එජාප නායකත්වය රුවන් විජයවර්ධනට දෙන්න | දිනමිණ

එජාප නායකත්වය රුවන් විජයවර්ධනට දෙන්න

යහපාලන රජයේ ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ රුවන් විජයවර්ධන මහතා මේ වන විට කැලණියේ එජාප ප්‍රධාන සංවිධායකයා ලෙස පත්ව සිටින අතර ඒ මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබාදෙන ලෙස වත්මන් ජාතික යොවුන් පෙරමුණ එජාප නායකත්වයෙන් ඉල්ලයි.

ජාතික යොවුන් පෙරමුණේ නායකයන්ගේ මෙහෙයවීමෙන් ගාලු මුවදොරට සමීප කාර්යාලයක පැවැති මාධ්‍ය හමුවකදී එහි ලේකම් දර්ශ බ්‍රාහ්මණ මහතා මේ ඉල්ලීම කළේය.

මෙහිදී ජාතික යොවුන් පෙරමුණේ ලේකම් දර්ශ බ්‍රාහ්මණ මහතා මෙසේද කීය.

දැන් ටික කාලයක සිට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තරුණ ජවයක් තිබෙන, මුහුකුරා ගිය දේශපාලන දැනුමක් ඇති, රටේ ජනතාවටත් රටටත් ආදරයක් තිබෙන කිසිම හොර වංචාවකට මැරකම්වලට සබඳකමක් නැති පුද්ගලයෙක් හැටියට රුවන් වි‍ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ජාතික යොවුන් තරුණ පෙරමුණ මගින් යෝජනා කළ බව ද යොවුන් පෙරමුණේ ක්‍රියාකාරීන් 42 දෙනාගෙන් 32ක් රුවන් විජයවර්ධන මහතාට කැමැත්ත ප්‍රකාශ කළ බව ද ඒ මහතා පැවසීය.

පක්ෂයේ ඉදිරි පෙළ හා පසු පෙළ නායකයන් ලෙස අකිල විරාජ් කාරියවසම් , අර්ජුන රණතුංග , නවීන් දිසානායක, පාලිත රංගෙ බණ්ඩාර සමඟ රුවන් විජයවර්ධන නායකයන් එජාප නායකත්වයේ සිට පහළට පවතින තනතුරුවලට පත් කළ යුතු බව ද රටේ බහුතර ජනතාවගේ කැමැත්ත මේ වන විටත් ඒ සඳහා ලැබී තිබෙන බව ද ජාතික යොවුන් පෙරමුණේ ලේකම්වරයා සඳහන් කළේය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේ සිටම සජිත් ප්‍රේමදාස වත්මන් විපක්ෂ නායකවරයාගෙන් එජාපය බෙදීම ඇරැඹිණි. ඉදිරි කාලයේදී ඔබ යෝජනා කරන එජාප නායකයා ලෙස පත්වුවහොත් සමඟි ජන බලවේගය සමඟ එකතුවනවාදැයි මාධ්‍යවේදියකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජාතික යොවුන් පෙරමුණේ ලේකම් දර්ශ බ්‍රාහ්මණ මහතා කියා සිටියේ බොහෝ විට සමඟි වී එකට ගමන් කිරීම සිදු විය හැකි බවයි.

එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජනබලවේගය එකතු වී ඉදිරි මැතිවරණයකදී ගිය කාලයේ එජාපයට ඡන්දය පාවිච්චි නොකළ ජනතාවගේ ඡන්දය ලබාගැනීම හරහා විශාල ජයක් ලබන බව ද රුවන් විජයවර්ධන මහතා මේ වනවිටත් ඒ වෙනුවෙන් කැමැත්ත පළ කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ජාතික යොවුන් පෙරමුණේ සංවිධායක චාමර රුද්‍රිගෝ මහතා-

ජාතික යොවුන් පෙරමුණේ හිටපු නායකයා ලෙස කටයුතු කළ රුවන් විජයවර්ධන මහතාට එජාප නායකත්වය ලබා දෙනවාට ජනතාව තුළ විශාල කැමැත්තක් තිබෙනවා.එතුමා 2007 , 2008 විශාල සේවාවක් අප රටේ තරුණ තරුණියන්ටත් සිදු කළා. ඒ අවධියේදී සාර්ථක මැයි රැලියක් පැවැත්වීම පිළිබඳ ජාතික යොවුන් පෙරමුණ ජාත්‍යන්තර ප්‍රසාදයට ලක්ව තිබෙනවා.

රුවන් විජයවර්ධන මහතා වෛරී දේශපාලනයකින් තොරව කටයුතු කළ නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නොව ශ්‍රී ලංකාවේම විජයවර්ධන පවුල ඉතාමත් හොඳ පවුලක් ලෙස ජාත්‍යන්තර ප්‍රසාදයට ලක්ව තිබෙන බව ද චාමර රුද්‍රිගෝ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂය ආරම්භයේදී මෙන් අනෙකුත් නිලතලවලට දෙමළ , මුස්ලිම් නායක‍යන්ද පසුව පත්කරන බව තවත් මාධ්‍යවේදියකුගේ පැනයකට පිළිතුරු දෙමින් චාමර රුද්‍රිගෝ මහතා පැවසීය.

කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රි දුමින්ද ආටිගල, ජාතික යොවුන් පෙරමුණේ විධායක සභික පියුමාල් කාවින්ද මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

කොළඹ සමූහ - ආරියරත්න ගනේ‍ගොඩ

නව අදහස දක්වන්න