ක්‍රිකට් ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂ්‍යයක් | දිනමිණ

ක්‍රිකට් ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂ්‍යයක්

ඉන්දික පොල්කො­ටුව

අනූ හයේ මාර්තු 17 වැනිදා රාත්‍රිය ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවට එක් වුණු ස්වර්ණමය මොහොතයි. ඒ පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී ලොව විශිෂ්ට කැන්ගරුවන් පරදා ශ්‍රී ලංකා සිංහයන් ලද ලෝක කුසලාන ජයග්‍රහණය හේතුවෙනි. එම ජය ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කථාවේ එතෙක් මෙතෙක් ලැබූ ඉහළම ජයග්‍රහණයයි.කැප්ටන් කූල්ගේ හතරේ පහරත් සමඟින් එදින රාත්‍රියේ ගඩාෆි ක්‍රීඩාංගණයෙන් නැගුනේ එකම ඔල්වරසන් හඬය.ශ්‍රී ලංකා, ශ්‍රී ලංකා ලෙසින් නැගුණු හඬ දස දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ අත්පොළසන් මැද ලාහෝර් ගුවනට මුසු වූයේය.

ඒ අමතක නොවන මතකය යලි තීව්‍ර වූයේ පසුගියදා ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කැන්ගරුවන් පරදා දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා සිංහයන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණය හේතුවෙනි. මේ ජය ගඩාෆි ක්‍රීඩාංගණයේදී ලැබූ ජයග්‍රහණය මෙන් ලෝක කුසලාන ජයක් නොවූවද එය අපට දැනෙනුයේ ලෝක කුසලානයටත් එහා ගිය ජයග්‍රහණයක් ලෙසිනි.

රටත් රටේ ජනතාව මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවද හැම අතින්ම කඩා වැටී තිබුණු මොහොතක ලැබූ මේ ජය කළු වලාවක් මතින් පෑයූ රිදී රේඛාවකි.

කැන්ගරුවන් පරදා සිංහයන් ලෝක කුසලානය දිනූවද තිස් වසරක් පුරා මෙරටදී ඔස්ට්‍රේලියානු තරගාවලි ජයක් ලබා ගැනීමට අපට නොහැකි විණි.තරග පහකින් සමන්විත තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදී දස්සා ප්‍රමුඛ දක්ෂයෝ ඒ අමතක නොවන ජයග්‍රහණය පසුගියදා මවුබිමට ගෙන ආහ.

වසර ගණනාවක් අපි ක්‍රිකට්වලින් කඩා කඩා වැටී තිබිණි.එය මෑත අවුරුදු දෙක තුන තුළ කඩාවැටීමක් නොවේ.එනිසා මේ කඩා වැටීම කොවිඩ් වලට හෝ ආර්ථික අර්බුදයට බැර කළ නොහැකිය. ගෙවුණු වසර ගණනාව පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් දිගින් දිගටම කඩා වැටීම තුළ රටේ ජනයාට ක්‍රිකට් එපාම එපා කරන තැනට පත් කෙරිණි.

ලෝක සිතියමට අබ ඇටයක් තරම් කුඩා ශ්‍රී ලංකාව ලෝකයට ගෙන ගියේ ක්‍රිකට් හපන්නුය. එදා ලෝකයා අපව හැඳින්වූයේ සනත්ලගෙ මුරලිලාගේ රට ලෙසයි.ක්‍රිකට් නිසා රටට ලැබුණු ආකර්ෂණය සුළුපටු නොවේ. මේ තුළ රටට එකතු වුණු ඩොලර් ගණන පහසු ඉලක්කම් වලට ගත නොහැක. ඒත් පහුගිය වකවානුව පුරාවට රටට කන කොකා හැඬුවා සේම ක්‍රිකට් වලටත් ඒ හැඟීමම හිමි විය.

