Gadget පිටුව | දිනමිණ

Gadget පිටුව

විෂබීජ නාශක ඉහින්න ඉලෙක්ට්‍රික් ටැංකියක්

කොවිඩ්-19 ගෝලීය වසංගතයත් සමඟ පරිසරය විෂබීජහරණය කිරීම නිතරම කිරීමට මිනිසුන් පෙලඹී ඇති අතර, බොහෝ විට දැක ඇත්තේ විශාල ටැංකියක් කරේ බැඳ ගෙන අතින් ක්‍රියා කරවන්නා හැඬලයකින් ඉහළ පහළ ඔසවමින් දියර ඉසිනා අයුරුය. අද වන විට කාර්යාලයේ, රෝහල්වල ආදි පොදු ස්ථාන දිනකට කිහිප වතාවක්ම විෂබීජහරණය කරයි. මිනිසකුට මෙය තනිව කිරීම අපහසු ක්‍රියාවක් වන අතර ඊට පහසුව විසඳුම Ryobi One+ Electrostatic spray සැපයීමට දැන් ඉදිරිපත්ව ඇත.

මෙය මුළුමනින්ම විද්යුත් බලය උපයෝගී කරගෙන ක්‍රියා කරනා අතර, එයට මිනිසකුගේ ශ්‍රමය වැයවීමක් සිදු නොවේ. එලෙසම විෂබීජ නාශක දියර තමන්ට අවශ්‍ය පරිදි විසිරවීමට හැකි අයුරින් සකසා ගත හැකි අතර Ryobi One+ Electrostatic spray යට පවතින කුඩා ටැංකියට දියර පිරවිය හැකිය. තව ද වැඩි වපසරියකදී පිටේ එල්ලා ගත් ටැංකියක් ආධාරයෙන් ඔබට එකවර විශාල දියර ප්‍රමාණයක් ඉසීමට ද හැකිය.

 

ඇඟිලි දෙකෙන් අතු කපන බැටරි කතුර

ගෙවතු වගා කටයුතුවලට මෙන්ම මහා පරිමාණ වගා කටයුතුවල යෙදෙන්නන්ට හොඳින් කැපෙනා පිහි මෙන්ම කතුරු අවශ්‍ය වන අතර ඒවායෙහි මුවහත පිළිබඳ නිතර ගැටලු ඇති වේ. ශාක කප්පාදුවට මෙන්ම කඳට හානියක් සිදු නොවන අයුරින් ඇතැම් අතු කපා ගැනීමේ දී ද දැඩි වෙහෙසක් දැරිය යුතු අතර ඊට වැඩි ශ්‍රමයක් ද යෙදිය යුතුය.

Bahco Bcl 22 යනු ඔබට වැඩි ශක්තියක් වැය නොකර අතු කැපීමට හැකි කුඩා කතුරකි. කතුරක් කියුවද මෙයට බැටරි බලයක් සපයා දෙමින් අමතර ශක්තියක් ද සමඟින් ඔබ කතුරකින් යම් දෙයක් කපන්නා මෙන් ගස් අතු කැපීමේ හැකියාව පවතිනා උපකරණයකි. තල මාරු කරමින් එකවර විශාල අත්තක් වුවද අතෙහි ඇඟිලි දෙක උපයෝගි කර ගනිමින් බැටරියෙන් ලැබෙනා බලය ද උපකාරි කර ගනිමින් අතු කැපිය හැකි අතර බැටරිය ආධාරයෙන් වැඩි වේලාවක් ඝන වනාන්තරවල පවා භාවිත කළ හැකිය.

 

ටයිල් කඩන සූර ‘එඩී’

අතීතයේ පෙදරේරුවන් විසින් තම රැකියාව සඳහා විවිධ උපකරණ භාවිතයට ගැනිණි. පසු කාලීනව තාක්ෂණයේ දියුණුවත් සමඟ නව සොයා ගැනීම් රැසක් කර ඇති අතර ඔවුන්ගේ රැකියාවේදී කාලය මෙන්ම අමතර ශ්‍රමයක් වැය නොකරමින් ඔවුන්ගේ වැඩවලට පහසුවක් වන පරිදි බොහෝ උපකරණ වෙළෙඳපොළේ දක්නට ලැබේ. මෙවැනි නව සොයා ගැනීම් බොහෝ විට විදුලියෙන් ක්‍රියා කිරීම හේතුවෙන් දහඩිය වගුරුවමින් රැකියා කිරීමට පෙදරේරුවන්ට වර්තමානයේ අවශ්‍ය නැත.

