යක්ෂයන් වන්නේද දෙවියන්ය | දිනමිණ

යක්ෂයන් වන්නේද දෙවියන්ය

මනුෂ්‍යත්වයේ උපරිමය ආදරයයි. භෞතිකව පමණක් දියුණුවේ හිණිපෙත්තට ගිය ද අධ්‍යාත්මිකව මිනිසා පිරිහේ නම් ආදරය පලා යන්නේ සියල්ලටම පෙරය. දියුණුව වනාහි එකී කාරණා ද්විත්වයේම සමබර සම්මිශ්‍රණයක් විය යුතුය. ආදරයට කෙතරම් නිර්වචන තිබුණ ද එය ප්‍රායෝගිකව කෙතරම් දුරට ක්‍රියාත්මක වනවා ද යන්න වර්තමානය වන විට සමාජය තුළ පැන නැඟී ඇති දරුණුතම ඛේදවාචකයකි. එකෙක් පරයා අනෙකා නැඟී සිටින්නට උත්සහ කරනා සමාජය තුළ අනෙකා මකබෑවුණ ද එයින් පලක් නැත. දෙදෙනෙක් ආදරයෙන් බැඳුණ ද එය මරණය දක්වාම රැගෙන යනුයේ අතළොස්සකි.

සම්මතය පරදා අසම්මතය ජය කෙහෙළි නංවන්නේ මෙවන් වූ පසුබිමක් තුළය. ගතේ සවි ශක්තිය තිබෙනතුරු රති කෙළියේ යෙදෙන උන් බොහෝ දෙනෙක් දරුවන් දෙතුන් දෙනෙක් ලැබූ පසුව හැසිරෙන්නේ ආගන්තුකයින් ලෙසය. ඉන් පසු ආදරණීය වදන් ඇසෙන්නේ ද ආදරයෙන් අමතන්නේ ද නැත. ආදරයේ ඇති වැරැද්දක් නැත. විඳින්නට ඇති ආදරය විඳවන්නට හේතු කාරණා සකස් කරගන්නා මිනිසුන් අවසනදී ජීවිතයෙන් වන්දි ගෙවනුයේ ආදරයේ ස්වභාවය මෙය යැයි ලොවට කියාපාමිනි. එය කොතරම් වැරදි ආදර්ශයක් වුවද බොහෝ දෙනෙක් ලබා ඇත්තේ ද ආදරය පිළිබඳ අමිහිරි අත්දැකීම්ය.

කාසියක දෙපැත්තක් මෙන් බැඳී ඇති ආදරය හා වෛරය එකිනෙක නොපිටට පෙරළීමට ගත වන්නේ ඉතා කෙටි කාලයකි. හිත්වල ආදරේ ඇත්නම් අනෙකාට හානි කළ නොහැකිය. අයිති කර ගැනීම පමණක්ම ආදරය ලෙසින් වටහා ගන්නා ඇත්තෝ එය අහිමි වූ කළ හැසිරෙන්නේ උන්මන්තකයින් මෙනි. ජීවිතය උපේක්ෂාවෙන් විඳ දරාගත යුතුමය. එසේ නොවුණ කල්හි ආදරය ද සීමා ඉක්මවා කුලප්පු විය හැකිය. කිසිදා නොරිදවූ ආදරයක් තිබේනම් ඒ මව්පිය සෙනෙහස බව අප සැවොම පිළිගන්නා කාරණයකි. නමුත් එයට ද නිගා දෙන ආකාරයෙන් ඇතැම් මව්වරු කටයුතු කරන්නේ දරුවන් යනු දරුවන්ගේ උවමනාවට මෙලොවට පැමිණි උන් ලෙස සිතාය. දෙදෙනෙකුගේ ආදරයේ උත්තරීතර ඵලය වනාහි දරුවන් වේ. එම නිසා දරුවන් බිහි වනුයේ එකී ආදරයේ කැමැත්ත මතය. ඉඳින් හිංසා පීඩා කිරීමට නම් දරුවන් වැදිය යුතු නැත. දිනෙන් දින මිනිසා පිරිහෙමින් සිටින අතර අසන්නට දකින්නට ඇත්තේ සිත කම්පනය කරන සිදුවීම්ය. කවුරුන් විශ්වාස කරන්නේ ද නොකරන්නේ ද යන්න ගැටලුවක් බවට පත් වී ඇත. මන්ද හිටි ගමන් යක්ෂයන් වන්නේ ද ප්‍රසන්න පෙනුමෙන් සිටිනා දෙවියන්ය. මේ නිසා හදවත මඳක් නතර කොට මොළයෙන් තීරණ ගත යුතුය. එය කෙතරම් අසීරු තීරණයක් වුවද අපගේ ජීවිතයේ දිගු කාලීන තෘප්තිය සඳහා රුකුලක් ලබා දෙනු ඇත.

 

 හර්ෂමාලී වීරරත්න

නව අදහස දක්වන්න