විමර්ශන අවසන් වූ වහාම නීලා වික්‍රමසිංහගේ දේහය ශ්‍රී ලංකාවට | දිනමිණ

විමර්ශන අවසන් වූ වහාම නීලා වික්‍රමසිංහගේ දේහය ශ්‍රී ලංකාවට

මහින්ද අලුත්ගෙදර

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ ඉතාලියේ මිලානෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අවසන් වූ වහාම දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මිලානෝහි ශ්‍රී ලංකා කොන්සල්වරිය වශයෙන් සේවය කරමින් සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහත්මිය පෙරේදා (17) ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර ඒ මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය සිය බලවත් ශෝකය ප්‍රකාශ කරයි.

අභාවප්‍රාප්ත කොන්සල් ජනරාල් නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය මේ වන විට මිලානෝ නුවර පිහිටි සැන් රෆායෙලේ රෝහලේ තැන්පත් කර ඇති අතර අදාළ විධිවිධාන අවසන් වූ පසුව, ඉතාලියේ සහ ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් දේහය, ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත බවද එම අමාත්‍යාංශය කියයි.

අභාවප්‍රාප්ත විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය පසුගිය දෙසැම්බර් 29 වැනි දින ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස වැඩ භාරගෙන තිබේ.

නීලා වික්‍රමසිංහ මහත්මියගේ වියෝව හේතුවෙන් ශෝකයට පත්ව සිටින පවුලේ සාමාජිකයන් සහ අනෙකුත් අයට ද විදේශ අමාත්‍යාංශය සිය සාතිශය සංවේගය පළ කරයි.

නව අදහස දක්වන්න