චෙකොස්ලොවෙකියාවේ සංරක්ෂණය කරන ලංකාවේ සංදේශය | දිනමිණ

චෙකොස්ලොවෙකියාවේ සංරක්ෂණය කරන ලංකාවේ සංදේශය

තම්මිට ලෙසින් ගාමිණී ෆොන්සේකා

'සංදේශය' ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාගේ දෙවැනි නිර්මාණයයි. එය මුලින්ම තිරගත වූයේ මීට 60 වසරකට පෙර 1960 මාර්තු 30 වැනිදාය. එය 'සිනමාස් සමාගම' ලෙස්ටර්ගේ චිත්‍රපටයක් උදෙසා මුදල් වැය කළ එකම අවස්ථාව ද විය.

සංදේශය චිත්‍රපටය නිපදවීමේදී හා ප්‍රදර්ශනය කිරීමේදී විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදු වූ බව ලෙස්ටර් 1950 දශකයේ පළ වූ 'ශෝභා' සිනමා සඟරාවට ලියා තිබිණි.

ලෙස්ටර්ගේ 'රේඛාව' චිත්‍රපටය සිංහල සිනමාව නව හැරවුම් ලක්ෂකට රැගෙන ගිය ද වාණිජ වශයෙන් අසාර්ථක විය. මේ හේතුවෙන් එදා ලෙස්ටර්ට තවත් චිත්‍රපටයක් සඳහා ආයෝජකයකු සොයා ගැනීම අපහසු වී තිබිණි. එනමුත් ලෙස්ටර්ගේ මිත්‍රයකු වූ ජනප්‍රිය හින්දි නළුවකු හා අධ්‍යක්ෂවරයකු වූ රාජ් කපූර් නිසා ඔහුට නිෂ්පාදකයකු සොයා ගැනීමේ වාසනාව උදා විය. රාජ් කපූර් මෙරට සිටි කේ. ගුණරත්නම් අමතා ලෙස්ටර් වෙනුවෙන් චිත්‍රපටයකට මුදල් යොදවන ලෙස ඉල්ලා සිටියේය. සංදේශය බිහිවූයේ ඒ අනුවය.

සංදේශය නිර්මාණය කිරීමට ලෙස්ටර් සමඟ කාර්මික ශිල්පීන් 124 දෙනකු සහභාගි වූහ. නිළියන් හැරුණු විට ඒ කාර්මික ශිල්පීන් අතර සිටි එකම කාන්තාව වූයේ සහාය අධ්‍යක්ෂිකා සුමිත්‍රා ගුණවර්ධන පමණි. පසුකලෙක ඇය ලෙස්ටර්ගේ පියඹ වූවාය. 

චිත්‍රපටයේ එන බෙල්හුල්ඔය තැනූ පෘතුගීසි බළකොටුව තැනීමට රුපියල් 35000ක් වැය වී තිබිණි. එහි උස අඩි 20කි. වට ප්‍රමාණය අඩි 80කි. කලා අධ්‍යක්ෂ ආරියවංශ වීරක්කොඩිගේ උපදෙස් මත ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවකු වූ ඒ. එම්. කේ. දයාවංශ එය ගොඩනංවා තිබිණි.

බළකොටුව පිපිරවීම සිදු කරන ලද්දේ එදා ලංකා කාලතුවක්කු හමුදාවේ සේවය කළ රෝයි සීබල් විසිනි. එම දර්ශනය කැමරා 4කින් රූගත කිරීමට කැමරා ශිල්පීන් තිදෙනකු යොදවා තිබිණි. කැමරා අධ්‍යක්ෂණය කළේ විලියම් බ්ලේක් සහ ඔහුගේ සහායකයන් වූ සුමිත්ත අමරසිංහ හා ඩබ්ලිව්. රත්නායක දෙදෙනාය. බළකොටුව ඉදිරියේ සඟවා තැබුණු අනෙක් කැමරාව දර්ශන තලය දෙසට හරවා ස්වයංක්‍රීයව ධාවනය කිරීමට සැලසුම් කර තිබිණි.

