට ප්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ (02) බත්තරමුල්ල සුහුරුපාය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි. එහිදී මූලික වශයෙන් ආගමන විගමන පාලක ජනරාල් සරත් රූපසිරි, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක සහ සුහුරුපාය ආරක්ෂක ඉංජිනේරු බ්‍රිගේඩියර් කොඩිතුවක්කු යන මහත්වරු වෙත EDGENG ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සිදන්ත ගනේගොඩ මහතා විසින් ප්‍රදානය කෙරිණි.

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්ත්වය පාලනය කරන්න රජය, ආරක්ෂක අංශ, වෛද්‍ය ක්ෂේත්‍රය විශාල කාර්යභාර්යක් සිදු කළ බවත් ඒ නිසා අපේ රටේ කොරෝනා තත්ත්වය හොඳින් කළමනාකරණය කර ගැනීමට හැකිවූ බවත් එහිදී EDGENG ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සිදන්ත ගනේගොඩ මහතා ප්‍රකාශ කළේය. අඩු සම්පත් ප්‍රමාණයකින් ශ්‍රී ලංකාව වැනි කුඩා රටක් කොරෝනා වසංගතය පාලනය කිරීමට සිදු කළ මෙහෙවර ඉතා විශිෂ්ට බවත් පවසන ගනේගොඩ මහතා කෝවිඩ් 19 වයිරසයට මෙතෙක් බෙහෙතක් හඳුන්වා දී නොමැති කාලවකවානුවක වෛරසයෙන් ආරක්ෂාවීමට අප සැවොම එකට එකතුවී කටයුතු කළ යුතු බවත් ඒ වෙනුවෙන් උදව්වක් ලෙස මේ EDGENG Max දෙපා රැඳි විෂබීජ නසන උපකරණය නිෂ්පාදනය කර එය රාජ්‍ය ආයතනයන් වෙත ප්‍රදානය කිරීමට කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.

මේ ආයතනය හරහා පානීය ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධව නිෂ්පාදනයන්, අප ජලය සම්බන්ධ නවෝත්පාදන නිෂ්පාදනයන් රැසක් සිදු කර තිබෙන බවත් අනාවරණය කළේය.

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට නැවත වසා දැමීමේ තත්ත්වයකට පත් වුව හොත් එය රටට විශාල බලපෑමක් සිදු කරන බැවින් එවන් තත්ත්වයකට රට පත්වීමට ඉඩ නොදී සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම හැම දෙනාගේම වගකීම බව බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජේ. ආර්. එස්. අමරසේකර මහතා ප්‍රකාශ කළේය.

එම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය, EDGENG ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

චන්දිමා කරුණාරත්න 
ඡායාරූපය - සරත් වීරසිරි

 

නව අදහස දක්වන්න