අනුනායක පදවියෙන් පුද ලබන අතිගරු මකුරුප්පේ සෝමාලංකාර මාහිමිපාණන් වහන්සේ | දිනමිණ

අනුනායක පදවියෙන් පුද ලබන අතිගරු මකුරුප්පේ සෝමාලංකාර මාහිමිපාණන් වහන්සේ

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදාන මහෝත්සවය

බණ්ඩාරගම කිඳෙල්පිටිය ශ්‍රී මහා චේතියාරාම පුරාණ විහාරය, හෙරළියාවල ශ්‍රී සුධර්මාරාම පුරාණ මූල මහා විහාරය, කඩුවෙල ගැමුණුපුර ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරත්‍රයාධිපති බණ්ඩාරගම ජාතික පාසලේ විශ්‍රාමික විදුහල්පති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මකුරුප්පේ සෝමාලංකාර මහා ස්ථවිරයන් වෙත සම්මත කරන ලද “ඉන්ද්‍රසර වංශාලංකාර ධර්මකීර්ති ශ්‍රී විමල සංඝරක්ඛිත” යන ගෞරව නාම සම්මුතිය සහිත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රිධර්ම මහා සංඝ සභාවේ අනුනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ මහෝත්සවය හෙට - එනම් 2023 මාර්තු මස 18 වැනි දින පස්වරු 3.00ට කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරිමංගල උපෝසථාගාරයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ශ්‍රී මහා විහාර වංශාලංකාර විමලකීර්ති ශ්‍රී ධම්මාලෝක සාහිත්‍යසූරී ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාරාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම නිමිත්තෙනි.

මහා විහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අභිනව අනුනායක පදවියෙන් පිදුම් ලබන කිඳෙල්පිටිය ශ්‍රී මහා චේතියාරාමය ඇතුළු විහාර ගණයේ අධිපති විශ්‍රාම ලත් විදුහල්පති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිගරු මකුරුප්පේ සෝමාලංකාර මාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානය හෙට (18) සිදු කිරීමට නියමිතය.

අභිනව අනුනායක පදවියෙන් පුද ලබන මකුරුප්පේ සෝමාලංකාර මාහිමිපාණන් වහන්සේ 1960 ජුනි මස 15 වැනි දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොහොන කෝරළයේ දියතිලක පත්තුවේ මකුරුප්ප ග්‍රාමයේදී විජයබාහු මුදියන්සේලාගේ බිසෝමැණිකේ කුමාරිහාමි හා වික්‍රමසිංහ මුදියන්සේලාගේ ලොකුබණ්ඩාර නිලමේතුමා මවුපියන් කොට උපත ලැබූහ.

පුරාකෘත ධන්‍ය පුණ්‍ය මහිමය හේතුවෙන් 1974 ජුනි මස 26 වැනි දින හඟුරන්කෙත වදවල විමලාරාමයේදී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත විද්‍යා විශාරද වේඬරුවේ අනෝමදස්සී අනුනාහිමි රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය හඟුරන්කෙත විමල අනුනාහිමි සද්ධර්මකීර්ති ශ්‍රී රඹුක්වැල්ලේ සෝරත නාහිමි සහ විනයාචාර්ය හඟුරන්කෙත ඤාණාලෝක නාහිමි යන ආචාර්යපාදයන් වහන්සේලාගේ ශිෂ්‍යවරයකු ලෙස පැවිදි බව ලැබූහ.

කිඳෙල්පිටිය ශ්‍රී මහා චේතියාරාම විහාරානුබද්ධ ශ්‍රී සීලක්ඛන්ධ පිරිවෙනින් මූලික අධ්‍යාපනය හදාරා අනතුරුව මාදන්වල ශ්‍රී ධර්මෝදය පිරිවෙනින් උසස් අධ්‍යාපනය සිදුකොට සපිරුණු විසි වයස් ඇතිව 1980 ජුනි මස 17 වැනි දින කෝට්ටේ රාජමහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් 1984 වර්ෂයේදී ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා 1985 වසරේදී රත්නපුර පනාමුර පර්ෂද මූලස්ථ විද්‍යාලයෙන් ගුරු සේවයට පිවිසි අනුනායක මාහිමිපාණන් වහන්සේ පිළිවෙළින් රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති උපාධි හා අධ්‍යාපන ඩිප්ලෝමා ජපන් භාෂා ඩිප්ලෝමා, දෙමළ භාෂා ඩිප්ලෝමා විදුහල්පති ශ්‍රේණි විභාග ආදිය සම්පූර්ණ කළහ. දුෂ්කර ගුරු සේවය නිම කළ උන්වහන්සේ 1989 වර්ෂයේ බණ්ඩාරගම ජාතික පාසලේ සේවයට එක්ව එහි නියෝජ්‍ය විදුහල්පති ධුරය ද හොබවා විදුහල්පති හිමියන් ලෙස වසර ගණනාවක් සේවය කොට 2020 වර්ෂයේදී 35 වසරක ගුරු සේවයෙන් විශ්‍රාම ලැබූහ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයානුබද්ධ දහම් සරසවියේ කථිකාචාර්යවරයකු ලෙස ද බොහෝ කලක් කටයුතු කර තිබේ.

