හැම චිත්‍රපටයක්ම හදන්නෙ ප්‍රේක්ෂකයා වෙනුවෙන් - ප්‍රීතිරාජ් වීරරත්න | දිනමිණ

හැම චිත්‍රපටයක්ම හදන්නෙ ප්‍රේක්ෂකයා වෙනුවෙන් - ප්‍රීතිරාජ් වීරරත්න

බොක්ස් ඔපිස් වාර්තා පිහිටුවූ චිත්‍රපට රැසක් නිපදවූ ප්‍රීතිරාජ් වීරරත්න විසින් නිර්මාණය කළ නවතම චිත්‍රපටය වන 'රශ්මී‘ මෙම මස 18 වන දා සිට ප්‍රදර්ශනය ආරම්භ විය. නොම්මර 17, පුදුමයි ඒත් ඇත්තයි, සූර වීර චණ්ඩියෝ, ඉට්ස් ද මැටර් ඔෆ් ටයිම් වැනි චිත්‍රපට ගණනාවක් ඔහු විසින් නිෂ්පාදනය කළ අතර පසුගිය වසරෙහි ඔහු නිමැවූ 'තිත්ත ඇත්ත' චිත්‍රපටයද තිරගත විය.

 

l 'රශ්මී' ඔබේ කී වැනි සිනමා නිර්මාණයද?

මෙය මගේ හයවන සිනමා නිර්මාණයයි. සත්‍ය කතාවක් පදනම් කරගෙන නිපදවූ මෙහි නිෂ්පාදනය වගේම දෙබස්, තිර රචනය , අධ්‍යක්ෂණයත් මගේමයි. හැම නිර්මාණයක් වගේම මේ චිත්‍රපටිය විනෝදාත්මක එකක්. 'රශ්මී' 'ආදරයට ආදරය කරන්න' යන තේමාව යටතේ නිර්මාණය වුණු 'ඇක්ෂන් ඇන්ඩ් කොමඩි' ගණයට වැටෙන චිත්‍රපටයක්. චිත්‍රපටයක් බලන්න ටිකට් එකක් මිලදීගෙන ප්‍රේක්ෂකයා එන්නෙ එය උපරිම රසවිඳින්න. ඒ නිසා මම හදන හැම චිත්‍රපටයක්ම හදන්නෙ ප්‍රේක්ෂකයා වෙනුවෙන්. ඔවුන්ට උපරිම සාධාරණයක් දෙන්න මා ඇතුළු කණ්ඩායම උත්සාහ කළා.

 

l කොවිඩ් වසංගතයත් සමඟ අභියෝගාත්මක කාලයක ප්‍රදර්ශනය කිරීම ඔබට ගැටලුවක් වුණේ නැතිද?

මම කවදත් අභියෝගවලට කැමති කෙනෙක්. ඒ වගේමයි ඒ අභියෝගවලට නොබියව අභියෝග කරන කෙනෙක්. නොම්මර 17 චිත්‍රපටයේ සිට මා නිර්මාණය කළ හැම චිත්‍රපටයක්ම සාර්ථක වුණෙත් ඒකයි. එහෙමයි කියලා නිර්මාණකරුවකු ලෙස හැමදාමත් නිහඬව බලා හිඳින්න මං කැමති නැහැ. ඒ නිසා මං නොබියව මෙය තිරගත කරන්න තීරණය කළා. විදුලිය විසන්ධි වීමත් එක්ක යම් යම් ගැටලු තිබුණත් මං ඒවාට මුහුණ දෙනවා. පහුගිය පාස්කු ප්‍රහාරය අවධියෙත් මේ වගේම ගැටලු ආවා. ඒ කාලෙත් මං හදපු ‘තිත්ත ඇත්ත’ චිත්‍රපටය සාර්ථක වුණා.හොඳ චිත්‍රපටයක් ආවොත් මිනිස්සු බලන්න එනවා. ‘රශ්මි’ ගැන තියෙන්නෙත් මට ඒ විශ්වාසයයි.

 

l 'රශ්මි' හි නිර්මාණ ශිලිපීන් ගැනත් කතා කළොත්.

මෙහි උපේක්ෂා ස්වර්ණමාලි, පුබුදු චතුරංග, අකලංක ගනේගම, ලකී ඩයස්, දුලීකා මාරපන, ජයසේකර අපොන්සු, සුසිලා කෝට්ටගේ ඇතුළු ශිල්පීන් ගණනාවක් රංඟනයෙන් දායක වෙනවා. ඒ අතරම මහේන්ද්‍ර පෙරේරා ගරු රංගනයක යෙදෙනවා.

