‘පෙළපාළිකරුවන්ගේ හඬට සවන් දෙන්න’ | දිනමිණ

‘පෙළපාළිකරුවන්ගේ හඬට සවන් දෙන්න’

යුක්තිය සහ සාධාරණ මැතිවරණයක් ඉල්ලා වීදි බට බෙලරූස ජනතාව

ලොව පුරා ප්‍රදේශ රැසක මේ වන විට ඇතිවී තිබෙන උද්ඝෝෂණ, පෙළපාලි සහ ජනතා පෙළගැසීම්වලට සවන්දීමේ අවශ්‍යතාව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. එතුමා පවසන්නේ මේ පෙළපාලිවලින් ප්‍රකාශ වන්නේ දේශපාලනික සහ සමාජයීය ගැටලු සම්බන්ධයෙන් ජනතාවගේ කලකිරීම බවය. ප්‍රචණ්ඩත්වයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදීව නැගෙන "ජනතාවගේ මානව අයිතිවාසිකම් පිළිබඳ ඉල්ලීම්වල හඬට" දේශපාලන නායකයන් සවන් දිය යුතු බව එතුමා කියා සිටියි.

මේ දිනවල ලෝකයේ ප්‍රදේශ ගණනාවක විවිධාකාර හේතු මත සිදුකරනු ලබන විරෝධතා, පෙළපාලි සහ ජනතා රැලි කෙරෙහි අවධානය යොමු කිරීම කළ යුතු බව තුන්කාල ආරාධනාව සහ භාවනාව අවසානයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේ ය.

සිය විරෝධතා ප්‍රකාශ කරන්නට පෙළ ගැසෙන ජනතාවට සුදොතුම් පියතුමා මුලින්ම කතා කළේය.

"විරෝධතා ප්‍රකාශ කරන ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩත්වයේ හෝ ආරවුල් ඇති කිරීමේ පෙළඹවීම්වලට හසු නොවී, සිය ඉල්ලීම් සාමකාමීව ඉදිරිපත් කරන ලෙසයි"යි එතුමා කීවේය.

ජනතාව සම්බන්ධයෙන් වගකීම් පැවරෙන ආණ්ඩු සහ දේශපාලන නායකයන්ට එතුමා ඊළඟට ආමන්ත්‍රණය කළේය.

"සිය පුරවැසියන්ට සවන් දී ඔවුන්ගේ සාධාරණ දුක් ගැනවිලි පිළිගන්නැයි ආණ්ඩු සහ දේශපාලන නායකයන්ගෙන් මම ඉල්ලා සිටිමි. නිරන්තරයෙන් මානව අයිතිවාසිකම්වලට සහ සිවිල් නිදහසට ගරු කිරීම සහතික කරන ලෙසද රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලමි."

කතෝලික සභා නායකත්වය සහ කතෝලික ප්‍රජාව වෙත විරෝධතා කරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී කතෝලික ප්‍රජාව වෙතද වගකීමක් පැවැරී තිබෙන බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. එනම් පලදායී සංවාදයක් සඳහා සක්‍රීයව ක්‍රියා කිරීමට සභා නායකත්වය සහ කතෝලික ප්‍රජාව යොමු විය යුතු බවය.

"ඵලදායී සංවාදයක් ඇති කිරීම සඳහා සහ සමගි සන්ධානය සඳහා තමන්ට හැකි උපරිම ශක්තියෙන් ක්‍රියා කරන ලෙස මෙවැනි විරෝධතා සිදුවන ප්‍රදේශවල පුදැදුරුවරුන් ඇතුළු කතෝලික ප්‍රජාවගෙන් මම ඉල්ලා සිටිමි,"යි එතුමා කීවේය.

ඇමෙරිකාවේ දැල්වුණු වාර්ගික හෝ සමේ වර්ණයෙන් හෝ සුළු ජාතියක් වූ ජනතාව උදෙසා යුක්තිය ඉල්ලා සිටීමේ විරෝධතා පෙළපාලිවල ගිනි සිළු මේ වන විට ලොව පුරා පැතිර යමින් තිබේ.

බෙලරූසය දැවැන්ත ජනතා රැළි ආරම්භ වී ඇති තවත් ප්‍රදේශයකි. ඉකුත් දා එරට පැවැත්වුණු මැතිවරණයෙන් එරට ඒකාධිපති පාලකයා වන ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ යළිත් වරක් ජය ගත්තේය. ඒ අතර ඔහුට එරෙහිව තරග කළ බරොවස්ක් පළාතේ ආණ්ඩුකාරවරයා වසර 2000දී සිදු කළ බව කියන මිනීමැරුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබිණි. මේ අයුක්තිසහගත කාරණා දෙකට එරෙහිව දශ ලක්ෂ සංඛ්‍යාත බෙලරූස ජනයා මේ වන විට වීදි බැස තිබේ. ඔවුන්ගේ ඉල්ලීම සාධාරණ ඡන්දයක් පවත්වන ලෙසයි. එහෙත් රුසියාවේ ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ පූර්ණ සහාය ලබන ජනාධිපති ලුකෂෙන්කෝ එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් සිටියි.

අලුතින්ම උද්ඝෝෂණ ආරම්භ වී තිබෙන්නේ ග්‍රීසියේ ලෙස්බොස් දූපතේය. තමන් යුරෝපා සංගමයේ රටවල්වලට ඇතුළු කරගන්නැයි ඉල්ලමින් එහි රඳවා සිටින අප්‍රිකා රටවල සරණාගතයන් මෙසේ උද්ඝෝෂණ ආරම්භ කර තිබේ.

"උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම්වලට සවන් දෙන්න"යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉල්ලා සිටින විට ප්‍රධාන වශයෙන් මේ ජනතාව සේම ලොව පුරා යුක්තිය උදෙසා සටන් කරන සියලු ජනයා එතුමන්ගේ සිතේ සිටියාට සැක නැත.

සමන් කැලුම් විජේසූරිය

නව අදහස දක්වන්න