වේදිකා නාට්‍ය කලාවේ අභිෂේකය - රාජ්‍ය නාට්‍ය උළෙල 2020 | දිනමිණ

වේදිකා නාට්‍ය කලාවේ අභිෂේකය - රාජ්‍ය නාට්‍ය උළෙල 2020

දේශීය නාට්‍ය නිර්මාණකරුවන් හා නාට්‍ය ශිල්පීන් අභිෂේක කරවන මෞලි මංගල්‍යය ලෙස සැලකිය හැකි රාජ්‍ය නාට්‍ය උලෙළේ 2020 සම්මාන ප්‍රදානෝත්සවය මේ මස 11 වන සිකුරාදා සවස 6.00 ට නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වේ. මෙම උලෙළ කලාකරුවන්ගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස 48 වෙනි වරටත් පැවැත්වෙනු ඇත. රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා නිවාස, ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරයි.

පසුගිය මාර්තු මස 27 ලෝක නාට්‍ය දිනය සමරන දා පැවැත්වීමට තිබූ රාජ්‍ය නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය කොවිඩ් - 19 වසංගතය නිසා දින නියමයක් නොමැතිව කල්දැමීමට සිදුවිය. කොරෝනා වසංගතය නිසා ජන ජීවිතය මෙන්ම නාට්‍යකලාව ද තාවකාලිකව අකර්මන්‍ය තත්ත්වයකට පත්විය. මාස ගණනාවක් අක්‍රීයව පැවති ශ්‍රී ලංකා කලාමණ්ඩලය නව නායකත්වයක් යටතේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ ඇතුළු සාමාජිකභවතුන්ගේ තීරණය අනුව පත් කළ අභිනව රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව විසින් ඒ වන විට සියලු කටයුතු සංවිධානය කොට තිබූ රාජ්‍ය නාට්‍ය සම්මාන උලෙළ එපරිද්දෙන්ම පැවැත්වීමට තීරණයකරන ලදි. ඒ අනුව 2020 පෙබරවාරිමස 15 දා සිට මාර්තු මස 03 දා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ වේදිකා ගත වූ සිංහල හා දෙමළ භාෂිත නාට්‍ය 25 ක් අතරින්තෝරාගත් ජයග්‍රාහකයන්ට මෙවර රාජ්‍ය සම්මාන හිමි වනු ඇත.

මුල්වටයේ සිංහල නාට්‍ය පිටපත් 65 ක් සහ දෙමළ නාට්‍ය පිටපත් 20 ක් අතුරින් අවසන් වටයට සිංහල දිගු නාට්‍ය 08 ක් ද දෙමළ දිගු නාට්‍ය 02 ක් ද තෝරාගෙන තිබුණි. අවසන්වටයේ දිගු නාට්‍ය දහය (10 ) පෙබරවාරිමස 15 සිට 26 දක්වා එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකාගත විය.

එම නාට්‍ය දහය පිළිවෙළින් මෙසේය. අතරමැදියා (නිලංග ධර්මදාස), ගලේ පිපෙන මල් (ඩබ්.එස්. විජේසිංහ), ගිනි ගිනිමාලේ (සුදත් අබේසිරිවර්ධන),රතු මඟුල් කපුවා (අඛිල සපුමල්), මම නෙමෙයි වෙන කෙනෙක් (ධර්මප්‍රිය ඩයස්) විජයන්තිමාලා (හේවගේබන්දුල වීරසිරි), සාක්කිකාරි (සංජීවඋපේන්ද්‍ර, හස්තිරාජමහත්තයා (සචිත්‍ර රාහුබද්ධ), ෆ්ලයිට්ලස් බටර්ෆ්ලයි (ඒ. විමලරාජ්)මන්කුලිතු (ඒ. සන්තිනාන්තම්සහසිවරාජා ප්‍රතීප්).

