පානාමංකඩ හැදුවේ හැමෝටම | දිනමිණ

පානාමංකඩ හැදුවේ හැමෝටම

අධ්‍යක්ෂණයෙන් පෙරට එන සම්මානනීය රංගන ශිල්පී රනිල් කුලසිංහ

 පූර්වී, ද කර්ස්, දෑස මගේ නුඹ ආදී නිර්මාණ හරහා අධ්‍යක්ෂවරයකු ලෙස අප හමුවුණු, සම්මානනීය රංගන ශිල්පී රනිල් කුලසිංහ මෙවර නව ආරක ටෙලි වෘත්තාන්තයක් වන පානාමංකඩහි අධ්‍යක්ෂවරයා වශයෙන් අප හමුවට පැමිණ සිටී. සෙනසුරාදා හා ඉරිදා ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන ඒ පිළිබද අප මෙතැන් පටන් ඔහුත් සමග කතාබහකට එළැඹෙමු.

කොහොමද දැනට ලැබෙන ප්‍රතිචාර?

ඉතා හොඳයි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පානාමංකඩ පිළිබඳ කතා කරනවා. සාධනීය ප්‍රතිචාර එහි වෙනවා. ඒ මට විශාල දිරි ගැන්වීමක්.

අප එතැනින් පානාමංකඩට පිවිසෙමු?

පාරම්පරික උඩරට නැටුම් සම්ප්‍රදාය වටා මෙහි කතාව ගෙතෙන්නේ. ඒ කලාව පණ සේ රකිනා ගුරුන්නාන්සේ කෙනකුත් ඔහුගේ දූවරු පස් දෙනාත් මුහුණ දෙන ජීවන යථාර්ථය මෙහි වෙනවා. ඒ ඒ තරුණිය හරහා වෙන වෙනම පැතිකඩ නිරූපණය කෙරෙනවා. ඔවුන් සමාජ තල 5ක් හරහා දිවෙනවා කිව්වොත් හරි.

කොහොමද පානාමංකඩ හැදුණේ?

අවුරුදු 3ක විතර ඉඳන් මේ වෙනුවෙන් මහන්සි වුණා. මුලින්ම මේ කතාව මගේ මනසේ කාලයක් තිබුණා. මං එයින් පිටපතක් සකස් කිරීමේ කාර්යයට සමන්ත කුමාර ගමගේට ආරාධනා කළාම ඔහු සතුටින් එය පිළිගත්තා. එතැන් පටන් ටිකෙන් ටික අපි දෙදෙනාගේම අදහස් එකතු වෙමින් අවුරුද්දක පමණ කාලයක් තිස්සේ පානාමංකඩ හැදුණා. මගේ පියාත් පහතරට පාරම්පරික නැටුම් ශිල්පියෙක්. ඔහුගේ ආභාසය මට කුඩා කල පටන් ලැබුණා. එහෙම ටිකෙන් ටික මේ වස්තු බීජය මුලින් හටගන්නට ඇති. ඉන් පස්සේ නිෂ්පාදකයකු සොයමින් සිටියා. ඒ අතර අපට හමුවූ ගයාන් දිනේෂ් පෙරේරා නිෂ්පාදකයෙක් විදියට අපට උපරිම නිදහසක් දුන්නා. ඔහු නැති නම් මේ නිර්මාණය ජනගත වන්නේ නැහැ. බලංගොඩ තන්ජන්තැන්න අවට අපට හොඳම අයුරින් අවුරුද්දක පමණ කාලයක් තිස්සේ රූගත කිරීම් සිදු කළා.

මේ නිර්මාණය ඔබේ පර්යේෂණයක ප්‍රතිඵලයක්ද?

පර්යේෂණාත්මකව සොයා ගත් කරුණු අප මේ සඳහා ගැබ්කළා. විශේෂයෙන් උඩරට නැටුම් පිළිබඳ පොත්පත්, පර්යේෂණ රැසක් අප මෙහිදී හදාරා තිබෙනවා. ඒ වගේමයි, පෙර පුහුණුවීම් දෙමසක් පමණ කිරීමෙන් පසුවයි මෙහි වැඩ ඇරඹුවේ. එහිදී ලක්ෂ්මන් මෙන්ඩිස් ඇතුළු නර්තනයෙන්, ගායනයෙන් හා වාදනයෙන් ද මේ සඳහා දෙමසක පමණ සිටම බෙහෙවින් කැපවුණා. ඒ මහන්සියේ ප්‍රතිඵල තමයි අපට පානාමංකඩ විදියට ලැබුණේ.

