ජනපතිට විලංගු දැමූ 19 උප්පරවැට්ටි | දිනමිණ

ජනපතිට විලංගු දැමූ 19 උප්පරවැට්ටි

අසේල කුරුළුවංශ

ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රටේ ජනතාව අතිවිශාල ජනවරමක් දුන්නේ ඔහු කෙරෙහි විශාල බලාපොරොත්තු තබාගෙනය. මහ මැතිවරණයේදී එය තවත් ඉදිරියට ගෙන යමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉහළින්ම ඔසවා තබා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනතාව දුන්නේ දහසක් බලාපොරොත්තු දල්වාගෙනය. එම අපේක්ෂා ආණ්ඩුව විසින් ඉටු කරනු ඇතැයි ජනතාව විශ්වාස කරති.

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් පෙත්සම් තිස් නවයක් ඉදිරිපත්ව තිබේ. මෙම පෙත්සම් විභාග කර ඊට අදාළ තීන්දුව දින 21 ක් තුළ ලබාදීමට නියමිතය. පෙත්සම් ඉදිරිපත් කළ පිරිස අතර විපක්ෂයේ දේශපාලන පක්ෂත් පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පමණක් හිමිකරගත් එක්සත් ජාතික පක්ෂයත් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු ඇතුළු පිරිසක් සිටිති. ආණ්ඩුව පවසන්නේ ජනමත විචාරණයකට යායුතු කාරණා විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ නොමැති බවයි. එසේ වුවත් පෙත්සම් ඉදිරිපත් කළ අයගේ මතය වන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් නොව ජනමත විචාරණයකට යායුතු කරුණුද මෙම සංශෝධනයේ තිබෙන බවය. ඒ සම්බන්ධ තීණ්දුව අධිකරණයට බාරය. එය එසේ වුවත් රට කඩිනමින් සංවර්ධන මාවතට යොමුවිය යුතුව ඇත. රටම දන්නා පරිදි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක ජනපතිගේ දෑත් බැඳ තිබේ. වත්මන් ජනපතිවරයාගේ ධූර කාලයෙන් වසරක් මෙම නොවැම්බර් මාසය වන විට ගෙවී යයි. මාර්තු මාසයේදී කොවිඩ් අසාදිතයන් සමාජයෙන් සොයා ගැනීම නිසා රට දින පනහක පමණ කාලයක් වසා තිබිණි. පාර්ලිමේන්තුවක් නොමැතිව ගෙවීගිය අදාළ කාලය තුළ ජනපතිවරයා රට අර්බුදයේ ගිලී යා නොදී තබා ගැනීමට දැඩි වෙහෙසක් ගත්තේය. ඒ සියල්ල ඔහු විසින් කරනු ලැබුවේ ප්‍රමාණවත් පරිදි බලතල නොමැතිව බව අප තේරුම්ගත යුතුව තිබේ.

