ඉඩමක සරුවට වැඩුණු ගංජා ගස් 9 ක් අත්අඩංගුවට | දිනමිණ

ඉඩමක සරුවට වැඩුණු ගංජා ගස් 9 ක් අත්අඩංගුවට

හොඳින් වැඩුන අඩි 6කට වඩා උසින් යුතු ගංජා ගස් 9ක් අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය පොලිසියට පසුගිය 07 වැනිදා පස්වරුවේ සමත්ව තිබේ.

කුලියාපිටිය නගරයට නුදුරු ගයියාල අලුත්වත්ත නැමති ප‍්‍රදේශයේ වෙනත් වගාවක් සිදුකරන මුවාවෙන් මෙලෙස ගංජා වවමින් සිට එසේ අත්අඩංගුවට පත්වූයේ අදාළ ගොවිබිමේ හිමිකරු වූ 28 හැවිරිදි පුද්ගලයෙකි.

ලද තොරතුරකට අනුව වගාබිමේ වෙනත් පැත්තකින් පැමිණ සෝදිසි කර බලා තිබූ පොලිස් කණ්ඩායමට පවා එසේ ගංජා වගා කොට ඇති බව නොපෙනෙන අන්දමින් වටේ වෙනත් ගස් වර්ගවලින් ආවරණය කර තිබී ඇත. කෙසේ හෝ ලද තොරතුර අනුවම පොලිසිය ඉඩමට ඇතුළුවී පරීක්‍ෂා කිරීමේදී ගස් කිහිපයකුත්, පසුව කණ්ඩායම වශයෙන් ගොස් කළ සොයා බැලීමේදී අනෙකුත් ගස් ද සොයා ගැනීමට හැකිව ඇත.

ගංජා වවන ලද ඉඩමේ හිමිකරු හා උගුල්ලා ගත් අදාළ ගංජා ගස් තොගය පොලිසිය සිය බාරයට ගෙන තිබූ අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කුලියාපිටිය - මෙවිරු ධනාන්

නව අදහස දක්වන්න