ඒ හැමදෙනම මට පුදුම සහයෝගයක් දුන්නා රූගත කිරීම් සාර්ථක කරගන්න. අපි රූගත කිරීම් කළේ විනෝදයෙන් වගේම පවුලක් වගේ පුදුම බැඳීමකින්. රූගත කිරීම් අවසානයෙදි බොහෝ දෙනා විසිරිලා ගියේ කඳුළු ඇස්වල පුරවගෙන. ඒ සහයෝගය නිසාම මට අවසානයෙහි සාර්ථක ලස්සන චිත්‍රපටයක් හදන්න පුළුවන් වුණා.

ඒ වගේම මෙහි සංගීතය නිර්මාණය කළේ ඉරාජ් වීරරත්න විසින්. යූ ටියුබ් එකේ මිලියන තුනක් බලපු 'මම සිල් බිඳ ගත්තේ ‘ කියන ගීතය නිර්මාණය කළේ ‘රෂ්මී‘ සිනමාපටයටයි.

එම ගීයටත් දැනටමත් විශාල ආකර්ෂණයක් තිබෙනවා. අනිත් කාරණය නම් මෙහි මට ලැබෙන ආදායමින් කොටසක් සිනමා ශාලා සහ අසරණ කලාකරුවන්ට දෙන්නත් බලාපොරොත්තු වෙනවා.

 

l ඒ පිළිබඳ තවදුරටත් පැහැදිලි කිරීමක් කළොත්?

'රශ්මී' තිරගත කිරීමෙන් ලැබෙන නිෂ්පාදන ආදායම වන සියයට හතළිස් පහෙන් සියයට දෙකයි දශම පහක් සිනමාහල් නඩත්තුවටත්, තවත් සියයට දෙකයි දශම පහක් මාත් එක්ක මෙතෙක් කල් වැඩකළ , ආර්ථික හිඟකම් ඇති කලාකරුවන්ට දීමටත් මම තීරණය කළා. පහුගිය කොවිඩ් වසංගතයත් සමඟ සිනමා ශාලා බොහොමයක් වැහිලා ගිහිල්ලා. ඒවයේ සේවය කළ සේවකයන් අන්ත අසරණ වුණා. සිනමා ශාලා හිමියන්ට පවා එහෙමයි. කිසිම නිලධාරියෙක්, බලධාරියෙක් පවා රජයෙන්වත් මේ ගැන බිංදුවක්වත් සොයා බැලුවේ නැහැ. මේක මහා අපරාධයක්.මම පුද්ගලිකව අසරණ කලාකරුවන් රාශියකට උදවු උපකාර කළා.මේ නිසා තමයි මම එවැනි තීරණයක් ගත්තේ.

ඒ වගේම මෙහි ප්‍රචාරක වියදම අඩු කිරීමෙන් ඉතිරිවන සෙසු ආදායමද වැසී ගිය සිනමා ශාලා යළි ආරම්භ කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.

 

l ඔබ වෙනත් වෘත්තියක නියැළෙන්නෙක්. සිනමා නිර්මාණයන් කිරීමේදී එය ගැටලුවක් වුණේ නැතිද?

කිසිසේත්ම එය ගැටලුවක් නෙමෙයි. මං ව්‍යාපාරිකයෙක්. ඒ වගේම කළමනාකාර උපදේශකවරයෙක්. මගෙන් ඉගෙනගෙන ජීවිතේ සාර්ථක කරගත්තු විශාල පිරිසක් ලොව පුරා සිටිනවා. මා පාසල් යන කාලේ පටන්ම සිනමාවට ඉතා කැමති කෙනෙක්. ඉස්කෝලෙ යන කාලෙ පන්ති 'කට් කරලා' චිත්‍රපටි බලන්න යනවා. සමහර චිත්‍රපටි විසි වතාවක් විතර බලලා තිබෙනවා. ඒත් මම තමයි පන්තියේ පළමුවැනියා වුණෙත්. ඒ කාලෙ සිටම මං හැමදේම කළමනාකරණය කරගත්තා. කවදාවත් වැඩකරද්දි මට ගැටලුවක් වෙලා නැහැ.

 

l ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්.

'එදත් දිනුම් අදත් දිනුම්' මගේ ඊළඟ චිත්‍රපටයයි. ඒ වගේම තවත් චිත්‍රපට කිහිපයකම තිරපිටපත් සූදානම්ව තිබෙනවා. සිනමාව කියන්නේ මගේ ජීවිතය වගේ. ඒ නිසා ඉදිරියටත් මං චිත්‍රපට හදන එක නතර කරන්නේ නැහැ. මං ඇත්තටම චිත්‍රපට හදන්නේ විනෝදයටයි. නමුත් ඒවා අතිසාර්ථක වෙනවා. ඒකට මගේ හැකියාව වගේම වාසනාවත් බලපානවා ඇති.

දර්ශ කපුගේ

නව අදහස දක්වන්න