හමුදා-පොලිස් නිලධාරීන්ට මුහුණුෙපොත ඔස්සේ තර්ජනය කළ හිටපු හමුදා නිලධාරියා රිමාන්ඩ් | දිනමිණ

හමුදා-පොලිස් නිලධාරීන්ට මුහුණුෙපොත ඔස්සේ තර්ජනය කළ හිටපු හමුදා නිලධාරියා රිමාන්ඩ්

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ අධිකාරිලත් නිලධාරීන්ගේ නිවාසවලටත් හානි කරන ලෙස පවසමින් මුහුණුපොත ඔස්සේ තර්ජනය කර මහජනයා ප්‍රකෝපකාරී කිරීමට කටයුතු කළ පුද්ගලයා ලබන මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් ශෂිකා දිසානායක මහත්මිය ඊයේ (13) අධිකරණය නියෝග කළාය.

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දේශික කුරුප්පු මෙලෙස රක්ෂිත භාර ගත කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර ඉදිරි දින අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

අදාළ පුද්ගලයා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලුතිතන්වරයකු ලෙස කටයුතු කරමින් සිටියදී විනය විරෝධී හැසිරීම හේතුවෙන් 2020 ජනවාරි මස 29 වැනි දින යුද්ධ හමුදා සේවයෙන් පහ කළ අයකු බවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තහවුරු කර ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

සැකකරු 2010.10.29 වැනි දින යුද්ධ හමුදාවට බැඳි ඇති අතර, තම අණ දෙන නිලධාරියාගේ අත්සන ව්‍යාජ යෙදීමේ චෝදනාව යටතේ 2020.01.29 වැනි දින යුද්ධ හමුදා සේවයෙන් පහකර ඇති බවත්, පසුගිය දිනවල කලහකාරී ලෙස හැසිරෙමින් දේපොළ හානි කළ පුද්ගලයන් ආමන්ත්‍රණය කරමින් ඔහු සිය ෆේසුබුක් ගිණුමේ සටහනක් යොදා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ අධිකාරිලත් නිලධාරීන්ගේ නිවාස පිළිබඳව ද අවධානය යොමු කරන්නැයි ඉල්ලා තිබු බවත් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

සැකකරු නිට්ටඹුව පොලිසියට පැමිණ භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳ නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න