මාස පහකට වැඩි කාලයක් රූගත කිරීම් සඳහා ලෙස්ටර් ඇතුළු පිරිස බෙලිහුල්ඔය ගත කළහ. ප්‍රධාන නළු නිළියන් කිහිපදෙනකු හැර අනෙක් සියලුදෙනාම එකල නවාතැන් ගත්තේ කටුමැටියෙන් තැනූ පිදුරු සෙවිලි කළ තාවකාලික කුටිවලය. නළු නිළියන් හා ශිල්පීන් සියලු දෙනාම එදා රූගත කිරීම්වලට සහභාගි වූයේ ඉතා සීමිත පහසුකම් ඇතිවය.

සංදේශය රූගත කරද්දී වූ අමතක නොවන සිදුවීමක් ලෙස්ටර් මෙසේ සඳහන් කර තිබිණි.

'බොහෝවිට මේ සිදුවීම් ඉතාම සුළු, වැදගත්කමින් තොර ඒවා විය හැකියි. එහෙත් කාලාන්තරයක් ඉක්ම ගිය පසුත් ඒවා යළි යළිත් සිහිපත්කොට ඉමහත් ආස්වාදයක් හා විනෝදයක් ලැබිය හැකිය. 'නන්නාඳුනන සර්කස්කාරයා' එවැන්නෙකි. ඔහු කොහේ සිට ආවෙක් ද? කොයිබට යන්නෙක් ද? කොහි සිටින්නෙක් දැයි හරිහැටි දන්නා කිසිවෙක් නොවූයේය.

ඔහුට කිසිම සහතිකයක්වත්, හැඳින්වීමක්වත් නොතිබිණි. අසීමිත කරදරවලට ගොදුරු වූ අසරණ අධ්‍යක්ෂවරයාට (මට) ඔහු තවත් හිසරදයක් වූයේය. ඕනෑම සැඩ පරුෂ ගංගාවකට පැනීමට හෝ දුෂ්කර ගිරි ශිඛරයක් තරණය කිරීමට හෝ කඳු පල්ලමකට පෙරළෙන්නට හෝ කොටින්ම උණ්ඩයක් වෙනුවට කාලතුවක්කුවක් තුළට රිංගීමට හෝ ‍සූදානම් බව ඔහු කීය. ඔහුගේ එකම ආශාව වූයේ චිත්‍රපටයක කැමරාවකට මුහුණ දීමයි.

දින ගණනාවක් තිස්සේ අප සොය සොයා සිටියේත් මෙවැනි නිර්භීත පුද්ගලයෙකි. ඒ දිනවල අප චිත්‍රපට ගතකළේ පරංගි කොටුවට පහර දෙන සිංහල විමුක්ති හමුදාවේ දර්ශනයකි. කාලතුවක්කුවලින් ‍පිටවෙන වෙඩි උණ්ඩවලට මැදි වී, කඩු පහරවලින් කැපි කැපී, කොටු පවුරට බඩගාමින් පරංගීන් සමඟ සටන් කරන සිංහල සේනාවේ එම දර්ශනය ඉතාම බිහිසුණු, ත්‍රාසජනක දර්ශනයක් විය.

කිසිවකුට තුවාල නොවන ලෙසත්, ගිනි ඊතල විදින්නට, බොරු වෙඩි කාගෙන, කඩු පහර වළක්වමින්, බළකොටුවට පහර දෙන්නට තරම් නිර්භීත උදවිය සොයා ගැනීම අපහසුවක් නොවූ නමුත් කොටු පවුර මුදුනේ සිට බිමට ඇදගෙන වැටීමට තරම් බය සැක නැති නිර්භීතයෙක් සොයා ගැනීම කොහෙත්ම පහසු නොවීය. අපේ සර්කස්කාරයා කිසිම චකිතයක් නැතිව ඊට සිය කැමැත්තෙන් ඉදිරිපත් විය.

