ප්‍රවීණ ගායනය ශිල්පී ඩබ්ලිව්.ඩී. ආරියසිංහ අභාවප්‍රාප්ත වෙයි | දිනමිණ

ප්‍රවීණ ගායනය ශිල්පී ඩබ්ලිව්.ඩී. ආරියසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී හා තබ්ලාවාදක ඩබ්ලිව්.ඩී. ආරියසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි.
 
අද (09) පෙරවරුවේ සිය නිවසේ දී ආරියසිංහ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.
 
මියයන විට ඒ මහතා 64 වන වියේ පසුවිය. ඒ මහතා දීර්ඝ කාලයක සිට රෝගාතුරව සිටියේය.
 
 භාවාත්මක හඬක් හිමි ගායනවේදීන් අතරින් මුදුන්පත වැජඹුණු ඔහු ගැයූ ආචාර්ය අජන්තා රණසිංහයන් ලියා තිස්සසිරි පෙරේරා සංගීතවත් කළ "මා ළඟටම තව ළංවෙලා........." ගීතය අතිශය ජනාදරයට පාත්‍ර වූ මනරම් ගීතයකි.
 
එමෙන්ම ඔහු සහ විශාරද රශ්මි සංගීතා ගයන යසනාත් ධම්මික බණ්ඩාර ලියා නවරත්න ගමගේ සංගීතවත් කළ "වළාකුළු පෙළින් බසින්න..........", නිලාර් එන්. කාසිම් ලියූ "හිත නාඳුනන කිරිල්ලී.........", නදීකා විජේසිංහ ලියා සුසිල් අමරසිංහ සංගීතවත් කළ "තෙරක් නොමැති මහ සාගරයක් මැද........" සහ ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ ලියා විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කළ "තිසර තුඩට........" වැනි මනරම් ගී රැසක් ඔහුගේ ගීතාවලෝකනයේ විරාජිත ය. 
 
 නැසීගිය අග්‍රගණ්‍ය සංගීතවේදියෙක් වූ ආර්. ඒ. චන්ද්‍රසේනයන්ගේ දුවණිය වූ දර්ශනී චන්ද්‍රසේනගේ ආදරණීය සැමියා වන ඩබ්. ඩී. ආරියසිංහයන්ගේ පුතු හර්ෂදේව නව පරපුරේ කැපීපෙනෙන ගායකයෙකි. 

නව අදහස දක්වන්න