පාඩු ලබන ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රිය කරන්න | දිනමිණ

පාඩු ලබන ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රිය කරන්න

අගමැතිගෙන් උපදෙස්

  • යහපාලන ආණ්ඩුවේ ව්‍යපෘතිවලින් බිලියන ගණනක පොල්ලක්
  • අගමැතිගේ ප්‍රතිචාරය වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ඇගයුමට

යහපාලන ආණ්ඩුව ගෙන ගිය අකාර්යක්ෂම කළමනාකරණය සහ මූල්‍ය අවභාවිතය හේතුවෙන් පාඩු ලබන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රිය තත්ත්වයට පත් කිරීමට වහා කටයුතු කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට නියෝග කළේය.

පසුගිය යහපාලන ආණ්ඩු කාලය තුළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඔස්සේ අත්තනෝමතික ලෙස ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වී ඇති අතර, ඒවායෙන් ලැබිය යුතු රුපියල් බිලියන ගණනක මුදල් මේ දක්වා ඉංජිනේරු සංස්ථාවට අය වී නොමැති බව මෙහිදී අණාවරණය විය.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වත්මන් තත්ත්වය පිළිබඳ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා මේ බව අවධාරණය කළේය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඉදි කිරීම් සඳහා ද රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය ලබා ගත් බවත් මෙතෙක් ඒ සඳහාවත් ගෙවීම් කර නැති බවත් ඉංජිනේරු සංස්ථා නිලධාරියෙක් මෙහිදී හෙළි කළේය.

යහපාලන ආණ්ඩුව සුදුසුකම් රහිත පත්වීම් සහ උසස්වීම් දීම හේතුවෙන් රජ්‍ය ඉංජිනේරු සංස්ථාව තුළ මේ වන විට සේවක අර්බුදයක්ද මතුව ඇති බව එම නිලධාරීන් පෙන්වා දුන්නේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ධුර කාලයේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් යහපාලන ආණ්ඩුව විසින් නවතා දැමීමට කටයුතු කිරීම හේතුවෙන් එම සංවර්ධන කටයුතු ඇණ හිට ඉංජිනේරු සංස්ථාව කබලෙන් ලිපට ඇද වැටුණේ යැයි නිලධාරීහු කියා සිටියහ.

පෑලියගොඩ සී සිටි ( C City ) වෙළෙඳ සංකීර්ණය මෙලෙස අතහැර දැමූ එක් ව්‍යාපෘතියක් පමණක් බව මෙහිදී හෙළි විය.

නුවන් කොඩිකාර

 

නව අදහස දක්වන්න