කවුද මේ කීර්ති විජේබාහු..? | දිනමිණ

කවුද මේ කීර්ති විජේබාහු..?

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර හා ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක ඇතුළු පක්‍ෂයේ ප්‍රමුඛ පෙළේ නායකයන් 1989 නොවැම්බර් මස ඝාතනයට ලක් වී ජනතා විමුක්ති පෙරමුණේ සංවිධාන ව්‍යූහය අවුල්ව ගියපසු ඇති වූ පසුබෑම එතෙක් පක්‍ෂය මුහුණ දී තිබු සියලු පසුබෑම්වලට වඩා විශාල විය. රෝහණ විජේවීරගේ ඝාතනයෙන් පසු පක්‍ෂයේ දේශපාලන මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් පැවති තත්ත්වය අනූව අදහස් හුවමාරු කර ගනිමින් පක්‍ෂය ඉදිරියට ගෙන යෑම සඳහා පක්‍ෂයේ නායකත්වයට සමන් පියසිරි ප්‍රනාන්දු නොහොත් කීර්ති විජේබාහු තෝරා ගන්නා ලදි. ඒ අනුව සමන් පියසිරි ප්‍රනාන්දු පක්‍ෂ නායකත්වයට පත් වන්නේ 1989 නොවැම්බර් මස 28 වැනිදා රත්නපුර හිදැල්ලනට කිට්ටුව පණුකරාපිටියේ පිහිටි රත්නපුර සන්නද්ධ නායක ගුණරත්නගේ නි‍ෙවසේදී දේශපාලන මණ්ඩලය රැස් වූ අවස්ථාවේදීය.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයන්ගෙන් ඉතිරිව සිටි සමන් පියසිරි, ශාන්ත බණ්ඩාර, ලලිත් විජේරත්න ඇතුළු පිරිසක් එයට සහභාගි වූ අතර දේශපාලනය හා සංවිධානාත්මක ක්‍රියා සම්බන්ධයෙන් ඉතිරිව සිටි දක්‍ෂතම පුද්ගලයා සමන් පියසිරි ප්‍රනාන්දු බැවින් පක්‍ෂ නායකත්වය සඳහා සියල්ලන්ගේ සහාය ඔහුට හිමි විය.

1984 වසර අග භාගය වන විට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් සන්නද්ධ අංශයක් පිහිටුවීම සඳහා යෝජනා විය. ඒ අනුව දේශප්‍රේමිත්වය තේමා කරගත් රණශූරත්වය තරමටම උපායශීලීත්වයද මුල්කරගත් සටනක නිරත විය යුතු බවට තීරණය විය. පසුව ආණ්ඩුවේ නිල නොවන ඝාතක කල්ලිවල සහ රාජ්‍ය මර්දනයට මුහුණ දීමට දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ගොඩනඟමින් ප්‍රතිවිප්ලවීය ක්‍රියාවලිය තීව්‍ර කරන ලදි. පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ නායකයා සහ අණදෙන්නා වූයේ සමන් පියසිරි ප්‍රනාන්දු ය. ඔහු කීර්ති විජේබාහු, කබ්රාල්, මෙන්ඩිස් අංකල්, ධම්මික හා ජනක යන අන්වර්ත නාමයන්ගෙන් හඳුන්වන ලදි.

1958 මාර්තු 23 වැනි දින මොරටුවේ උපන් සෙල්ලප්පෙරුමගේ සමන් පියසිරි ප්‍රනාන්දු පාසල් අධ්‍යාපනය අවසන්කර උසස් අධ්‍යාපනය සඳහා 1978 දී කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ විද්‍යාපීඨයට ඇතුළත් විය. සමන් පියසිරි යනු සරසවි ඉතිහාසයේ දෙවන ස්ථානයට වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් දක්‍ෂතම ශිෂ්‍යයකි. 1978 දී ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදි ශිෂ්‍ය සංගමයට සම්බන්ධ වන සමන් පියසිරි, ශිෂ්‍ය අංශය නඟා සිටුවීමට ක්‍රියාකාරීව හවුල් විය. ඔහු වාණිජ උපාධිය සමත් වීමෙන් පසුව පූර්ණ කාලීන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තෝරා ගත්තේය.