විසිවන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ආණ්ඩුවට තුනෙන් දෙකක ජනවරමක් මේ රටේ ජනතාව දී තිබේ. එවැනි ජනවරමක් 19 වැනි සංශෝධනය සඳහා යහ පාලන ආණ්ඩුවට ජනතාව ලබා නොදුන්හ. යහ පාලන ආණ්ඩු සමයේ ජනපති හා අගමැති පත් වූයේ පක්ෂ දෙකකිනි. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව 2015 ජනපතිවරණයේදී ජනපති සටනට පැමිණි මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහුගෙන් පසු විධායක ජනපති ධූරය අහෝසිකරන බවට පොරොන්දුවක් දුන්නේය. ඉන් නොනැවතුණු ඔහු තම පාලන කාලයේදී එම ධූරයේ බලතල කප්පාදු කරන බවද පැවසුවේය. මේ රටේ සමස්ත ඡන්ද දායකයන්ගේ බහුතරය දිනා ජනපති ධූරයට පත් විය නොහැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලිව දැන සිටියේය. එවකට මෙරට ප්‍රධාන පක්ෂ දෙකින් එකක නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා 2010 දී හා 2015 ජනපතිවරණවලට ඉදිරිපත් නොවීමෙන් එය පැහැදිලි කර ගැනීමට පුළුවන. මේ නිසා ඔහු කළේ බළලුන් ලවා කොස් ඇට බෑවිම හා සමාන දෙයකි. ජනපති වීමට පූර්ණ සහාය මෛත්‍රිපාල සිරිසේන මහතාට දුන් ඔහු ජනපතිවරණයෙන් පසු ජනපතිවරයා සතු බලතල තමන් වෙත ගැනීමට යෙදූ උප්පරවැට්ටියක් ලෙස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හැඳින්වීමට පුළුවන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේඛම්ව සිටි තමන්ට ජනපති වෙන්නට පාර කැපූ පුද්ගලයාට එරෙහි වන්නට මෛත්‍රිපාල සිරිසේන මහතාට නොහැකි වීමේ අවසන් ප්‍රතිඵලය වූයේ තමන් විසින්ම තමන්ගේ දෑතට විලංගු දාගැනීමේ තත්ත්වයට ජනපතිවරයා පත්වීමය.

ජනපති හා අගමැති එකම පක්ෂයකින් 2015 වසරේදී බිහිව තිබුණේ නම් මේ ආකාර විකාර රූපි සංශෝධනයක් ව්‍යවස්ථාවට එක්වන්නේ නැත. ජනපති සතු බලතල අඩුකර ඒ සියල්ල තමන් යටතට ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ යෙදූ උපාය මෛත්‍රිපාල සිරිසේන මහතාට වැටහුණේ තම ධූර කාලය අවසන් වීමට වසර දෙකක් තිබියදීය.අනෙක් පැත්තෙන් එම ව්‍යවස්ථා සංශෝධනය තුළ රාජපක්ෂවරුන් මැතිවරණවලින් ඉවත් කර තැබීමේ අරමුණක්ද ක්‍රියාත්මක විය. විධායක ජනපති ධූරය දෙවරකට වඩා දැරිය නොහැකි බවට හා ද්විත්ව පුරවැසි භාවය ඇති අයෙකුට ජනපති ධූරයට හා ව්‍යවස්ථාදායකට පත්විය නොහැකි බවට යෝජනා ගෙනාවේ ඒ සඳහාය.කැබිනට් මණ්ඩලය උපරිම 30කට සීමා කිරීම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ යහපත් යැයි සිතිය හැකි යෝජනා තමන්ගේ වාසියට හරවා ගනිමින් යහ පාලන ආණ්ඩුව කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ දෙකක හෝ ඊට වැඩි ගණනක නියෝජිතයින් එකතුවී ජාතික ආණ්ඩුවක් ගොඩ නගන්නේ නම් කැබිනට් අමාත්‍ය ධූර 49ක් දක්වා ඉහළ ගෙන යාහැකි බවට වගන්තියක් ඇතුළත්කර ගැනීමය. ජනපතිවරණ ප්‍රතිඵලයෙන් පසු අනිවාර්යයෙන්ම ශ්‍රී ලනිපයේ කණ්ඩායමක් තම පක්ෂය හා එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා දැන සිටියේය.

