අයිසීසී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියට | දිනමිණ

අයිසීසී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියට

ෆවුස් මොහොමඩ්

දිමුත් කරුණාරත්නත් ඉහළට

සංචාරක බංග්ලාදේශ පිලට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගෙන වසර තුනකට පසු ශ්‍රී ලංකා භූමියේදී ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කිරීමත් සමඟ අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ එක් පියවරක් ඉහළට යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ටෙස්ට් තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගමාලාව ආරම්භයේදී අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල අටවැනි තැන පසු වූ ශ්‍රී ලංකා පිල තරග 1-0කින් තරගමාලාව ජය ගනිමින් 7 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට සමත් විය.

ඇගැයීම් ලකුණු 83ක් ලබා ශ්‍රී ලංකා පිල 7 වැනි තැනට යද්දී බංග්ලාදේශ පිල ඇගැයීම් ලකුණු 51ක් සමඟ 9 වැනි තැන රැඳී සිටී.

ඇගැයීම් ලකුණු 120ක් ලබා සිටින ඉන්දීය පිල මේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන අතර, දෙවැනි තැනට පත් වී ඇත්තේ ඇගැයීම් ලකුණු 118ක් ලැබූ නවසීලන්ත කණ්ඩායමය. ඔස්ට්‍රේලියාව ඇගැයීම් ලකුණු 113ක් ලබා තුන්වැනි ස්ථානයේ සහ එංගලන්තය ඇගැයීම් ලකුණු 106ක් ලබා සිව් වැනි ස්ථානයේ පසුවෙයි.

එම ලැයිස්තුවේ පස්වැනි ස්ථානය හිමිවී ඇත්තේ ඇගැයීම් ලකුණු 90ක් ලැබූ පාකිස්තාන කණ්ඩායමටය. ඇගැයීම් ලකුණු 89ක් ලැබූ දකුණු අප්‍රිකාව 6 වැනි තැන රැඳී සිටී.

මේ අතර බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගමාලාවේ වීරයා සම්මානය දිනූ ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 12 වැනි ස්ථානයට පත් වී සිටී. පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා ඉනිමේදී ලකුණු 166ක් රැස් කළ ධනංජය ද සිල්වා ද ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 28 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටී.

නව අදහස දක්වන්න