බස්නාහිර, සබරගමුව හා දකුණු කලාපයේ යුද ලේකම් වශයෙන් කටයුතු කළ සමන් පියසිරි ප්‍රනාන්දු, දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ඉතා කෙටි කාලයක් තුළ ආකර්ෂණීය හා ජව සම්පන්න සන්නද්ධ අංශයක් බවට පරිවර්තනය කරනු ලැබූයේ ඔහුගේ නායකත්වයෙනි 1989 අගභාගයෙහි රාජ්‍ය මර්දනය හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයන්ගේ හිස් මස් ලේ දත් ප්‍රකෘති සිහියෙන් ගලවද්දි හා ඉවත් කරද්දි ඒ මර්දනයට එරෙහිව පක්‍ෂයට නායකත්වය දුන්නේ සමන් පියසිරි හෙවත් කීර්ති විජේබාහුය. කීර්ති විජේබාහු නම ආණ්ඩුවට මහා භීතිකාවක් විය. දතට දත ඇසට ඇස හිසට හිස වෙන් කිරීමේදී “එකට එක ” න්‍යායෙහි නායකයා කීර්ති විජේබාහුය. ඔහු කොතරම් අභීතද යත් මර්දනය තීව්‍ර අවධියේදී පවා සැඟවී සිටි චරිතයක් නොවේ. ඔහුගේ ගමන් බිමන් නිදහසේම විය. ඔහු හැම විටම බස් රථවල යමින් පාරේ ප්‍රසිද්ධියේ ඇවිදිමින් දේශපාලන සංවිධානය වේගවත් කළ සගයෙකි.

සන්නද්ධ අංශයට බැඳුණු පක්‍ෂ ක්‍රියාධරයෝ බහුතරය විප්ලවයට ප්‍රේම කළ, පක්‍ෂයට ආදරය කළ, ජනතාවගේ විමුක්තිය ප්‍රගතිය සහ ජයග්‍රහණය උදෙසා කැප වී සිටි ගරිල්ලා භටයයෝ පිරිසක් වූහ. එමෙන්ම සන්නද්ධ අංශයේ පුහුණුව, ශක්තිය, උපක්‍රම, ඇතැම් ආරක්‍ෂක හමුදා සාමාජිකයින් සමඟ ගොඩ නඟා ඇති සම්බන්ධතා පිළිබඳව බොහෝ දෙනා මවිතයට පත්වූහ. අවි පැහැර ගැනීමේ ප්‍රහාරයන්ට සම්බන්ධ වූ කැරලිකරුවන් සඳහා සති තුනක හෝ දෙසතියක රහසිගත පුහුණුවක් සන්නද්ධ අංශයේ නායකත්වය විසින් රක්‍ෂිත වනාන්තරයන්හි තාවකාලිකව ඉදිකරන ලද අවි පුහුණු කිරීමේ කඳවුරු 100කදී පමණ සිදු කරන ලදි. එහි පුහුණුව භාරව බොහෝ විට කටයුතු කළේ ආරක්‍ෂක අංශ වෙතින් පළාවිත් පක්‍ෂයට සම්බන්ධවූ හමුදා භට පිරිස් විසිනි. පුහුණු කඳවුරු මොනරාගල, පොතුවිල්, අම්පාර, ත්‍රිකුණාමලය, හම්බන්තොට, රත්නපුර දඹුල්ල, මාතලේ, සිංහරාජ හා හම්බෙගමුව ඇතුලු ප්‍රදේශ ගණනාවක ක්‍රියාත්මක විය.

