පළමු එක්දින තරගයෙන් එංගලන්තයට ජය | දිනමිණ

පළමු එක්දින තරගයෙන් එංගලන්තයට ජය

ටැමී බියුමොන්ට්ගේ සහ නායිකා හීදර් නයිට්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් සත්කාරක නවසීලන්ත කාන්තා පිලට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කාන්තා පිල සමත් විය. ක්‍රයිස්චර්ච් නුවර පෙරේදා පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩිකාවෝ ඕවර 45.1කදි ලකුණු 178කට දැවී ගියහ. නියමිත ඉලක්කය කඩුලු 2ක් පමණක් වැය කරමින් අත්කර ගැනීමට එංගලන්ත ක්‍රීඩිකාවන්ට ගත වූයේ ඕවර 33කුත් පන්දු 4ක් පමණි.

අගනා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකාරිනිය ටැමී බියුමොන්ට් පන්දු 86කදී හතරේ පහර 11ක් සමග ලකුණු 71ක් රැස් කළ අතර, නායිකා හීදර් නයිට් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 67කි. ඇගේ ඉනිමට පන්දු 69ක් වැය වූ අතර, හතරේ පහර 7ක් සහ හයේ පහරක් එක් විය.

බියුමොන්ට් සිය එක්දින තරග දිවියේ 10 වැනි අර්ධ ශතකය වාර්තා කළ අතර, නායිකා හීදර් රැස් කළේ ඇගේ එක්දින තරග දිවියේ 20 වැනි අර්ධ ශතකයයි. දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ලකුණු 94ක සම්බන්ධතාවක් ගොඩ නැගිණි.

 

නව අදහස දක්වන්න