අයර්ලන්තය හතරට ශ්‍රී ලංකාව පියවරක් පහළට | දිනමිණ

අයර්ලන්තය හතරට ශ්‍රී ලංකාව පියවරක් පහළට

අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතේ සංචාරක සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සමඟ බෙල්ෆාස්ට්හිදී පැවැති තෙවැනි එක්දින තරගය කඩුලු 7කින් ජය ගැනීමට අයර්ලන්තය සමත් විය. මේ ජය සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය නිමා වූයේ 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරවය.

වර්ෂාවෙන් බාධා වූ මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිලට ඕවර 34කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 131ක් පමණි. ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව අයර්ලන්තයට ඕවර 32කදී ලකුණු 118ක ඉලක්කයක් හිමි වූ අතර, කඩුලු 3ක් අහිමි කර ගත් ඔවුන් ඒ සඳහා වැය කළේ ඕවර 22.2ක් පමණි.

පෝල් ස්ටර්ලිංග් ලකුණු 43ක් සහ නායක ඇන්ඩි බල්බර්නි ලකුණු 34ක් අයර්ලන්ත ඉනිමට එක් කළහ. පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල වෙනුවෙන් නායක ක්‍රේග් අර්වින් ලකුණු 57ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, ලකුණු 10 සීමාව පසු කළ හැකි වූයේ තවත් පිතිකරුවන් දෙදෙනකුට පමණි. ජගත් ක්‍රිකට් පිටියේ සිය අවසන් තරගයට ක්‍රීඩා කළ බ්‍රෙන්ඩන් ටේලර්ගේ ඉනිම ලකුණු 7කින් නිමා විය. සිම්බාබ්වේ අවසන් කඩුලු 6 ලකුණු 32ක් තුළ බිඳ දැමීමට අයර්ලන්තය පන්දු යවන්නෝ සමත් වූහ. පන්දු යැවීමේදී ඇන්ඩි මැක්බ්‍රයින් සහ ජෝෂ් ලිට්ල් කඩුලු 3 බැගින් දවා ගත්හ.

මේ තරගාවලිය අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට අයත් බැවින් අවසන් තරගය ජය ගැනීමත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඉහළට ඒමට අයර්ලන්තයට හැකි විය. මේ තරගයට පෙර අයර්ලන්තය 8 වැනි තැන සිටි අතර, ඔවුන් සිව්වැනි තැනට පත් වීමත් සමඟ ශ්‍රී ලංකාවට ද ස්ථානයක් පහළට ඒමට සිදු විය.

ඒ අනුව ශ්‍රී ලංකාවට 6 වැනි තැන හිමිව ඇති අතර, ඉන්දියාව, පාකිස්තානය සහ කොදෙව් පිල ද එක් ස්ථානය බැගින් පහළට වැටිණි.

අයර්ලන්තය තරග 15කින් 4ක් ජය ගෙන තරග දෙකක් විසඳුමකින් තොරව නිමා වීමෙන් ලකුණු 50ක් හිමි කර ගෙන සිටින අතර, සිම්බාබ්වේ පිල තරග 12කින් ⁣2ක් ජය ගෙන කණ්ඩායම 13 අතරේ 12 වැනි තැනට පත්ව සිටී. පෙරමුණේ පසු වන එංගලන්තය සමඟ ශ්‍රී ලංකාව ද තරග 15 බැගින් ක්‍රීඩා කර තිබේ.

නිරෝෂාන් ප්‍රියංකර

 

නව අදහස දක්වන්න