විවෘත මුහුදු පිහිනුම් ශූරතා ඩිලන්කට සහ ෂෙහාරාට | දිනමිණ

විවෘත මුහුදු පිහිනුම් ශූරතා ඩිලන්කට සහ ෂෙහාරාට

මෙරට පැරණිතම මුහුදු පිහිනුම් තරගාවලියක් වන අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් සැතපුම් දෙක විවෘත මුහුදු පිහිනුම් තරගාවලියේ පිරිමි ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවේ ඩිලන්ක ෂෙහාන් දිනාගත් අතර, කාන්තා ශූරතාව අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලේ ෂෙහාරා අනුහන්සි දිනා ගත්තාය. අම්බලන්ගොඩ තානායම අසල වෙරළ තිරයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් ක්‍රීඩා මණ්ඩලයේ සංවිධානයෙන් විදුහල් කනිෂ්ඨ ආදී ශිෂ්‍ය සංගමයේ සම්බන්ධීකරණයෙන් 48 වැනි වරට පැවති පිහිනුම් තරගාවලියට දිවයිනේ පිහිනුම් ක්‍රීඩකයන් 169ක් හා ක්‍රීඩිකාවෝ 36ක් සහභාගි වුහ.

පිරිමි තරගයේදී ඩිලන්ක මිනිත්තු 36:16.85ක කාලයක් වාර්තා කළ අතර,

මිනිත්තු 36:57.11කින් තරගය නිමා කළ කොළඹ සාන්ත ජෝසප් විදුහලේ ආකාශ් ප්‍රභාශ්වර දෙවැනි ස්ථානයත්, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලේ නිරෝද තීක්ෂණ (මි. 37:00.98) තෙවැනි ස්ථානයටත් පත් වූහ. කාන්තා තරගය ජයගත් ෂෙහාරා තරග නිමා කිීමට මිනිත්තු 42:34.68කින් තරගය නිමා කරද්දී අම්බලන්ගොඩ ප්‍රජාපතිගෝතමී බාලිකාවේ පී.ඩී. හෙසරා ද සිල්වා (මි. 42:38.25) සහ කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ අමායා අසුල් (මි. 42:47.27) දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත් වූහ.

 

කරන්දෙණිය සමූහ

අනුරාධ ප්‍රියදර්ශන

නව අදහස දක්වන්න