ඔබ සම්මානනීය රංගන ශිල්පියෙක්, ඒත් මෙවර ඔබ අධ්‍යක්ෂවරයෙක් විදියටයි කැමරාවට දෑස් යොමා සිටින්නේ, ඒ අභියෝගයක් වුණාද?

ඇත්තෙන්ම. ප්‍රවීණ හා අතිදක්ෂ රංගන පිරිවරක් තමයි මෙහිදී මට මෙහෙයවීමට ලැබුණේ. එහෙත් ඔවුන් ඒ බව අමතක කරලා මගේ කාර්යයට අවශ්‍ය විදියට රංගනයේ යෙදුණේ පුදුමාකාර නිහතමානීකමකින්. අනෙක, මේ කාර්යය අපේ වැඩක්. මං ඒ බව නිතර දර්ශන තලයේදී සිහිකළා. අනෙත් හැමෝමත් ඒ හැගීමෙන් වැඩ කළා. හැමෝම එකට එකතු වී සහයෝගයෙන් වැඩකළා. ඒ නිසා අධ්‍යක්ෂවරයෙක් විදියට මට මගේ කාර්යය අපහසු වුණේ නැහැ. ලක්ෂ්මන් මෙන්ඩිස් නැටුම් ගුරුන්නාන්සේගේ චරිතය මවද්දී මට මගේ පියාගේ ඡායාවක් මැවී පෙණුනු අවස්ථා තිබුණා. එදිනෙදා මා දුටු චරිත ඇසුරෙන් මේ කතාවට එක්කර ගත් අංග බොහොම වෙනවා. ඒත් මේ සත්‍ය කතාවක්ම නෙවෙයි. කල්පිතය මෙහි ඇතුළත්.

අපි කතා කරමු ඒ පිරිවර ගැන?

ලක්ෂ්මන් මෙන්ඩිස්, මොරීන් චාරුණී, නිමල් පල්ලෙවත්ත, උපේක්ෂා ස්වර්ණමාලි, මේනකා පීරිස්, මාධනී මල්වත්ත, සමන් ලෙනින්, සමන්ත කුමාර ගමගේ, පාලිත අබේරත්න, චතුර රාජපක්ෂ, මහේන්ද්‍ර ප්‍රනාන්දු, නදීෂා රූපසිංහ, තෙනුජි විහාරා ( හදුන්වාදෙන) ආදින් මෙහි චරිත මවනවා. එසේම, කැමරාවෙන් ඉන්දික ලක්මාල් ද අංග රචනයෙන් බුවනෙක රණවක ද කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත ද සංගීත අධ්‍යක්ෂණයෙන් සමන් ලෙනින් ද සංස්කරණයෙන් විරංග කැටපෙ ආරච්චි ද නිෂ්පාදන කළමනාකරණයෙන් මාර්ෂල් රොබට් ද එක්වන පානාමංකඩ නිෂ්පාදකවරයා විදියට ගයාන් දිනේෂ් පෙරේරා එක් වෙනවා.

අපි ආපිට පානාමංකඩ දිගේ මේ කතාවේ පල්ලම් බසිමු?

කොටස් 60 - 70ක් විතර දුරකට පානාමංකඩ දිවෙන්නේ. එහි සියලු රූපගත කිරීම් දැන් නිමයි. නර්තනය, ගායනය, වාදනය සමඟ ගලායන කතාවක්. ඒ අතුරෙන් එක් එක් සමාජ පන්ති පිළිබඳ විග්‍රහයකුත් ප්‍රේක්ෂකයාට හඳුනා ගත හැකි වේවි. වියදම් අධික බවවත් ඒ වෙනුවෙන් බොහෝ කැප කිරීම් කළ යුතු බවවත් නොසළකා මේ නිර්මාණය සාර්ථක කර ගැනීමට දුන් දායකත්වයට මං නැවතත් නිෂ්පාදකවරයාව අගය කරනවා.

