එජාපයේ නැඟි සිටීමට බිය වුණු සජබය අපට මඩ ගසනවා | දිනමිණ

එජාපයේ නැඟි සිටීමට බිය වුණු සජබය අපට මඩ ගසනවා

ශිරෝමි අබයසිංහ

එක්සත් ජාතික පක්ෂය යළි නැඟි සිටීම ගැන බිය වී සිටින සමගි ජන බලවේගය සමාජ මාධ්‍ය ජාලා මඟින් පක්ෂයටත් තමන්ටත් එරෙහිව මඩ ප්‍රහාර සිදු කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පෙරේදා (19) මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඒහිදී ඒ මහතා මෙසේද කීය.

සමගි ජන බලවේගයේ කණ්ඩායම් ආණ්ඩුවට ප්‍රහාර ල්ල නොකර අපට මඩ ප්‍රහාර එල්ල කරනවා. සමගි ජන බලවේගයේ සාමාජිකයන්ට අපහාස නොකරන ලෙස අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අපට උපදෙස් දී තිබෙනවා. නමුත් සමගි ජන බලවේගයේ අයගේ කිසිම විනයක් නැහැ. අපහාස කරන අය කවුරුන්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගත් පසු අපහාස නීතිය යටතේ ඒ අයට එරෙහිව නඩු පැවරීමට මා ක්‍රියා කරනවා. සමගි ජන බලවේගය අපට බය වෙලා. අපට පහර දෙන්නේ ඒ නිසයි.

කැඩී බිඳී වෙන් වී සිටි ආණ්ඩුවේ සාමාජිකයන් සමගි ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගය නිසා ඒකට එකතු වී සිටිනවා. ඩීල් ගහනවා කියා අපට චෝදනා කළා. පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවට පවත්වන ජන්ද ප්‍රතිඵලයෙන් පසු ඩීල් ගැහුවේ කවුරුන්දැයි තේරුම් ගන්න පුළුවන් වේවි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම අපට අභියොගයක් නෙවෙයි. ජනතාවට අද ජීවත් වීම අභියෝගයක් වී තිබෙනවා. මුළු ආණ්ඩුවම අසාර්ථකයි. රුපියල් පන් දහසේ හොර නෝට්ටුවලින් රුපියල් කෝටි දෙකක් සෙලාන් බැංකුවට ගෙන ගිය අය අදටත් විමර්ශනයක් නොමැතිව නිරුපද්‍රිතව සිටින්නේ කාගේ ඩීල් ඒකකටදැයි අහන්න අවශ්‍යයි.

නව අදහස දක්වන්න