අද ආණ්ඩුව දවසින් දවස කැබිනට් ඇමතිවරුන් පත් කරනවා සේ පහුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලටද පත් කිරීම් සිදු කෙරිණි. ක්‍රිකට් පරිපාලනයට වගේම ක්‍රිකට් ක්‍රීඩාවටද දවසින් දවස අලුත් පත් කිරීම් සිදු කළේය. සංචාරයෙන් සංචාරයට පමණක් නොවේ තරගයෙන් තරගයට පවා ක්‍රීඩකයන් ,නායකයන් මාරු කළේය. මේ තුළ ක්‍රිකට් නැත්තටම නැති කරන මට්ටමට පත් විය. බොහෝ අය පෙන්වා දුන්නේ යළි ක්‍රිකට් ගොඩගත නොහැකි ලෙසයි. ඒ නිසා ගොඩක් අය ක්‍රිකට් අතහැර දා තිබුණා. මේ නිසා ගමේ කොල්ලො කුරුට්ටො පවා ක්‍රිකට් කියන එක අතහැරදා තිබුණා. ගහන ගහන තරගය පරදිනවා විතරක් නෙවේ ක්‍රිකට් ක්‍රීඩාවේ විනයත් පහුගිය කාලයේ බින්දුවටම වැටිලයි තිබුණේ. ක්‍රිකට් පරිපාලනය එක පැත්තකින් සූදුවක් වැනි තත්ත්වයකට ඇතමුන් ඇද දමා තිබෙන විට ඒ තුළ ක්‍රිකට් පරිපාලනයට වඩා ක්‍රියාත්මක වුණේ දේශපාලන පරිපාලනයයි. මේ තුළ එක එක්කෙනා එක එක්කෙනාට ඇඟිලි දිගු කරමින් එක එක චෝදනා කළා පමණි. ඒ කවුරුත් ක්‍රිකට් ගොඩ ගන්න උත්සාහ කළ බවක් නොපෙනුණි. එක එක ඇමතිවරුන් පත්වනවිට ඒ අයට ඕනෑ විදිහට ක්‍රිකට් ගහන්න යාමත් මේක වැටෙන්න තව පැත්තක හේතුවක් වුණා. පහුගිය කාලය පුරාවට ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් තරමටම ක්‍රීඩා ඇමැතිවරුන් පත් විය. මේ අයගෙන් ඇතැමුන්ට ක්‍රීඩාව පිළිබඳ අබමල් රේණුවක හෝ දැනීමක් නොතිබුණු බව පැහැදිළිය. සමහරුන්ට දැනුමක් තබා අවබෝධයක් හෝ නොතිබිණි. තව පැත්තකින් ක්‍රිකට් පරිපාලනයේ නිලවරණ රටේ මහා මැතිවරණ ලෙසිනි. මහා මැතිවරණවල ඇතැම් අපේක්ෂකයන් මැතිවරණ ව්‍යාපාරයට වැය කරන මුදලටත් වඩා ක්‍රිකට් පරිපාලනයේ ඇතමුන් තනතුරු වෙනුවෙන් මුදල් වැය කළ බව පෙනිණි.මේ සියල්ල තුළ ක්‍රීඩකයන් හැම අතින්ම කඩා වැටිණි. සියල්ලන්ගේ කඹ ඇදීම අවසානයට ක්‍රීඩකයන්ගේ කඩාවැටීමට හේතු විය.

අද ආයෙත් ක්‍රිකට් වසන්තය උදා වෙමින් තිබෙනවා.ඉඩෝරයට වැහි පොදක් නොව ධාරානිපාත වර්ෂාවක් සේ පහුගිය දිනවල ජයග්‍රහණ ක්‍රිකට් වලට නව සුබ පෙර නිමිති පෙන්වමින් තිබේ.සිංහයන්ගේ මේ ජයග්‍රහණයටත් වඩා අපට දැනේ.එනිසා මේ ජයග්‍රහණ ඉතිහාසයේ අන් කවර කවරදාටත් වඩා වටිනා ජයග්‍රහණ වෙමින් තිබේ. ගෝලීය ව්‍යසනය මෙන්ම ආර්ථික අර්බුද මධ්‍යයේ රට දිනෙන් දින කඩා වැටෙන පසුබිමක දිනෙන් දින හිමිවන ක්‍රිකට් ජයග්‍රහණ අපට හැම පැත්තෙන්ම ඉහළ ජයග්‍රහණයන්ය. එක පැත්තකින් දැවැන්ත මානසික කඩා වැටීමකට ලක්ව සිටින රටේ මිලියන සංඛ්‍යාත ජනයාට මේ ජයග්‍රහණ පුදුමාකාර මානසික සුවයකි. අනෙක් පැත්තට ඒ තුළ රටට හිමිවන එක ඩොලරයක හෝ වටිනාකම කියා නිම කල නොහැක්කකි.තවත් පැත්තකින් අහිමි වී ගිය සංචාරක ආකර්ෂණයද, ලොව පුරා රටවල් අප ගැන යොමු කරන සාධනීය අවධානයද අවැසි මොහොතක රට ලබන ඉහළ ජයග්‍රහණයන්ය.