ඔබ මෙහිදීත් නාගරික මැදපන්තියේ පවුල් පසුබිම වටා ගෙතෙන කතාවලින් ඔබ්බට ගමට යෑමට උත්සාහ දරන බවක් පෙනෙනවා?

මං ඊට කැමැතියි. විශේෂයෙන්ම මගේ පරම්පරාවේ තවත් කිහිප දෙනකුම මේ මොහොතේදීත් එවැනි නිර්මාණ කටයුතුවල නිරත වෙනවා. ඇත්තටම කලාව රැකෙන්න නම් එහි අපේ පාරම්පරික සංස්කෘතිකාංග අන්තර්ගත විය යුතුයි කියන මතයේ මං ඉන්නවා. ඒ අනන්‍යතාව රැකගෙන නිර්මාණ කරන්න මං වෙහෙසෙනවා. ඒත් එක් කාල පරිචිඡේදයකින් පසුව අපෙන් ඒ කලාව ගිලිහුණා. නැවත ඒ කරා යොමු වන්නට මං කැමැතියි. එතැනදී ප්‍රවීණයන්ගෙන් ගුරුහරුකම් මං නිතර අපේක්ෂා කරනවා. ගුණ දොස් විචාරමින් තවත් ඉදිරියට මෙරට සංස්කෘතියත් ඈඳාගෙන නිර්මාණ කිරීමේ මගේ අරමුණට එවිට මට ලෙහෙසියෙන් ළඟාවිය හැකි වේවි. අනෙක දර්ශන තලයේදී මං තරාතිරමක් සළකන්නේ නැතිව මට උපදෙසක් ලැබිය හැකි ඕනෑම අයකුගෙන් ගුරුහරුකම් ලබන්නට සූදානම්.

ඔබට පානාමංකඩට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව තිබුණානේද?

ඒත් මං එක ප්‍රතිපත්තියක සිටිනවා. ඒ කවමදාකවත් මං අධ්‍යක්ෂණයෙන් දායක වන නිර්මාණයකට රංගනයෙන් එක් නොවන්නයි. අදට වගේම හෙටටත් එය එසේමයි. ඒ දෙඅංශයෙන්ම නිර්මාණයකට එකතු වුණොත් ඒ එකක්වත් හරිහැටි කර ගැනීමට ඉඩක් නොලැබෙනු ඇති. එවිට මට මං කරන කාර්යය කැපවීමෙන් හරියට කර ගැනීමටත් අවස්ථාවක් නොලැබේවි. අනෙක මං වෙනත් නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට රංගනයෙන් එක් වෙනවා.මේ වනවිටත් එවැනි එක් නිර්මාණයකට දායක වෙනවා.

මෙහිදී ගායනය, වාදනය හා නර්තනය අතින් විශාල වැඩ කොටසක් පැවරෙනවා නේද?

එහිදී සමන් ලෙනින් මෙහිදී රංගනයෙන් වගේම සංගීත අධ්‍යක්ෂවරයා විදියට දායක වෙනවා. ඔහු නිතර දර්ශන තලයේ රැඳීමෙන් ඒ කාර්යයන් වඩාත් පහසු වන්නට ඇති. එසේම සමන් හා ඔහුගේ බිරිය නිලූෂි ද මෙහිදී ගායනයෙන් ලබා දුන් දායකත්වය සිහිකළ යුතුයි.

ඔබේ ඉදිරි නිර්මාණ පිළිබඳත් සිහි කළොත්?

මේ වන විට වලවෙට්ටුවා ටෙලියේ රූගත කිරීම් නිසා කාර්යබහුලව සිටිනවා. ඉදිරි දෙමස තුළදී එහි රූගත කිරීම් නිම වෙනවා. ඉන් පසුව තවත් ටෙලිනිර්මාණයකට යොමු වන්නට අදහස් කරනවා. එයත් බොහෝ විට ගැමි පරිසරයක දිවෙන කතාවක් වේවි. ඒ සම්බන්ධව ද බරපැන දරන්නට නිෂ්පාදකවරයකු සමඟ කතාබහ කරමින් සිටිනවා.

නුවන් මහේෂ් ජයවික්‍රම

නව අදහස දක්වන්න