මේ සියල්ලේ අවසන් ප්‍රතිපලය වූයේ ජාතික ආරක්ෂාව සම්බන්ධ වගකීම පැවරෙන්නේ කාටද යන්න පිළිබඳව පවා ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිවීමය. පාස්කු ප්‍රහාරයේදී ජනපති හා අගමැති කටයුතු කළ ආකාරය සම්බන්ධවත් එය වළක්වා ගැනීමට නොහැකි වූයේ ඔවුන් දෙදෙනා අතර පැවැති බල අරගලයේ ප්‍රතිඵලයක් නිසා බවත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිසමේදී කදිමට හෙළිදරව් වන්නේය. විධායකය හා ව්‍යවස්ථාදායකය අතර පැවැති විරසකය ඔඩුදුවත්දීත් විධායක ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි තත්ත්වයක් ඇතිවීම නිසා රට අර්බුද රැසකට පත් වුණේය. එක් පැත්තකින් ආරක්ෂාව බින්දුවට වැටෙද්දී අනෙක් පැත්තෙන් ආර්ථිකය කඩා වැටුණේය.දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇතැම් වගකීම් විධායකයටද නැතහොත් ව්‍යවස්ථාදයකයටද යන්න පැහැදිලිව තේරුම්ගත නොහැකි වාතාවරණයක් ඇතිවිය. ස්වාධීන කොමිෂන් සභා,තොරතුරු දැන ගැනීමේ පනත එක්තරා අන්දමකින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැමැති කොකෝ බනිසයට තවරන ලද සීනිය. ඒවාද පසුකාලීනව දිය වී වැටෙන තත්ත්වයට පත්වූයේ ස්වාධීන කොමිෂන් සභාවල ඇතැම් නියෝජිතයන්ගේ පක්ෂග්‍රාහි හැසිරීම් එළිපිට දක්නට ලැබීමත් සමඟය. වංචා දූෂණවලට තිත තබන බව පැවසුවත් යහ පාලන ආණ්ඩු සමයේ සිදුවූ මහ බැංකු බැඳුම්කර කොල්ලය මෙරට සිදු වූ විශාලතම දූෂණවලින් එකක් ලෙස ඉතිහාසයට එක්ව තිබේ. දහනවයෙන් ඇති කළ ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක වෙත්දී මෙම වංචාව සිදු කළ බව අප අමතක නොකළ යුතුය.

පසුගිය ජනපතිවරණය වන විට මේ රටේ ජනතාවට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබිණි.එමඟින් නිර්මාණය වූ අර්බුදවල පීඩාවන් ජනතාව හොඳින් අත්විඳ සිටියහ. මේ නිසාම එය අහෝසි කළ යුතු බවට මතයක් ජනතාව වෙතින්ම පිබිදී අවේය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ සමයේදී 19 ය අහෝසිකර නව සංශෝධනයක් ව්‍යවස්ථාවට ගෙන එන බවත් අනතුරුව පූර්ණ ව්‍යවස්ථා වෙනසකට යන බවත් පැවසුවේය.ජනතාව එය අනුමත කරමින් අති විශාල ජනවරමකින් ඒ මහතා ජනපති ධූරයට පත් කළේය. මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බලයක් තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ ව්‍යවස්ථා සංශෝධනය පහසුවෙන් කරගැනීමේ අභිලාෂය ඇතිවය. වත්මන් විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම එවැනි බලයක් පොහොට්ටුවට නොදෙන ලෙස මහ මැතිවරණ සමයේදී පැවසුවත් ජනතාව එයට කන් දුන්නේ නැත.එය එක්තරා අන්දමකින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ලබාදුන් ජනවරමක් ලෙස අර්ථකතනය කිරීමට පුළුවන. මේ ගෙන එන්නේ නව ව්‍යවස්ථාවක් නොව පවතින ව්‍යවස්ථාවට සංශෝධනයකි. පවතින ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒම එක රැයකින් කළ නොහැකිය.ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත වෙයි. එතෙක් රට ඉදිරියට ගෙනයෑම සඳහා ජනපතිට අවශ්‍යය තීන්දු තීරණ ගැනීමට පසුබිම තිබිය යුතුය. ඒ සඳහා ව්‍යවස්ථාවෙන් ඇති කර තිබෙන බාධා ඉවත් කිරීම ජනතාවගේද අපේක්ෂාවය. මෙය ඉක්මනින් කළ යුතුය. ඒ සඳහා නිකරුණේ කාලය ගත කිරීම මේ මොහොතේ අවශ්‍ය්‍ය දෙයක් නොවන්නේය.රට ඇත්තේ බරපතළ තත්ත්වයකය.ඊට මුහුණ දීමට නම් මේ සංශෝධනය ඉක්මනින් කර 19 ව්‍යවස්ථාවෙන් බැඳ දමා තිබෙන ජනපති දෑත් ලිහා දැමිය යුතුය.