කැන්ගරුවන්ගේ මේ සංචාරය අපේ ක්‍රිකට් ගමනේ හැරවුම් ලක්ෂ්‍යයක් කරගතහොත් එය රටේ ඉදිරි ගමන් මගටද නියත හැරවුම් ලක්ෂයක් වනු ඇත. රටේ ආර්ථික අර්බුදය තුළ ප්‍රමුඛ අභියෝගය ඩොලර් නිසාවෙන් මේ හැරවුම් ලක්ෂය එසේ මෙසේ ජයග්‍රහණයක් නොවේ. නව ක්‍රීඩා ඇමතිවරයාද මේ ගැන ඉහළ උනන්දුවකින් කටයුතු කරන බව පෙනෙන්නට තිබේ.එක එක කේෂ්ත්‍රයන්හි ප්‍රවීණයන්ගේ අදහස් ඒ තුළ වඩාත් සැලැකිල්ලට ගැනෙන බවක් ⁣පෙනේ.ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට මෙන්ම පරිපාලනයට පරිපාලනය කිරීමට නිදහස දී එයට දේශපාලන ඇඟිලි ගැසීම් නොවන්නේනම් ක්‍රිකට් ගොඩ ගැනීම අපට අපහසු නොවේ.ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ පහුගිය දින කිහිපයේ ඒ වෙනුවෙන් සාධනීය මගක ගමන් කරනු දකින්නට ලැබිණි.එක්තරා ක්‍රීඩා ඇමතිවරයකු ක්‍රිකට් හැඳින්වූයේ මාෆියාවක් ලෙසය. ක්‍රිකට්වල එක එක විදිහේ දේවල් අහන්න දකින්න ලැබෙන විට ඒ කියමන අපට බැහැර කරන්නට අමාරුයි.හැබැයි ක්‍රීඩාව එහෙම මාෆියාවක් තරමට වැටුණු එකට ක්‍රිකට් පරිපාලනය වගේම ඒවාට සම්බන්ධ දේශපාලඥයන්ද වගකිව යුතුමය. අනෙක් පැත්තට ක්‍රිකට් ගොඩනගන්න කැපවුණු ගාමිණී දිසානායකලා වගේ දේශපාලඥයන් ගැනද අපට අමතක කළ නොහැකිය. එනිසා මේ අසීරුම මොහොතේ ක්‍රිකට් ගොඩගන්න නව ක්‍රීඩා ඇමැතිවරයා තමන්ගෙ වගකීම තේරුම් බේරුම් ගෙන ඉටු කළහොත් ගාමිණී දිසානායකලා මෙන් ඔහුද ක්‍රිකට් තුළ අමරණීය මතකයක් වනු ඇත.ක්‍රීඩාවෙන් දේශපාලන අතපෙවීම් අතුගා දමා ක්‍රීඩකයන්ට අවැසි නිදහස මේ තුළ උදා කර දිය යුතුය.බොහෝ විට ක්‍රීඩාවට දේශපාලන අතපෙවීම් එකතු වන හැම විටම ඒ ඇරඹෙන්නේ ක්‍රීඩාවේ කඩා වැටීමයි.කැන්ගරුවන්ගේ සංචාරයෙන් උදාවී ඇති ජය මාවත තව තවත් හෙළි පෙහෙළි කරමින් දේශපාලනයෙන් තොර ජයග්‍රාහී ගමනක යන්නට ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අද උදාවී ඇති ඇරඹුම හැරවුම් ලක්ෂයක් කරදීමට බලධාරීන් වගබලා ගත යුතුය.

නව අදහස දක්වන්න