ජවිපෙට ඔළුවක් තියෙනවා නම් ඔහොම කියන්නෙ නෑ | දිනමිණ

ජවිපෙට ඔළුවක් තියෙනවා නම් ඔහොම කියන්නෙ නෑ

අවුරුදු කිහිපයකට පසු නිල අගයට වඩා වෙළෙඳපොළේ ඩොලරයේ මිල අඩු වී තිබෙන බව පැහැදිලිව පෙනෙන බවත්, ජේවීපියට ඔළුවක් තිබේ නම් එසේ පවසන්නේ නැති බවත් මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් රුපියල ශක්තිමත් වීම බොරුවක් යැයි පැවසීමට පිළිතුරු දෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා:

“ජනතා විමුක්ති පෙරමුණ දිගටම කිව්වානේ අයි.එම්.එෆ් එක කියන්නේ බොරුවක්. අයි.එම්.එෆ් දෙන්නෙත් නැහැ, ආණ්ඩුවට සලකන්නේ නැහැ, වෙන රටකින් උදව්වක් නැහැ, ඔය ඔක්කොම බොරු වුණා නේ. රුපියල බොරුවට ශක්තිමත් කරන ක්‍රමවේදයක් නැහැ නේ.

“පළවෙනි වතාවට අවුරුදු කිහිපයකට පස්සේ අපි දකිනවා සාමාන්‍ය වෙළෙඳපොළ මිල අඩුයි නිල අගයට වඩා ඩොලරයේ. කලින් තිබුණේ ඩොලරයේ නිල අගයට වඩා සාමාන්‍ය වෙළෙඳපොළ ඉල්ලුම් මිල වැඩියෙනුයි.

“අයි.එම්.එෆ් එකත් එක්ක හඳුන්වා දී ඇති වැඩසටහනට අනුව ඇති වී ඇති විශ්වාසනීය භාවය මේකට හේතුවයි. ජේ.වී.පී එකට ඔලුවක් තියෙනවානම් එහෙම කියන්නේ නැහැ නේ. එයාලගේ දැක්ම ගැන අපි කනගාටු වෙනවා.

“මේ රට අර්බුදකාරී තැනකට ගියාම අර්බුදයෙන් තවත් අර්බුදයකට යන්න මඟ පාදනවා මිසක් අර්බුදයෙන් මිනිස්සු ගොඩ ඒමට ජේ.වී.පී.එක මඟ පෑදුවේ නැහැ.

“රුපියල ශක්තිමත් වුණේ රටේ විශ්වසනීය භාවය වැඩි වීමෙන්. සංචාරක ව්‍යාපාරයෙන් වෙනත් මූල්‍යායතනවලින් ලැබෙන සහයෝගය, විදේශ ප්‍රේෂණයන් ගේ වැඩිවීම් අනුව තමයි විවෘත වෙළෙඳපොළේ ඩොලරයේ මිල තීන්දු වෙන්නේ.

“රුපියල කෙටි කාලයක් තුළ වේගයෙන් කඩා වැටීමත් රුපියල කෙටි කාලයක් තුළ වේගයෙන් ශක්තිමත් වීමත් හොඳ නැහැ. මේ පිළිබඳව අපේ මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවන මහා බැංකුව අවධානයෙන් මූල්‍ය කටයුත්ත කරනවා. මහා බැංකුව මුල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවනවා වගේම රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය මහා භාණ්ඩාගාරය විසින් මෙහෙයවනවා. රුපියල ශක්තිමත් වීමට අපේ සංචිත වැඩිවීමත් බලපා තිබෙනවා.

රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න