විශේෂයෙන් දකුණේ කැලෑබදවද රජරට රක්‍ෂිතයන්හිදීද ශ්‍රී පාදයේ එරත්න දිසාවේ සහ මාතලේ නකල්ස් හි පිහිටා තිබු කඳවුරු වඩාත් හොඳින් ක්‍රියාත්මක විය. එසේ පුහුණු කඳවුරු භාරව සමන් පියසිරිගේ නායකත්වය යටතේ වික්‍රම, ආතර්, දිනේෂ් ඇතුළු කිහිප දෙනෙක්ම වූහ. සන්නද්ධ පුහුණුවිම් අවසානයේදී විසිර යෑමේ පෙරට්ටු කිහිපයකටද සමන් පියසිරි සහභාගි වූ බව සඳහන් වේ. දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය හමුදා කඳවරු සහ පොලිස් ස්ථාන කිහිපයකටද ප්‍රහාර එල්ල කර යුද අවි පැහැර ගැනීමට සමත් විය. කටුනායක ගුවන් හමුදා කඳවුරට ද, කොතලාවල ආරක්‍ෂක පීඨයටද, පන්නල හමුදා කඳවුරට සහ පොලිස් ක්‍ෂේත්‍ර බළකා මුලස්ථානයටද ඇතුළුව තවත් පොලිස් ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීම බාරව සිටියේද සමන් පියසිරි ප්‍රනාන්දු නොහොත් කීර්ති විජේබාහු ය. එසේම කොළඹ ඔබරෝයි හෝටලයේදී ආරක්‍ෂක රාජ්‍ය ඇමති රන්ජන් විජේරත්න ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් හා පොලිස් නිලධාරීන්ගේ හමුවකදී ඔවුන්ට වසදී ඝාතනය කිරීමේ සැලසුමක් සමන් පියසිරිගේ මූලිකත්වයෙන් සකස් කළ ද අවසාන මොහොතේ එය අසාර්ථක විය.

ජනතා විමුක්ති පෙරමුණේ ගරිල්ලා සාමාජිකයන් විදේශ රටවලින් පුහුණුව ලැබු බවටත්, විදේශ රහස් ඔත්තු සේවා සමඟ සම්බන්ධතා ඇති බවටත්, ඒවායේ උදව් ඇතිව පහරදීම් සැලසුම් කරන බවටත්, ආරක්‍ෂක අංශ විටෙක අනුමාන කළද එය වැරදි මතයක් විය. කෙසේ වුවද ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයට අලුතින් එක්වූ නව තරුණ බලවේගයේ ක්‍රියාකාරිත්වය, හැකියාවන් සහ දක්‍ෂතාවයන් අතර ඉහළම තැනක් ගත්තද දේශපාලන දැක්ම අතින් අතිශය දුර්වල පුද්ගලයන් පිරිසක් වූ බව සඳහන් කළ යුතුය. අත්දැකීම් සහ දේශපාලන පරිණත බව පැරණි සාමාජිකයන්ගෙන් දැකගත හැකි වුවද නව සාමාජිකයන්ගේ දේශපාලන දෘෂ්ටියේ නොමේරූ බව නිසා ජනතා විමුක්ති පෙරමුණේ පිරිහීමේ ලක්‍ෂණ ඇරඹුණු බව සඳහන් කිරීම වැදගත්වේ. අවසානයේ එය පක්‍ෂයේ අරගලය විප්ලවීය අවසානයක් දක්වා ගෙන යෑම වෙනුවට බරපතළ ව්‍යවසනයකින් අවසන් වීමට හේතු විය.

1989 නොවැම්බර් මස එක්තරා දෛවෝපගත සිදුවීමක් සිදුවිය. බොරලැස්ගමුව පිහිටි පක්‍ෂ හිතවතකුගේ නි‍ෙවසේ රාත්‍රිය ගත කරමින් සිටි සමන් පියසිරි ශාරීරික අවශ්‍යතාවක් සඳහා නි‍ෙවසින් පිටතට පැමිණි අවස්ථාවේ දුටුවේ ආරක්‍ෂක අංශවල හදිසි වැටලීමකි. එසැණින් ඔහු අසල කපා දමා තිබු කොස් අතු ගොඩක් තුළ සැඟව ගත්තේය.

