සෑම ජන කොටසකටම ඇහුම්කන් දීම දිවංගත රණසිංහ ප්‍රේමදාසයන්ගේ පිළිවෙතක් | දිනමිණ

සෑම ජන කොටසකටම ඇහුම්කන් දීම දිවංගත රණසිංහ ප්‍රේමදාසයන්ගේ පිළිවෙතක්

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ

දිවංගත රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා ආමර් වීදියේදී සිදු වූ බෝම්බ පිපිරීමකින් මිය ගොස් 29 වසරක් ඉක්ම ගොස් ඇති බවත්, රටේ සෑම ජන කොටසකටම ඇහුම්කන් දීමේ පිළිවෙතක් ප්‍රේමදාස මහතා මිය යන තෙක්ම අනුගමනය කළ බවත් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කොළඹ පිටකොටුවේ සෝන්ඩර්ස් පෙදෙසේදී ප්‍රකාශ කළේය.

මෙහිදී ඒ. ඊ. ගුණසිංහ පිළිරුවට දම් පැහැති මල්දමක් කොළඹ නියෝජ්‍ය පුරපති මොහොමඩ් ඉක්බාල් මහතා විසින් පැලඳවූ අතර, ලංකා කම්කරු සංගමයේ සභාපති හිටපු නාගරික මන්ත්‍රී විජිත කදිරගොන්න මහතා විසින් රතු පැහැති මල්දමක් පැල‍ඳවිය.

අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ඒ. ඊ. ගුණසිංහ මහතාගේ මිනිබිරිය වන යස්මින් කෝච්, අජිත් ගුණසිංහ, සින්නදොරේ ධනබාලා, කොටහේන සමුපකාර රෝහලේ හිටපු උප සභාපති සරත් කුමාර, ආර්. එස්. කදිරගොන්න, එස්. ආර්. වනිගසූරිය, අමිල පෙරේරා, නාමල් ගුණසීලි ද සිල්වා, මංජුල කදිරගොන්න, මනම්පේරි යන මහත්ම මහත්මීහු පිළිරුව අබියස මල් කලඹ තබමින් ආචාර කළහ.

සමිතියේ සභාපති විජිත කදිරගොන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒ. ඊ. ගුණසිංහ සමරුවේදී බුද්ධික පතිරණ මහතා මෙසේ කීය.

"ඒ. ඊ. ගුණසිංහ කොළඹ නගරයේ ප්‍රථම සිංහල පුරපතිවරයාව සිටියදී පමණක් නොව එතුමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා ඇමැතිවරයකුව සිටියදී කොළඹ නගරයේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් පුළුල් සේවාවක් සිදු ක‍ළා. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බටහිර අලුත්කඩේ සහ කුරුඳුවත්ත නියෝජනය කරමින් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ බදු ගෙවන, නොගෙවන ජනතාවට පමණක් නොව නැති බැරි ජනතාවට පිං පඩි පවා දෙමින් කටයුතු කළා. පසුව එතුමා නියෝජ්‍ය පුරපති ධුරයට පත් වුණා.

පසුව එතුමා කිහිප වරක්ම කොළඹ නගරයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, පළාත් පාලන නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙසත්, පසුව පළාත් පාලන ඇමැතිවරයා ලෙසත්, 1977 මහ මැතිවරණ‍ෙය්දී ජයග්‍රහණය කර එම රජයේ නිවාස හා ඉදිකිරීම් ඇමැතිවරයා ලෙසත්, පසුව 1978 දිවංගත ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ධුරයට පත් වූ පසුව රණසිංහ ප්‍රේමදාස මහතා එම රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙසත් කටයුතු කළා.

රණසිංහ ප්‍රේමදාස මහතා මොනරාගල දිස්ත්‍රික්කයේ මාලිගාවිල බුදු පිළිමය ද ඔසවා තබමින් රටේ ජනතාවගේ නිවාස ප්‍රශ්නය නිවාස ලක්ෂය, නිවාස දසලක්ෂය, නිවාස 15 ලක්ෂය යනුවෙන් මුළු රටේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන අන්දමට නිවාස, මංමාවත්, ඇළදොළ, ගංගා, වැව්, අමුණු ඉදිකිරීම් කටයුතු කළා. රටේ සෑම ජනකොටසකටම ඇහුම්කන් දීමේ පිළිවෙතක් රණසිංහ ප්‍රේමදාස මිය යන තෙක්ම අනුගමනය කළා."

 

මැදකොළඹ සමූහ

ආරියරත්න ගනේගොඩ

නව අදහස දක්වන්න