නව ව්‍යවස්ථාවකට ඇතුළු කළ යුතු දේවල් විසිවන ව්‍යවස්ථා සංශෝධනය තුළට ඇතුළු කිරීමට කවුරුන් හෝ උත්සාහ කරන්නේ නම් ඉන් ඇති වන්නේ අවුලකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම විධායක ජනපතිවරයාට රටේ ආරක්ෂාව සහතික කිරීමේ වගකීම පැවරී තිබේ. එසේ තිබියදී ජනපතිවරයාට ආරක්ෂක ඇමැතිධූරය දැරීමට ඇති හැකියාව 19 මගින් අහුරා ඇත.විස්ස මගින් විගණනයට බාධා ඇතිකර තිබෙන බවට තවත් මතයක් තිබේ.රාජ්‍ය ආයතනවල වංචා දූෂණ අවම කිරීමට විගණනය අවශ්‍යය බවට තර්කයක් නැත.විගණනය තුළින් අප අපේක්ෂා කරන්නේ මුදල් අවභාවිතය වළක්වා ගැනීමය. ඇතැම් අවස්ථාවල විගණනය රාජ්‍ය ආයතනවල කකුළෙන් අදින අවස්ථාද තිබේ.රටේ ඉදිරි ගමනට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ඇතැම් ප්‍රධානීන් මැළිවන අවස්ථා විගණනය හේතුවෙන් නිර්මාණය වී ඇත. මේවා සම්බන්ධව මධ්‍යස්ථව කල්පනා කර බැලිය යුතුය.විගණනය විගඩමක් නොවී රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුය. රථවාහන වැරැද්දක් අල්ලා ගැනීමට ගහකට මුවා වී බලාසිටින පොලිස් රථවාහන අංශ නිලධාරියකු මෙන් විගණනය ක්‍රියාත්මක වන්නේ නම් පලක් නැත. රාජ්‍ය ආයතන පාලනයට යටත් කළ යුතු අතර ඒවාට අවශ්‍ය අවස්ථාවේ ඉක්මනින් ක්‍රියාත්මක වීමට පසුබිම තිබිය යුතුය. වඩා වැදගත් වන්නේ විගණනයේ බලපෑම යහපත් දිශානතියටකට රට යොමු කිරීමට හේතු වීමය. 