මේ කොස් අතු හවස්වරුවේ කපා දමා තිබූ හෙයින් දිමිගොටු ඇවිස්සි සමන් පියසිරිගේ සියොලඟ පුරා දිමි දුවමින් විදින්නටත් විය. නමුත් පිටතට පැමිණීමට හෝ සෙලවීමට කෙඳිරියක් නැගීමට හෝ නොහැකිය. උදෑසන වන විට වැටලීම් අවසන් වූ සැණින් කොස් අතු ගොඩින් පිටතට පැමිණි සමන් පියසිරි නි‍ෙවසට ඇතුළු වී නිවැසියන්ට පවසා, අනතුරුව රැකියාවකට යන අයෙකු ලෙස ‍නිෙවසින් පිටත්ව ගියේය. නමුත් නැවත එවැනි වාසිසහගත සිදුවීමකින් තම දිවි බේරා ගැනීමට සමන් පියසිරි ට නොහැකි විය.

රෝහණ විජේවීරගේ ඝාතනයෙන් පසුව පක්‍ෂයේ ඉදිරි කටයුතු සමන් පියසිරි විසින් ගෙනයාමට තීරණය කිරිමෙන් පසුව, රෝහණ විජේවීරගේ ඝාතනයෙන් මසක් ගතවූ දින පක්‍ෂය විසින් රට පුරා විරෝධතාවයක් දියත් කර නායකයා ඝාතනය කළ පිරිසට ප්‍රතිවිරෝධය දැක්වීමක් සිදුකරන ලදි. එය සැලකිය යුතු ප්‍රමාණයකින් සාර්ථක වුවද ආණ්ඩුව දියත් කරමින් තිබු මර්දනය තුළ අත්අඩංගුවට පත්වීම් හා ඝාතනයට ලක්වීම් දිගින් දිගටම සිදුවිය. මේ වන විට පක්‍ෂයේ බොහෝ රහස් හා තොරතුරු පුද්ගල නාම සංවිධාන රටාවන් ආදී සියල්ල ආණ්ඩුවේ ආරක්‍ෂක අංශ අතට පත්ව තිබුණි. ඒවා ඔවුන් අතට පත් වූයේ ඔවුන්ගේ දක්‍ෂතා මත නොව පාවා දෙන්නන්ගේ හා දුර්වලයන්ගේ හෙළිදරව් කිරීම් නිසාය.

පවතින තර්ජනය හමුවේ තම මවගෙන් හා නැගණියගෙන් වෙන්ව විසු සමන් පියසිරි, 1989 දෙසැම්බර් 25 වන දින නාවල පිහිටි මවගේ නි‍ෙවස වෙත පැමිණියේය. ඔහුගේ යෝජනාව වූයේ පදිංචිය වෙනස් කල යුතු බවය. නමුත් සිදුවීම් පෙළගැසී තිබුණේ යහපත් අන්දමට නොවේ. එදින රාත්‍රිය ඔහු ගරිල්ලා සටන් පිළිබඳ පොතක් කියවමින් සිටියදී අසුන්ගෙන සිටි පුටුවේම නින්ද ගොස් තිබුණි. අලුයම උදා වීමටත් පෙර ආරක්‍ෂක අංශ නිලධාරීන්ගෙන් නාවල නි‍ෙවස පිරී ගියේය. දැන් සියල්ල සිදුවී අවසන්ය. අත්අඩංගුවට ගැනීමෙන් පසු සමන් පියසිරි ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයට රැගෙන එනු ලැබීය.