දිගු නාට්‍ය විනිශ්චය සඳහා ප්‍රවීණ නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම (සභාපති), මහාචාර්ය සෞම්‍ය ලියනගේ, ප්‍රවීණ විචාරක සමන්වික්‍රමාරච්චි, සංගීතඥ සමන්ත පෙරේරා, ආචාර්ය තරංග දන්දෙණිය, මහාචාර්ය ශ්‍රී ප්‍රසාන්තන් ආචාර්ය බිරේන්ද්‍රන් යන අය ජූරිමණ්ඩලය වශයෙන් කටයුතු කළහ.

මූලිකවටයේ සිංහල කෙටි නාට්‍ය අත්පිටපත් 125 ක් අතුරින් 69 ක් සහ දෙමළ කෙටි නාට්‍ය අත්පිටපත් 40 ක් අතුරින් 16 ක් දෙවනවටය සඳහා තෝරාගෙන තිබුණි. දෙවනවටයේ වේදිකාගත වූ කෙටි නාට්‍ය නිෂ්පාදන අතරින් සිංහල නාට්‍ය 11 ක් හා දෙමළ නාට්‍ය 4 ක් අවසානවටය සඳහා තෝරාගෙන තිබුණි. එම කෙටි නාට්‍ය පහළොව( 15) පෙබරවාරිමස 27 වැනිදා සිට මාර්තු මස 03 දා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකාගත වුණි. පිළිවෙළින් මෙසේය.

අංකලුයි මමයි (චරිත්මධුරංග), ඇවිත් බලන්න (සඳුන්ප්‍රසාද්අබේකෝන්), අත්තිකාරම් ( ආර්. ශ්‍රී කාන්ත්) ඩාර්ක් කලර් (සනත්අංජනවිජේතුංග), නග්නදේව (මුදිත ජයසූරිය), පච්චයිමරමුම්පදුම් (පී. ගනේෂරාජා), පත්තුවෙනහීන (අශාන්ඩිලංක පෙරේරා),පශ්චාත්තාපය (මධුමාල් කුලසිංහ), බක්කි (වී. විජයකුමාර්), පොත්ගුල (සුරේෂ් මධුෂාන්),මස් ලොරියක් (ජයනි කළුආරච්චි), පෙන්නාල් (වීරබාකු කතීසන්)බෝම්බ ගැහුවටකමක්නෑ; අපි සිංදුකියමු (හේෂාන් කුරුප්පු), සය (දමිත් අළුත්ගම), ෆීමේල් (දේදුනු සංගීතා)

කෙටි නාට්‍ය විනිශ්චය සඳහා මහාචාර්ය මංගලිකා ජයතුංග (සභාපති), සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පිනී චාන්දනී සෙනෙවිරත්න, ප්‍රවීණ සංගීතඥ ගයාන් ඝණකධාර, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තරංග දන්දෙණිය, ආචාර්ය එම්. නදීරා, ආචාර්ය ශ්‍රී ප්‍රශාන්තන් සහ පූජිත ද මෙල් යන අය ජූරිය වශයෙන් කටයුතු කළහ.

ඉහත කී දිගු නාට්‍ය දහය සහකෙටි නාට්‍ය පහළොව අතරින් ප්‍රශස්ත මට්ටමේ නිර්මාණ හා කුසලතාපූර්ණ නාට්‍යකරුවන් හා කලාශිල්පීන් තෝරාගෙන හොඳම නාට්‍ය නිෂ්පාදනය, (දිගු/කෙටි),හොඳම අධ්‍යක්ෂණය (දිගු/කෙටි), හොඳම රචනය (දිගු/කෙටි),හොඳම නළුවා,හොඳම නිළිය, යනා දීවශයෙන් තරග ශීර්ෂ හාඉසව් 90 ක් යටතේ සම්මාන පිරිනැමේ.