අමාත්‍ය මණ්ඩලය නඩත්තු කිරීමට මහජන මුදල් විශාල ලෙස වැයවීම කලක පටන් අපේ රටේ ජනතා විවේචනයට ලක්වූ කාරණයකි. මේ නිසා ඒ සඳහා සීමාවක් පවත්වා ගැනීමට හොඳය. වත්මන් ආණ්ඩුවට ජනතාව තුනෙන් දෙකක බලයක් ලබාදී තිබෙන බැවින් ආණ්ඩුව අස්ථාවර වීමක් සිදුවීමේ ඉඩක් නැත. මේ නිසා සීමාව ඉක්මවා ඇමැති ධූර පිරිනැමීමට යෑම ජනතා අපේක්ෂාවලට පිටින් යෑමක් බව ආණ්ඩුව තේරුම්ගත යුතුය. වරක් කැබිනට් ඇමැතිවරයෙකු වූ අයකු සදාකාලිකවම කැබිනට් ඇමැතිවරයකු ලෙසම කටයුතු කළ යුතු යැයි මහජන මතයක් තිබේ. කැබිනට් ඇමැතිකමක් දැරූවෙකු ඊළඟ මැතිවරණය ජයගෙන පාර්ලිමේන්තු පැමිණි පසු ඔහුට යළිත් කැබිනට් ඇමැතිකමක් ලබාදිය යුතු යැයි නියමයක් නැත. එසේ වුවත් එවැනි නියමයක් ඇත­ැමුන් හදාගෙන තිබෙන බවක් පෙනෙන්නට ඇත.කැබිනට් ඇමැති ධූර සංඛ්‍යාව 30 කට සීමා වන්නේ නම් ඊට සුදුසු අය මිස කැබිනට් මණ්ඩලය නියෝජනය කළ අයට ප්‍රමුඛතාව දී අනෙක් අය පසුව සලකා බැලීමේ ක්‍රමය බැහැර කළ යුතුව තිබේ. අප කෙසේ පැවසුවත් මෙය ප්‍රශ්නයකි.ඇමැති ධූර පිරිනමන අවස්ථාවල කැබිනෙට්ටුවට පත් නොකළ හොත් ජ්‍යෙෂ්ඨයන්ගේ මුහුණ ඇඹුල් වන්නේ මේ නිසාය.කලින් කළ වැරදි ඒ ලෙසම පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නැත. එය කවුරුන් හෝ කොතනින් හෝ නිවැරදි කළ යුතුය. මෙවර එය යම් ප්‍රමාණයකට නිවැරදි වී තිබෙන බව පෙනෙන්නට තිබේ. ජනතාවට අවශ්‍ය වන්නේ වැඩ කර ධූරය බබළවන ඇමැතිවරුන් මිස වැඩ නොකර ධූරයෙන් බැබළෙන්නට හදන ඇමැතිවරු නොවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රටේ ජනතාව අතිවිශාල ජනවරමක් දුන්නේ ඔහු කෙරෙහි විශාල බලාපොරොත්තු තබාගෙනය. මහ මැතිවරණයේදී එය තවත් ඉදිරියට ගෙන යමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉහළින්ම ඔසවා තබා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනතාව දුන්නේ දහසක් බලාපොරොත්තු දල්වාගෙනය. එම අපේක්ෂා ආණ්ඩුව විසින් ඉටු කරනු ඇතැයි ජනතාව විශ්වාස කරති. විසිවන ව්‍යවස්ථා සංශෝධනය හා සම්බන්ධ කතිකාව දැන් මාස ගණනක් තිස්සේ ඇදෙමින් තිබේ.මේ ගතව යමින් තිබෙන්නේ ජනතාවට වැඩ කිරීමට ඇති කාලය බල අප තේරුම් ගත යුතුව ඇත. කොවිඩ් වසංගතයත් සමඟ ලෝක ආර්ථිකය කඩා වැටී තිබේ. අසල්වැසි ඉන්දියාව පුරා වයිරසය ශිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් යෑම සුළුවෙන් තැකිය හැකි කාරණයක් නොවන්නේය.එහි බලපෑම අපටද එල්ල වනු නොඅනුමානය. දශක ගණනාවක් පුරා අප ආවේ ඉබි ගමනිනි. ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය වී තිබෙන්නේ ආර්ථික වශයෙන් විශාල පිම්මක් ඉදිරියට පනින්ටය. ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ඔහුට හැකියාව තිබිය යුතුය. ඒ හැකියාව විස්ස මඟින් නිර්මාණය කර දීමට ගන්නා උත්සහයට ජනතා ආශිර්වාදය හිමිව තිබේ. විස්ස සම්බන්ධයෙන් ගොඩ නැගෙන මතවාද සියල්ල නව ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමේ වැඩපිළිවෙළට ආශිර්වාදයකි. මේ නිසා මේ ඇතිව තිබෙන සංවාදය රටට ප්‍රයෝජනවත්ය.එසේ වුවත් විස්ස සම්බන්ධයෙන් මතුව තිබෙන අර්බුදයේ තවත් එල්ලී සිටීමෙන් සිදු වන්නේ රටට අගත­ියක් බව තේරුම් ගැනීමද වැදගත්ය.

නව අදහස දක්වන්න