එසේ ඔහු රැගෙන ආ මොහොතේ සිටම ඔහු කළ සමාජවාදය පිළිබඳ දේශනයෙන් පහළ හමුදා සාමාජිකයන් ප්‍රසාදයක් ඇති කරගෙන සිටියහ. එතැනම ඉහළ හමුදා නිලධාරීන්ද සිටි අතර ඔවුන් කුපිත වී සිටියහ. “තවත් ටික වේලාවක් මේ කතාව තිබුණොත් පහළ හමුදා සාමාජිකයන් තුවක්කු තමන් වෙත හරවනු ඇති බව” ඉහළ හමුදා නිලධාරිහු සිතූහ.

අනතුරුව මත්තේගොඩ පවත්වාගෙන ගිය රැඳවුම් කඳවුර වෙත සමන් පියසිරිව රැගෙන ගිය අතර රාජ්‍ය මර්දනයේ කෲර වධ බන්ධනයන්ට ලක්කරමින් ඔහුගෙන් ප්‍රශ්න කරන ලදි. ඉතා දුෂ්කරම මොහොතක වුවද ධෛර්ය හීන කර නොගන්නා අපූර්වතම සටන්කාමියෙකු වූ සමන් පියසිරිට ඒ මොහොතේද තමන්ට පෞද්ගලික අරමුණු නැතැයිද තිබුණේ පොදු අරමුණක් උදෙසා සටන් කිරීම බවත්, තමන් දැරූ වගකීම බාර ගැනීමට තවත් අය බිහිවන බැවින් මෙම මරණය තමන්ට වේදනාවක් නැති බවත්, මරණයට පෙර ඔහු ප්‍රකාශයක් කළේය. එසේම දිවි බේරා ගැනීමට යයි සිතා යම් යම් තොරතුරු හෙළි කළ අයද සමන් පියසිරි හමුවට ගෙන එනු ලැබූ අතර ඔවුන්ගෙන් ඇතැම් අය සමන් පියසිරිට පවසා ඇත්තේ, රෝහණ විජේවීර ඇතුළු සියලු දෙනා මියගොස් ඇති තත්ත්වයක් තුළ තවත් ආරක්‍ෂා කිරීමට දෙයක් නොමැති බවය.

ඒ නිසා දන්නා දෙයක් කියා ජීවිතය බේරා ගන්න බලමු වැනි අදහස්ය. නමුත් එසේ කී අයගෙන් සමන් පියසිරි අසා ඇත්තේ “නැහැ ඒක වැරදි සහෝදරයා, හෙළිවෙන්න තවත් දේවල් නැත්නම් ඔවුන් අපට මේ තරම් වද දෙමින් මේ තොරතුරු හෙළි කර ගැනීමට උත්සාහ දරන්නේ ඇයි?” යනුවෙනි. තම අවසන් මෙහොතේත් සමන් පියසිරි විශ්වාස කළේ කවුරුන් විසින් හෝ පක්‍ෂය යළි ගොඩනඟන බවය. සමන් පියසිරි ප්‍රනාන්දු තම ජීවිතය පරිත්‍යාග කළේ පක්‍ෂය පිළිබඳව එකදු වචනයක් වත් සතුරන්ට නොපවසා වීරයකු ලෙසය. ජනතා විමුක්ති පෙරමුණේ දෙවන නායකයා වශයෙන් සමන් පියසිරි ප්‍රනාන්දු 1989 දෙසැම්බර් 29 දින ඝාතනයට ලක් වූ අතර එවිට ඔහු 32 හැවිරිදි වියෙහි පසු විය.

සමන් පියසිරි ප්‍රනාන්දු ගේ මව විසින් ලියන ලද කවියක් උපුටා දක්වමින් මෙම ලිපිය අවසන් කරමු.

 

වැලේ මැද පිපුණු සුවඳැති සමන් මල

කැලේ රුදු බමරු ඩැහැගෙන ගියෙ එකල

රැලේ එකතු වී වැනසු මුත් නිමල

බලේ මතුත් පවතී එහි සුවඳ කැල

 

  එම්. තාරික්

 

නව අදහස දක්වන්න