අපි එක් වතාවක් මුළු දර්ශනයම අත්හදා බැලුවෙමු. කාලතුවක්කුවලින් ගිනි ගුලි නිකුත් වෙද්දී, තුවක්කුවලින් පිටවෙන දුම් අතරින් දිව යන, බොරු උණ්ඩවලින් ඇදවැටෙන සිංහල විමුක්තිකාමීන් මොරහඬ නඟද්දී, රණ සෙබළුන්ගේ කඩු ගැටෙන රළු හඬින් කඳුකරය රැව් දෙද්දී අපේ සර්කස්කාරයා කොටු පවුර උඩ සිට පෙරළි ‍පෙරළී අවුත් බිමට ඇද වැටුණි. ජවනිකාවේ රඟපෑ උදවිය හැරුණු විට අපි සියලු දෙනාම, ඉතාම දුක්ඛිත වූත්, ත්‍රාසජනක වූත් අවස්ථාවකදී මෙන් බිරන්තට්ටු වී, නිහඬ වී සර්කස්කාරයා දෙසම බලා සිටියෙමු. ඔහුගේ ඒ පිම්ම නම් නූලටම හරි ගියේය.

එහෙත් ජවනිකාවේ රඟපෑ අනෙක් නළුවන්ගේ කොටස් දුර්වල වූ නිසා ඒ දර්ශනය මුළුමනින්ම යළිත් කැමරාගත කිරීමට සිදු විය. අපේ සර්කස්කාරයාගේ මුල් පිම්ම කොතරම් ස්වභාවික ද යත් ඔහු කෙතරම් පහසුවකින් හා ප්‍රවේසමකින් ඒ පිම්ම පැන්නේ ද කිවහොත් කොයි කවුරුත් අත්පොළසන් දී ඔහුට ප්‍රශංසා කළහ. තවත් වාරයක් වුව ද එසේ බිමට ඇදවැටීමට ඔහු මහත් ආඩම්බරයකින් යුතුව කැමැති වූයේ එහෙයිනි. 

දෙවැනි වතාවේදීත් ඔහු පෙර සේම පෙරළීගෙන අවුත් බිමට ඇදවැටුණි. කවුරුත් අත්පොළසන් දුන්හ. එහෙත් මුල් වතාවේදී මෙන් ඔහු යළිත් නැඟිට්ටේ නැත. ඒ වතාවේ අපේ සර්කස්කාරයා මාරයාගෙන් බේරුණේ අනූ නවයෙනි. ඔහුගේ හිස කෙළින්ම බිම ඇනී තිබුණු අතර, ඔහු සිහි නැතිව මළ මිනියක් මෙන් වැතිර හුන්නේය. අපි ඔහු වහාම ළඟම පිහිටි රෝහලට ගෙන ගියෙමු. අතරමඟදී වාසනාවට මෙන් ඔහුට සිහිය ආවේය. සිහිය ආ විගසින්ම ඔහු ඇසූ පළමු ප්‍රශ්නය වූයේ 'කොහොමද මගෙ පිම්ම, හොඳ ද? ආයෙත් ඕනෑනම් මං ලෑස්තියි.'

'චිත්‍රපටය බලන සෑම අවස්ථාවකදීම මට මේ සර්කස්කාරයා නිරායාසයෙන්ම සිහිවෙයි. ඒ හැම මොහොතකම මට ඔහුගේ ඒ ප්‍රශ්නයත්, නිර්භීතකමත් සිහිවෙයි'

මාස 14ක් තිස්සේ රූගතකළ සංදේශය චිත්‍රපටයේ වැඩ නිමාවූ පසු ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි. ඒ මහජන ප්‍රදර්ශනය සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහායි. එහෙත් කිසිවකු නොසිතූ පරිදි සංදේශය චිත්‍රපටය ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් තහනමට ලක් කළේය.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා ලෙස ගිහියන් රඟපෑම එම තහනමට හේතුව බව පැවසිණි. එහෙත් මාපලගම විපුලසාර හිමියන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා 25 නමක් සංදේශය නරඹා උන්වහන්සේලාගේ අත්සනින් එකල සිටි සංස්කෘතික ඇමැතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කළහ. එහි සඳහන් වූයේ රැඟුම් පාලක මණ්ඩලයේ තහනම අනුවණ ක්‍රියාවක් බවයි. ඒ අනුව සංදේශය තහනමින් මිදුණි.

සංදේශය චිත්‍රපටය ජනප්‍රිය වීමට එහි තිබූ මිහිරි ගී තනු සංගීතය හා ගී රචනා ඉවහල් විය. අරිසෙන් අහුබුදු සූරීන් රචනා කළ 'සුදට සුදේ වලාකුළයි නිල් අහසේ පාවෙන්නේ', 'කෝ හතු‍රෝ... කෝ හතුරෝ...', 'පුරුතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා', 'රූන ගිරා රෑන අඹේ මී බිබී' ඒ ගී අතරින් අදත් ඇසෙන ගී කිහිපයකි.