2019 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළ හොඳම රචනය සඳහා සම්මාන හිමිකර ගත් නාට්‍ය අත්පිටපත් 4 ක් (සිංහල දිගු නාට්‍යය/කෙටි නාට්‍ය සහ දෙමළ දිගු නාට්‍යය /කෙටි නාට්‍ය) මුද්‍රණයකර ග්‍රන්ථයක්ලෙස එළි දැක්වීම ද මෙවර රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සව දිනයේ දී සිදු කෙරේ. ඒ අනුව, ග්‍රීස්යකා රිටන්ස් (නිශාන්ත ද සිල්වා හා රජිත හෙට්ටිආරච්චි)නොකියා හිටපු දෙයක්-කෙටි (නලින් ලුසේනා)මායාච්සූදු (මායාකාරසූදුව - එස්. සෙල්වකුමාර් )අප්පාල් පෙයියුම්මලයි- කෙටි (එපිටවසිනවැසි - වී. විෂ්ණුආනන්තන්)යනනාට්‍ය පෙළ රචනා හතර මුද්‍රණද්වාරයෙන් නිකුත් වන්නේ නාට්‍ය සාහිත්‍යය පෝෂණය කිරීමට රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව සහ සංස්කෘතිකකටයුතු දෙපාර්තමේන්තුව එකතුව ගත් පියවරක් ක්‍රියාවට නඟමිනි.

දේශීය නාට්‍ය ශාලාවේ අභිවෘද්ධියට හා ප්‍රගමනයට මහඟු සේවයක් කළ කලාකරුවන්ට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන නාට්‍ය කීර්ති රංගාභිමානි ප්‍රසාදිනි ගෞරව සම්මානය මෙවර පිරිනැමෙන්නේ ප්‍රවීණ නාට්‍යවේදී නිශ්ශංක දිද්දෙණිය,ප්‍රවීණ කිවිවර සම්මානනීය අංග රචනා ශිල්පි බුද්ධදාස ගලප්පත්ති සහප්‍රවීණ රංගන ශිල්පිනී අනුලා බුලත්සිංහල යන අයටය. මීට අමතරව යාපනයේ වාසය කරමින් දෙමළ නාට්‍ය කලාව හා දෙමළ නාට්‍යකරුවන්ට සිදු කළ මෙහෙවර උදෙසා එන්. මරිය සේවියර් පියතුමාට නාට්‍ය කීර්ති සම්මානය පිරිනැමීමට රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව විසින් තීරණයකර ඇත. සම්භාවනාවට පාත්‍රවන මෙකී නාට්‍යවේදීන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණ කලාකරුවන්, සම්මානනීය නාට්‍ය කරුවන් හා නාට්‍ය ශිල්පීන්ගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වීමට ජාතිකඋරුම,ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුරවි ක්‍රමනායක මහතා උපදෙස් ලබාදී ඇත.

48 වන වරට පැවැත්වෙන රාජ්‍ය නාට්‍ය සම්මාන උලෙළ ඇගයීමට හා සම්මානයට පාත්‍රවන සියලුම නිර්මාණ කරුවන්ට හා කලා ශිල්පීන්ට සුභාශිංසන පිරිනැමීමට අභිනව රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරියරත්න ඇතුගල ඇතුළු සාමාජික භවතුන් මෙය අවස්ථාවක්කර ගන්නා අතරම දුෂ්කර අවස්ථාවක උළෙලේ කටයුතු සාර්ථක කර ගැනීමට අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළ සංස්කෘතික කටයුතු පිළිබඳ වැඩ බලන අධ්‍යක්ෂිකා තරණි අනෝජා ගමගේ මහත්මිය, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ ලේකම් ජී.ඒ. ජිනප්‍රිය ඇතුළු සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්ම මහත්මීන්ට නාට්‍ය කලාවේ අභිවෘද්ධිය පතන සියලු නාට්‍ය කලා කරුවන්ගේ හා කලා ශිල්පීන්ගේ ප්‍රණාමය සහ ස්තුතිය හිමි විය යුතුය.

චන්ද්‍රසිරි බෝගමුව 
(උපසභාපති) 
රාජ්‍ය නාට්‍ය උපදේශකසභාව

නව අදහස දක්වන්න