බැඳුම්කරයෙන් මහ බැංකුව හිස් කළ විපක්ෂය අද නව මහ බැංකු අධිපති විවේචනය හාස්‍යයට කරුණක් | දිනමිණ

බැඳුම්කරයෙන් මහ බැංකුව හිස් කළ විපක්ෂය අද නව මහ බැංකු අධිපති විවේචනය හාස්‍යයට කරුණක්

රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම

සිංගප්පූරු ජාතිකයකු මහ බැංකු අධිපති ධුරයට පත්කර බැඳුම්කර වංචාවෙන් මහ බැංකුව හිස් කළ පසුගිය යහපාලන ආණ්ඩුවේ උදවිය අද විපක්ෂයට වී කබ්රාල් මහතාගේ පත්වීම විවේචනයට ලක් කිරීම හාස්‍යයට කරුණක් බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පවසයි.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (19) පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.

"කොවිඩ් ව්‍යාප්තියක් සමඟ රටේ යම් යම් ආර්ථික ප්‍රශ්න මතුව තිබෙනවා. ඒක අපට පමණක් නොව ලෝකටයම බලපා තිබෙන තත්ත්වයක්. නමුත් රට දුවන්න බැරි තත්ත්වයකට ආර්ථිකය කඩා වැටී නෑ. වසංගත තත්ත්වය නිසා පාරට නොබැස ගෙවල් ඇතුළේ හැංගිලා ඉන්න විපක්ෂයට මේක තේරෙන්නේ නෑ. වසංගතය සහ සංවර්ධනය නිසි ලෙස කළමනාකරණය කරගැනීමට අපට හැකිවී තිබෙනවා. අද සෑම ගමකම පාරවල් කාපට් කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. සෑම ගමකටම මිලියන දෙකක් දී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මකයි. ලෝකයේ කිසිම රටක වසංගත තත්ත්වයක් තිබියදී සංවර්ධන කටයුතු මේ විදිහට කරන්නේ නෑ. අප වසංගතය එක්ක හැප්පෙනවා වගේම සංවර්ධන කටයුතුත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා. කොළඹ ගෙවල්වලට වෙලා හැංගිලා ඉන්න අයට මේවා පෙන්නේ නෑ. මහ පාරට බැහැලා බැලුවොත් පේනවා නගර සීයක් සංවර්ධනය කිරීමේ සියක් නගර ව්‍යාපෘතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මහනුවර අධිවේගී මාර්ගය මහනුවර ඇමැති කෙනෙක් ඉඳලත් යහපාලන ආණ්ඩුවට කරගන්න බැරි වුණා. අප ඒක ළඟදී විවෘත කරනවා.

රජයේ ආයතනවලට පත් කරන නිලධාරීන්ට දේශපාලන අධිකාරියත් එක්ක වැඩ කරන්න බැරි නම් ඒ අය ඉවත් වෙන්න ඕනෑ. ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ දැක්ම රටට ඉදිරිපත් කර තිබෙනවා. සෑම ආයතනයකින්ම ඒ මහතා බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා දැනුම්දී තිබෙනවා. ඒකට අනුගතව ක්‍රියාත්මක වෙන්න බැරි සමහර අය ඉල්ලා අස් වෙනවා. වැඩ කරන්නේ නෑ කියලා තේරෙන අය අස් කරනවා. තනතුරු භාර දෙනවා වගේම ඒවායින් ඉවත් කරනවා. ඒක මේ ආණ්ඩුව යටතේ සිදු වන දෙයක් විතරක් නොවෙයි. වැඩ පුළුවන් අය තියා ගන්නවා. අනිත් අය ඉවත් කරනවා. ජනතාව බලාපොරොත්තු වන සේවය ඒ ආයතනවලින් ඉටු නොවෙනවා නම් මොකක් කරන්න කියලද විපක්ෂය කියන්නේ. "

අසේල කුරුළුවංශ හා මධ්‍යම පළාත් සමූහ

නව අදහස දක්වන්න