බොහෝ විට පෙදරේරුවන්ට අලුත්වැඩියා කටයුතුවලදී පරණ ටයිල් ආදිය ගැලවීමට සිදු වන අතර මෙහිදී Eddy tile breaker උපකාරයෙන් කලින් අල්ලන ලද ටයිල් කැඩීමකින් තොරවම ගැලවීමේ හැකියාව පවතී. මෙය ඔබට ශරීරය වෙහෙසීමකින් තොරවම සිදු කළ හැකි අතර විදුලි බලය උපයෝගි කර ගත හැකිය. අදාළ ස්ථානයේ ටයිල් පොළොව මත තබමින් එකින් එක Eddy tile breakerහි ඇති තලය මඟින් පහසුවෙන් එකිනෙක ඉදිරියට තල්ලු කරමින් අල්ලන ලද පරණ ටයිල් ගැලවීමේ හැකියාව ඇත. මින් ඇස්වලට මෙන්ම නාසයට දුහුවිල්ලෙන් හානියක් ද නොවන අතර ඉතා අඩු වේලාවකින් වැඩි ටයිල් ප්‍රමාණයක් පහසුවෙන් ගැලවීමට ද ඔබට Eddy tile breaker බෙහෙවින් උපකාරි වේ.

සුහුරු මුළුතැන්ගෙයක සිනිදු මතුපිටක කෑම උයමු

තාක්ෂණය අතින් තප්පරයෙන් තප්පරය නව සොයා ගැනීම් සිදු කරමින් ලොව ඉදිරියට ගමන් කරමින් පවතිනා මොහොතක කෘත්‍රිම බුද්ධිය ද (AI) ඊට එක්කාසු කර ගනිමින් නව නිෂ්පාදන බොහොමයක් සිදු කර තිබේ. මෙවැනි නව නිෂ්පාදනත් සමඟම සුහුරු නිවාස ඉදි වෙමින් පවතිනා අතර අප වැනි සංවර්ධනය වෙමින් පවතිනා රටවලට මෙවැනි අත්දැකීම් විඳ ගැනීමට තවමත් නොහැකි වී තිබේ.

සුහුරු නිවාස යනු අති නවීන උපකරණ යොදා ගනිමින් නිම කර ඇති නිවාසයි. මෙහි මෙවලම් තාක්ෂණික අතින් දියුණු මට්ටමක පවතින අතර බොහොමයක් ක්‍රියා ස්වයංක්‍රීයව සිදු වේ. එලෙසම මෙවැනි නිවෙසක මෙවලම් ස්මාර්ට් දුරකතනය මඟින් මෙහෙයවීමට ද හැකිය.

සුහුරු මුළුතැන්ගෙයක් ඔබ සැම දෙනකුටම බොහෝ ප්‍රයෝජනවත් වන අතර උයා ගැනීමට ගින්දරවලින් ඈත් වුණු නවමු අත්දැකීමක් ඔබට විඳ ගැනීමට අවශ්‍ය නම් Millo smart කදිම සාක්ෂියකි. මුළුතැන්ගෙයි මේසයක් මත යමක් උයා ගැනීමට එසේත් නැතිනම් බ්ලෙන්ඩරයක් මඟින් ආහාරයක් සකසා ගැනීමට සිනිදු මතුපිටක් ඔබට උපකාරී වේ නම් එය ඔබට තරමක් අපැහැදිලි ඇත. ඇත්තෙන්ම එය සැබෑවකි. මේසය මත පවතින අලෝකයෙන් රවුම් වළල්ලක් සේ සැකසුණු ස්ථානයක ඔබගේ ආහාර සැකසීමට වෙන් වී ඇත් නම්...

යමක් උයා ගැනීමට ගින්දරක් නැති, බ්ලෙන්ඩර් කර ගැනීමට මැෂිමක් නැති, ඒවා ක්‍රියා කරවීමට බොත්තම් ද නැති සිනිදු මේසයක මතුපිටක් ආලෝකයෙන් පමණක් ඒ සියලු ක්‍රියාකාරකම් සිදු කිරීමට Millo smart සමත් වේ.

Millo smart චුම්බක එයාර් ඩ්‍රයිව් තාක්ෂණය මීට යොදාගෙන ඇති අතර මුළුතැන්ගෙයි මේසය මත රවුම් ආලෝක වළල්ලක් මත ඔබට බිත්තරයක් බැද ගැනීමට අවශ්‍ය නම් තබා උෂ්ණත්වය ද ආලෝකයෙන් සලකුණු කර ඇති කොටස ස්පර්ශ කිරීමෙන් වැඩි කර ගනිමින් ආහාර පිස ගැනීමට හැකියාව පවතී. එලෙසම බ්ලෙන්ඩරය ද එලෙසම වළල්ල මත තබා ගනිමින් ආහාර සකසා ගැනීමට හැකියාව ඇති අතර මෙමඟින් මුළුතැන්ගෙයි අනවශ්‍ය ගිනි ගැනීම්, විදුලි කාන්දු වීම් ආදියෙන් ද ඔබ ආරක්ෂා කිරීම සිදු වේ.