සංදේශයේ විදේශිකයන් කිහිපනෙකුම රඟපෑහ. ආතර් වැන්ලැන්බර්ග්, රෙග් වැන්කියුලන්බර්ග්, ක්‍රිස් ග්‍රිට්, ආර්. බර්තෝලමියුස්, මැක්ස්වෙල් ස්පාර්ක්ස්, ෆ්‍රෙඩ් රොමාන්, රොනල්ඩ් ටිලී සහ බර්ටි එර්ස්කින්ය. මේ ‍විදේශිකයන් අතර පැවිදිවීම සඳහා තායිලන්තයට යෑමට අදහස් කළ ඉංග්‍රීසි ජාතිකයෙක් ද කොරියානු යුද සමයේ එහි සිටි ‍අමෙරිකානුවන් දෙදෙනකු ද වූහ.

වරක් චිත්‍රපටයේ එක් අවස්ථාවක වැරදීමකින් පිපිරීමක් ඇති විය. බලාපොරොත්තු නොවූ මේ සිදුවීම වන මොහොතේ ඒ අසල සිටියේ ජර්මානුවාය. පිපිරුමත් සමඟ හටගත් ගින්න මැද ඔහු අතුරුදන් විය. එහෙත් ඔහු ගින්න අතරින්ම යළි පිටතට ආවේ හිස වටා දුම් රොටුත් සමඟය. ඔහුගේ ඇහි බැමි පිලිස්සී තිබිණි.

සංදේශය චිත්‍රපටය තිරගත කර වසර 60ක් සපිරෙද්දී ඊට සම්බන්ධ වූවන් අතරින් ජීවතුන් අතර සිටින්නේ කිහිප දෙනෙකි. ප්‍රධාන චරිතය රැඟූ කාන්ති ගුණතුංග විදේශගත විය. කැමරා ශිල්පී විලී බ්ලේක්, අධ්‍යක්ෂ ලෙස්ටර්, නිෂ්පාදක කේ. ගුණරත්නම්, මාපා ගුණරත්න, ආනන්ද ජයරත්න, ගාමිණී ෆොන්සේකා, එඩී ජයමාන්න, ශෝන් ගුණරත්න, ඩේවිඩ් ධර්මකීර්ති, හියුගෝ ප්‍රනාන්දු, ඇන්තනි සී. පෙරේරා, ශාන්ති ලේඛා, එන්. ආර්. ඩයස්, ශාන්ති කුමාර්, වින්සන්ට් වාස්, ආතර් වැන්කියුලස්බර්ග්, කලා අධ්‍යක්ෂ ආරියවංශ වීරක්කොඩි, වේෂ නිරූපණ ශිල්පී ඩෙරික් නීස්, ගායක තිලකසිරි ප්‍රනාන්දු, එච්. ආර්. ජෝතිපාල, ධර්මදාස වල්පොල, සිඩ්නි ආටිගල, සංස්කාරක ටයිටස් තොටවත්ත, කැමරා සහාය සුමිත්ත අමරසිංහ, ගී තනු නිමැයූ සුනිල් ශාන්ත, සංගීතඥ ආර්. මුත්තුසාමි, දෙබස් රචක කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා සහාය අධ්‍යක්ෂ විජය අබේදේව, සම තිරරචක බෙනඩික්ට් දොඩම්පේගම ආදීන් අද අප අතර නැත.

1960 වසරේ චෙකොස්ලොවෙකියාවේ පැවති කාලෝවිවාරි අන්තර්ජාතික චිත්‍රපට උ‍ළෙල නියෝජනය කළේ සංදේශයයි. අද සංදේශය චිත්‍රපටයේ පිටපතක් මෙරට නැත. එහෙත් සංදේශයේ පිටපතක් චෙකොස්ලොවෙකියාවේ සංරක්ෂණය කර තිබේ. ඇතැම් විට එය 1960දී එරටට රැගෙන ගිය පිටපත විය හැකිය.

බන්ධුල ගුණරත්න

නව අදහස දක්වන්න