කළු සීයා | දිනමිණ

කළු සීයා

මහවැවේ වතුර පිරිල තරමකට. ඊට එහායින් තියෙන්නෙ කුඩා වැව. කුඩා වැවෙත් වතුර නොපෙනෙන්නම පිරිල තියෙන්නෙ පෙඳ පාසි. ඒත් මේ පුංචි වැව් දෙකම පාළු නෑ. මී මැස්සන්ට රොන් ගන්ට දෝ කියල නෙලුම් මල් පිපිල අරුණැල්ලෙ. කලු සීයා දෙකකුල් ඉක්මන් කරල ගියේ වැල්ලට. උන්දැ වාරකනටත්, මහ වලාලෙටත් යනවමයි වැල්ලට. වැල්ලෙ ඔරුකාරයො ඔක්කොටම වාගෙ මේ පුරුද්ද ඇඟේම ගෑවිච්ච එකක්. වැල්ලට ගියේ නැත්තං හිතත් හෝන්දු මාන්දු වෙලා වගෙ.

මහවැව - කුඩාවැව දෙකම පහු කරලයි යන්න තියෙන්නෙ වැල්ලට. තොඩුවාව වැල්ලට. වැල්ලට යනවනං පැයකට එක වරක් විතරක් එන බාග බස්සෙකකුත් තියෙනව. ඒත් කාටද පුළුවන් බස්සෙකක් එනකං කාලෙ දිග අරින්න. බවලත් උදවිය උන්නත් එහෙම; කළු සීයල වගෙ උදවියට නං බෑ එහෙම එකතැන ටැක් ගැහෙන්න. කළු සීයා අඩි හයහමාරක් උස මහ සද්දන්තයෙක්. ඇඟ පතත් මහ විසාලයි. තළේළු යි. කළු සීයගෙ අයියා වෙද සීයා. උන්දැත්ටත් ඒ වගේම විසාල ඇඟපතක් තමා තිවුනෙ. ඒ මකාරියස් ගොයියලගෙ මහ පරම්පරාව.

කවුරුත් වගෙ කෙරුවෙ මාළු රස්සාව. ගොඩ ඉඩමක් කෙරුවෙනං වෙද සීය විතරයි. වෙද සීය තමයි තොඩුවාව ඇතුළු ගං හතකම ගොඩ වෙදා වුණේ. කළු සීයා උන්දැගෙ බේත් වගාවටත් උදව් කරනවා. වෙද සීයට කුරක්කන් හේනකුත් තිවුණ. බේතට හේතට ඕනෑ වෙන හින්දා කංසා පැළ ටිකකුත් වවල තිවුණ. වෙලේ වැඩට වැඩියෙ කළු සීයා වැල්ලෙ ඔරුකාරයො එක්කයි කරක් ගැහැව්වෙ. කළු සීයටත් තිවුන දියඹෙ කරක් ගහන්න මහ විසාල තෙප්පං ඔරුවක්. මුදු යන්නෙ නැත්තං වැල්ලේ දිගටම තෙප්පම් බාලයි තියෙන්නෙ. වැල්ලෙ කුම්බලා දැලකට අත් උදව් වෙන්න කිව්වටයි ආවෙ; කළු සීයා පාන්දරම වැල්ලට.

එදා කුම්බලා දැල නං නොසෑහෙන්න ලාබයි. කළු සීයගෙ අත් වාසියත් වෙන්නැති කියලයි කතා වුණෙ කවුරුත්. මේ වගෙ මහ වාරකනක කොහොමදෑ අප්පා මේ වගේ මාළු ගැබ්බරක්? සන්තානං මෑණියන්ට පින් සිද්ධ වෙන්ටෝන මේ දීමනාවන්ට. කාක්කන්ගෙ කාහලය. මූදු ලිහිණියන්ගෙ තටු ගැටෙන අඬ. කොල්ලො කුරුට්ටො වැල්ලෙ හැම හතර දික්බාගෙම මූදු හුළඟ සාගරේ කලම්බන ගානට. ගොඩ වැල්ලෙ පොල්ගස් කරටි කපාගෙන ඇද හැලෙන ගානට කැරළි ගහන හුළඟ ළතෝනි දෙනව වගේ. වැල්ලෙ බරු ගහල තිබ්බ එක තෙප්පමක් මුදු වැල්ලටම පත බෑවෙලා.