 

එකෙන් වැඩ ගොඩයි

වැකුම් ක්ලීනර් එකක් කියූ සැණින් ඔබේ මතකටය නැඟෙනුයේ පෙට්ටියකට සවි කරන ලද බටයකින් හුළං ආධාරයෙන් විවිධ පිරිසුදු කිරීම්වලට භාවිත කරන උපකරණයකි. ඇත්තෙන්ම නව නිෂ්පාදන සොයාගෙන වෙළෙඳපොළට යන ඔබට Trend T35 යනු නවමු අත්දැකීමක් වනවාට සැක නැත. Trend T35 යනු වැකුම් ක්ලීනර් එකක් ලෙස හැඳින්විය හැකි වුවද ඊටත් වඩා වැඩ කොටසක් ලබා ගත හැකි උපකරණයකි.

Trend T35 මඟින් නිවෙස, වාහන ආදි දේ පිරිසුදු කිරීමට අමතරව වඩු වැඩ ආදියට බෙහෙවින් උපකාරි වේ. ඊට අමතව පොළොව මත පවතින ජලය වැනි දියර ද්‍රව්‍යයක් ද පහසුවෙන් මෙමඟින් ඉවත් කර ගත හැකි අතර මෙහි පවතින විවිධ කොටස් භාවිත කරමින් ප්‍රයෝජන රාශියක් ලබා ගැනීමට හැකියාව පවතී.

තවද මෙහි ඇතුළත ඇති පොලිතින් උරයට සියලු අපද්‍රව්‍ය එක් වන අතර පහසුවෙන් පිරිසුදු කර ගැනීමේදී එම උරය ඉවත් කර නැවත උරයක් දැමීමේ හැකියාවෙන් සේදීමට ද අවශ්‍ය නැත.

 

 

සුළං බලෙන් මලකඩ ගලවන්නෝ

විදුලියෙන් බොහෝ උපාංග ක්‍රියා කරවන අතර වර්තමානයේ සුළං බලයෙන් ද එවැනිම විදුලියෙන් ක්‍රියා කරවනා උපාංග දියුණු වී වෙළෙඳපොළෙන් මිල දී ගැනීමේ හැකිය. වාහන අලුත්වැඩියා කරන ස්ථානවල සුළං බලයෙන් වැඩ කරනා ඇණ ගැලවීමේ හා සවි කිරීමේ උපකරණය ඔබ බොහෝ දෙනකු දැක ඇතිවාට සැක නැත.

Flex Head rust Removal tool යනු එලෙසම සුළං බලය ආධාරයෙන් කාර්යක්ෂමතාව ද අතින් උපරිමයට ක්‍රියා කරනා උපාංගයකි. මෙමඟින් සිදුවනුයේ යම් පෘෂ්ඨයක බැඳී ඇති මල ආදිය ඉවත් කර වීමයි. මේ උපකරණයට සුළං බලය යෙදීමෙන් ඔබට අවශ්‍ය මල ඉවත් කර ගැනීම සිදු කර ගත හැකි වේ. එලෙසම මෙහි තලය අංශක 50ක් වන පරිදි දෙපසට හැරවීමේ හැකියාව ඇති අතර මල ඉවත් කිරීමේදී මෙය මනා පහසුවකි.

මෙහි පවතින තල මාරු කර ගනිමින් ඔබ අවශ්‍ය පරිදි යම් පෘෂ්ඨයක් මත බැඳී ඇති මල පහසුවෙන් ඉවත් කර ගැනීමට හැකිය.

 

 

සිදුරු විදින වැඩකරු

නිවෙසේ යම් කාර්යයක් සිදු කිරීමේදී බොහෝ දෙනකුට ඇති වන මූලික ගැටලුවක් වන්නේ සිදුරු විදිනයක් නැති වීමය. එය තිබුණ ද සෑම කෙනකුටම ඉන් නිවැ‍රැදිව සිදුරක් විද ගැනීමේ හුරුව නැති අතර එලෙස නුහුරු කෙනකු යම් උපකරණයක නැතිනම් ස්ථානයක සිදුරක් විද ගැනීමේදී එම භාණ්ඩයට ද හානි සිදු කර ගත හැකිය. Camopro Guides යනු සිදුරු විදිනය නුහුරු කෙනකුට වුවද නිවැ‍රැදිව අවශ්‍යතාව ඉටු කර ගැනීමට උපකාරි වන නිෂ්පාදනයකි.

Camopro Guides මඟින් සිදුරු විද ගැනීමට අවශ්‍ය ස්ථානයට තබා එහි ඇති සිදුර ඔස්සේ විදිනයේ තලය තබා නිවැ‍රැදිව සිදුර විද ගැනීමට හැකි අතර මෙහි ඇති යට කොටස්වලින් මිනුම් වෙනස් වීමට ඉඩ නොදී භාණ්ඩයේ පෘෂ්ඨය මත හොඳින් සවි වී සිටීමක් සිදු කරයි. එලෙසම Camopro Guides මඟින් යම් කෙනකුගේ ආරක්ෂාව ද තහවුරු කරන උපකරණයක් වන අතර ඔබගේ නිවෙසේ සුළු වැඩවලට බෙහෙවින් උපකාරි වේ.

 ගයාන් සංජය

 

නව අදහස දක්වන්න