අයිපීඑල් තරගාවලිය අද ඇරඹේ | දිනමිණ

අයිපීඑල් තරගාවලිය අද ඇරඹේ

නිරෝෂාන් ප්‍රියංකර

- පළමු සටන දෝනිගේ චෙන්නායි සහ රෝහිත්ගේ මුම්බායි අතර
- උදානලාගේ බැංගලෝර් පිල 21දා පිටියට

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය 13 වැනි වරට සංවිධාන කරන විස්සයි20 ක්‍රිකට් තරග බිමේ විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනා ගත් ‘ඉන්දීය ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලිය අද (19) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වෙයි.

ඉන්දියාවට එල්ල වී ඇති කොරෝනා වසංගතයේ බලපෑම හමුවේ මෙවර තරගාවලිය එමීර්හිදී පැවැත්වීමට සංවිධායකයන් කටයුතු කළ අතර, කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් නොවැම්බර් 10 වැනිදා දක්වා දින 53ක් පුරා පැවැත්වෙන තරගාවලියට ඇතුළත් තරග සංඛ්‍යාව 60කි. මූලික වටයේදී එක් කණ්ඩායමක් තවත් කණ්ඩායමක් සමඟින් තරග 2ක් ක්‍රීඩා කළ යුතු අතර, ඒ අනුව එක් කණ්ඩායමකට මූලික වටයේදී තරග 14ක් ක්‍රීඩා කිරීමට සිදු වේ.

ඉන් තරග 10ක් දිවා තරග ලෙස මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වන අතර, අනෙක් තරග රාත්‍රි 7.30ට ආරම්භ වීමට නියමිතය. එම තරග අබුඩාබි, ඩුබායි සහ සාජා යන ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය. කොරෝනා වසංගතය හේතුවෙන් ප්‍රේක්ෂකයන්ට මෙවර ක්‍රීඩාංගණයේදී තරග නැරඹීමේ අවස්ථාව අහිමි වී ඇති අතර, තරගාවලියට එක් වන කණ්ඩායම්වලට සීමාවකින් තොරව ක්‍රීඩක ආදේශ කිරීම් සිදු කිරීමට අවස්ථාව ලබාදී ඇත.

මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන වත්මන් ශූරයන් වන රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ අනුශූරයන් වන මහේන්ද්‍ර සිං දෝනි මෙහෙයවන චෙන්නායි සුපර් කිංග්ස් පිල තරගාවලිය ආරම්භ කරමින් මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට අබුඩාබිහිදී අද පළමු සටනට පිවිසෙති.

සිව්වරක් අයිපීඑල් ශූරයන් වී ඇති මුම්බායි පිල කිරුළ රැක ගැනීමේ අරමුණින් අද තරග බිමට පිවිසෙන අතර, චෙන්නායි පිල සටනට පිවිසෙන්නේ සිව්වැනි වරට කිරුළ දිනා ගැනීමේ අරමුණෙනි. 

මුම්බායි පිල 2013, 2015, 2017 සහ පසුගිය වසරේ ශූරයන් වූ අතර, චෙන්නායි පිල තෙවරක් ශූරතාව දිනා ගෙන ඇත. 2016 සහ 2017දී චෙන්නායි පිලට‍ තරගාවලිය අහිමි විය.

තරගාවලියට එක් වන කණ්ඩායම් අටෙන් 6කට ඉන්දීය ක්‍රීඩකයන් නායකත්වය දෙන අතර, රාජස්ථාන් රෝයල් සහ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම් සඳහා පිළිවෙළින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වන ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් නායකත්වය දෙති.

දෝනි සහ රෝහිත්ට අමතරව ශ්‍රෙයාස් අයියර් (දිල්ලි කැපිටල්ස්), විරාට් කෝලි (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්), ලෝකේෂ් රාහුල් (කිංග්ස් ලෙවන් පන්ජාබ්), දිනේෂ් කාර්තික් (කොල්කටා නයිට් රයිඩර්ස්), ස්ටීව් ස්මිත් (රාජස්ථාන් රෝයල්), ඩේවිඩ් වෝනර් (සන්රයිසස් හයිද්‍රාබාද්) කණ්ඩායම් නායකයන් ලෙස කටයුතු කරති.

මෙවර තරගාවලියට ශ්‍රී ලංකාවෙන් එක්ව සිටින එකම ක්‍රීඩකයා වන ඉසුරු උදාන ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ පළමු තරගය 21 වැනිදා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ පැවැත්වේ. මුම්බායි කණ්ඩායමේ ප්‍රබලම පන්දු යවන්නකු වූ ලසිත් මාලිංග ද තරගාවලියට එක් වීමට නියමිතව තිබුණත් පෞද්ගලික හේතු මත මෙවර එක් නොවීමට තීරණය කර තිබේ.

පසුගිය වසරේ මුම්බායි පිලට ශූරයන් වීමට මාලිංග විශාල කාර්යක් ඉටු කළේය. අවසන් ඕවර යැවූ ඔහු අවසන් පන්දුවෙන් කඩුල්ලක් දවා ගනිමින් මුම්බායි පිලට ලකුණක තියුණු ජයක් අත් කර දුන්නේය.

මේ තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ද වන්නේ මාලිංගය. ඔහු මේ වන විට කඩුලු 170ක් දවා ගෙන ඇති අතර, ඒ සඳහා සහභාගි වී ඇත්තේ තරගාවලි 9කට පමණි. තරග 122කදී මේ කඩුලු සංඛ්‍යාව බිඳ දැමූ මාලිංග 2011 වසරේ ලකුණු 13කට කඩුලු 5ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම සටහන් කර තිබේ. ඔහුට 2008, 2016 සහ 2018 තරගාවලි අහිමි විය. දෙවැනි ස්ථානයේ පසු වන අමිත් මිෂ්රා තරග 147කදී කඩුලු 157ක්ද, හර්බජාන් සිං තරග 160කදී කඩුලු 150ක් ද දවාගෙන තිබේ.

තරගාවලියේ පිතිකරුවන් අතර, පෙරමුණේ පසු වන්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලිය.

2008 වසරේ සිට පසුගිය තරගාවලිය දක්වා තරගාවලි 12ම නියෝජනය කළ ඔහු තරග 177කදී ලකුණු 5412ක් රැස් කිරීමට සමත්ව ඇත. සුරේෂ් රයිනා තරග 193කදී ලකුණු 5368ක් සමගින් පිතිකරුවන් අතර, දෙවැනි ස්ථායේත්, රෝහිත් ශර්මා තරග 188කදී ලකණු 4898ක් රැස් කර තෙවැනි ස්ථායෙත් පසු වෙති.

නව අදහස දක්වන්න