"අනේ අම්මපල්ල මොකද්දෑ මේ වුණේ?" ඇහෙනව කොල්ලෙක්ගෙ හීන් ඇඬිල්ලක්. හුළං සද්දෙට වෙන කෙඳිරිලි නිනව් නැති වෙනවා. "කෝ අපේ පොඩි එකා?" හොයහල්ලකො අපේ පොඩි ඵකා.. කෝ හැබෑට මේකා? වැල්ල පුරාම එකම ගාල ගෝට්ටියක්. ඇන්ටනියගෙ කොල්ලා නැතිවෙලා. අනේ මගෙ සන්තානං මෑණියනේ මගෙ කොල්ලව හොයල දීපල්ලකෝ?.

කෝකටත් කියල කළු සීයා උන්නු තැනම බය බිරාන්ත වෙලා. උන්ගෙම මහ තෙප්පම වැල්ලෙ පතබාල මුනින්තලාවට. මේ මොන වින්නැහියද්ද? කොහොමද මගෙම ඔරුකඳ මුනින්තලා වුණේ. මේ අනිත් උන්ගෙ ඔරු කඳවල් තියෙන්නෙ එහෙම්මම.." කළු සීයා විතරක් නෙවේ වැල්ලෙ අඬා දොඩපු හැමෝම වාගෙ ඒකරාශී වුණා එතනට. කළු සීයාගෙ හිතට සැකයක් මෝදු වුණා "මේ මොන වින්නැහියද්ද?" කලු සීයා දෑතම බදල ඒ මහ තෙප්පම ඉස්සුවා. බලද්දි තෙප්පම යට ඉඳල තියෙන්නෙ ඇන්ටනියගෙ කොල්ල විල්බට්. ඌ සිහි මුර්ජා වෙලා තෙප්පම යටම කොල්ල ආයු හැරල..... එහෙම වෙන්ට බෑ. ගම්මුලාදෑනි රාලහාමි ආවා එතනට. කොරනල් මහත්තෙයත් ආවා. පොලීසියෙ මහත්තුරුත් පිරිලා.

කොල්ලාගෙ මරණයට වග කියන්න ඕනෑ කළු සීයා. පොලීසියෙ පොතේ ලියවුණේ එහෙම. "අනේ ආයුබොවං මං මොනවට ද මේ කිරිසප්පයෙක් මරන්නෙ. මේව හෙණ ගහන අපරාධ.." ඇන්ටනිගෙ ගෙදර උන්දා පපුවට ගහ ගන්නව ලතෝනි දෙනව.

"කළුන්දෑ අයියෙ උඹ තමයි මගෙ කොල්ලව මරල තියෙන්නෙ. බොගෙ තෙප්පම යට කැත කරනවයි කියල තමයි උඹ මෙහෙම කරල තියෙන්නෙ. කළුන්දැයියෙ තොට විතරක් නෙවේ තොගෙ සනුහරේටම පළි ගහනව මං. ඔව් මං මුන්නේස්සරං ගිහින් අඹරනව මිරිස්. මං නිකං නං ඉන්නෑ හොයල දීපියව් මගෙ පුතාව.."

පොලීසියෙ අත් අඩංගුවෙ දැන් කළු සීයා.

පවුලේ නෑ සනුහරේම පිරිල පොලීසියෙ වෙද සීයා, ගෝලු සීයා හැරියට් අම්මා පල්ලියෙ සුවාමිට විතරක් බලන්න දුන්නා කළු සීයව. උන්දා හිස නවාගෙන හිස් බිත්තිය දිහා බලා ගෙනම ඉන්නවා.

වැල්ලේ මනුස්සයන්ගෙ කෑගැහිල්ලයි කෝල්ලගෙ හදිසි මරණයයි ගැන කළු සීයාට නං හිතා ගන්නවත් බෑ.

පීවිතේ කවදාවත් මේ වගෙ දෙයක් වෙන්න පුළුවන් ද? ඒත් සියල්ල සිදුවී හමාරයි.

ගල්බංකුවට පිටදී හිටින මේ හයරියන් මහ මිනිසා නොසිතූ නොපැතූ වරදකට හිරගත වුණා. වැඩිකල් නොයාම කළු සීයා වරදකරු කෙරුවා වැල්ලේ දරුවෙක් හිතාමතාම ඝාතනය කිරීමේ වරදට. කළු සීයාට මරණ දණ්ඩනය හිමි කිරීමට හලාවත අධිකරණය, එවකට තිබුණ සුද්දාගේ අධිකරණය, දඬුවම් නියම කරනව බලන්න; අහල ගං හතක උදවිය ඇවිත් හිටියා. උසාවියට ආපු හැමෝම වගෙ ඇඬූ කඳුළින් තමයි උසාවි තීන්දුව අහගෙන හිටියෙ. වෙද සීයා උසාවියෙ අසාධාරණ තීන්දුවට විරුද්ධව ඇපෑලක් ගත්තා. නඩුවට අදාළව 'ස්තානීය පරීක්ෂණයක් නොකිරීම' වැරැද්දක් ලෙසට පෙන්නා දී තිබුණා. වෙද සීයා ඇතුළු පවුලේ අයගේ සටනින් ඇපෑල දිනුවා. ස්ථානීය පරීක්ෂණයක් කිරීමට උසාවියෙන් නියෝග ලැබුණා. සුදු නඩුකාර හාමුදුරුවො වැල්ලට ආවෙ හිරේ හිටපු කළු සීයාව තෙප්පම් වැල්ලටම එක්කරගෙන ආවැයින් පසුවයි. පොලීසිය, ගම්මුලාදෑනියා, සුදු ඒජන්ත උන්නාන්සෙ, බෝගම්බර හිර ගෙදර ලොකු මහත්තෙයා, ඒ සපිරිවර වටේ ඉන්දැද්දි නඩුකාර හාමුදුරුවො අණ කෙරුව කළු සීයට තෙප්පම උස්සල පෙන්නන්න කියලා. බිමට බාපු තෙප්පම් ඔරුවක් උස්සන්න හතර පස් දෙනෙක්වත් ඕනෑ. ඒත් කළු සීයා දෑත පළල් කරල, තෙප්පම් බඳ උඩට උස්සල කෙළින් කෙරුවා. එතකොට ළමය කොහොමද බිම බාපු තෙප්පම් ඔරුවට එන්නෙ? ඇහැව්වෙ එහෙම; මුලාදෑනි මහත්තෙය. එතුමා ඒ සියල්ලම ආපිට පරිවර්තනය කරල නඩුකාර මහත්තෙයට කියනවා.

එදා වාරකං හුළඟ හොඳටම තිබිච්ච දවසක්. දරුව ඒ ළඟම. වැල්ලෙ සෙල්ලම් කරන්නැති හුළඟට තෙප්පං ලීය වැටිල ඔරුවට කොල්ලා යට වෙන්නැති කළුන්දැ එදා හිටපු හින්දම තමයි කොල්ලගෙ මිණිය හරි හොයා ගත්තෙ තෙප්පං කඳ උස්සල...''

වැල්ලේ උසාවිය තවත් හෝරාවකින් නිමා වුණා. කළු සීයා ආයෙමත් ඛෝගම්බර මහ උළු ගෙදරට ගෙනිච්චා.

කළු සීයා හිරගෙදර තාප්ප බිත්ති ළඟ හූල්ලන්න ගත්තා. කළු සීයාගේ නිදොස් බව පේන්නෙ නැද්ද දෙවියන්ටවත්...

තවත් සතියක් තරම යන්න ගියා. කොච්චර තේජවන්ත මනුස්සයෙක් ද කළු සීයා කියන්නෙ. වැල්ලේ කාටත් උදව් කරගෙන, දෙයියනේ කියල උන්නු සද්දන්තයකුට ආපු චෝදනාව නං දරන්න බැරි තරං. හැමෝම හුරතලේට වගෙ කළු සීයා කීවට සීයගෙ හැබෑ නමයි පෙළපත් නමයි වුණෙ, වර්ණකුලසූරිය පරනාන්දු එල්මෝ කාල් පූදිනන්ද.

සතියක් යන්නට මත්තෙන් කළු සීයා නිවැරදි කොට නිදහස් කරන ලෙසට උසාවියෙන් නියෝග දුන්නා.

එදා ඒ නියෝගයත් අරං හලාවත උසාවියෙන් බෝගම්බර හිර මැදිරියෙ ලොකු මහත්තය ළඟට ගියේ කොළඹින් අල්ලපු 'අබ්බකාත්' මහත්තෙයත් එක්ක, වෙද සීයයි.

නිදහසේ සුන්දර මූදු සුළං සනීපය කළු සීයාගෙ හිරමැදිරියට අරං යද්දි, අනේ අපේ කළු සීයා හදිසි පපුවෙ අමාරුවකින් ආන්තරා වෙලා.

 

ලක්ෂ්මී බෝම්බුවල

 

නව අදහස දක්වන්න