1991 ජුනි මස 23 වැනි දින උපතින් 31 වන වියේදීම අරුග්ගොඩ ශ්‍රී ඉන්දසරාරාම මහා විහාර පාර්ශ්වය නියෝජනය කරමින් කර්මවාගාචාර්යයන් වහන්සේ නමක ලෙස උපසම්පදා කාරක සභාවට පත් වී 2006 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ කර්මාවාගාචාර්ය ධුරයට ද 2011 වර්ෂයේ සිට උපසම්පදා ලේඛකාධිකාරී වශයෙන් වසර 11ක් කටයුතු කළහ.

එසේම විනිශ්චය කාරක සභික, විනය විභාග පරීක්ෂක, තේරීම් කාරක සභික අරුග්ගොඩ විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරි යන තනතුරු රාශියක් ගත වූ 33 වසර පුරාවට අතිගරු අනුනාහිමිපාණන් වහන්සේ හෙබවූහ.

කිඳෙල්පිටිය ශ්‍රී මහා චේතියාරාම පුරාණ විහාරය හෙරලියාවල ශ්‍රී සුධර්මාරාම පුරාණ මූල මහා විහාරය කඩුවෙල ගැමුණුපුර ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරස්ථාන තුනෙහි ආධිපත්‍යයත් වදවල ශ්‍රී විමලාරාමාධිකාරී ධුරයත් හොබවමින් එම විහාරස්ථානයන්ට අනුබද්ධ දහම් පාසල් දායක සභා ස්වේච්ඡා සංවිධාන ආදී අනුබද්ධ ආයතන මැනවින් මෙහෙයවති. දායක කාරකාදීන්ගේ මෙන්ම ප්‍රදේශයේ සියලු ආගමික සාමාජික කටයුතු නොපිරිහෙළා ඉටු කරති.

විහාරස්ථානයන්හි අනාගත පැවැත්ම වෙනුවෙන් ශාස්ත්‍රවේදී දිඹුල්කුඹුරේ ඤාණරතන ශාස්ත්‍රවේදී වදවල චන්දිම, අලවත්තේගම සමිත යනාදී ශිෂ්‍ය පුත්‍රයන් රැසක් සසුන්ගත කරමින් ද අතිවිශාල ශාසනික මෙහෙයක් ඉටු කර ඇත.

ස්වකීය ශිෂ්‍යයන් පැවිදි කිරීමෙන් අනතුරුව කෙටි කලක් හෝ වත්පිළිවෙත පුහුණු කිරීම සඳහා සුදුසු ස්ථානයක් ලෙස ප්‍රාදේශීය මහා සංඝයාගේ අතිශය සම්භාවනාවට පත් වූ ස්ථානය නම් කිඳෙල්පිටිය ශ්‍රී මහා චේතියාරාමයයි. එසේ අනුනාහිමි ආශීර්වාදය ලත් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, බෙල්ලන්විල සංඝරතන හිමි, ලෙල්ලාගොඩ සීවලීවංස හිමි, රත්මල්කඳුරේ සුජාත හිමි ඇතුළු අන්තේවාසික ශිෂ්‍ය පුත්‍රාදීන් රැසක් සසුනඹර හොබවති.

අප අතිගරු අනුනායක මාහිමිපාණන් අක්තපත්‍ර ලබන මෙම අනුස්මරණීය අවස්ථාවෙහි ඉමහත් සතුටක් ලබනුයේ උන්වහන්සේගේ ආචාර්යෝත්තම වදවල ශ්‍රී විමලාරාමාධිපත නුවරඑළිය මහ දිසාවේ ප්‍රධාන සංඝනායක විනයාචාර්ය සද්ධර්ම කීර්ති ශ්‍රී විමල හඟුරන්කෙත ඤාණාලෝක නාහිමිපාණන් වහන්සේ වෙති.

වසර 92ක් වැනි දීර්ඝ ආයුවින්දනයක් කෙරෙමින් වැඩ වෙසෙන උන්වහන්සේට ද රත්නත්‍රයේ ආශීර්වාදය හා ශාසන මාමක සියලු දෙව් රැකවරණ ප්‍රාර්ථනා කරමි.

යථෝක්ත උදාර ශාසන මෙහෙවරෙහි නිරත අතිගරු මකුරුප්පේ සෝමාලංකාර මාහිමිපාණන් වහන්සේ වෙත කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ කල්‍යාණි කාරක සභාවේ සමානච්ඡන්දයෙන් ‘ඉන්දසර වංශාලංකාර ධර්මකීර්ති ශ්‍රී විමල සංඝරක්ඛිත’ යන ගෞරව නාමය සහිතව උතුම් අනුනායක පදවිය පිරිනමන ලදි.

එකී පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය උන්වහන්සේ වෙත පිරිනැමීමේ පුණ්‍යෝත්සවය (18) දින පස්වරු 3.00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී අතිගරු ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් ඇතුළු සම්භාවනීය ප්‍රභූන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර, අභිනව අනුනායක මාහිමිපාණන් වහන්සේ පිළිගැනීමේ උත්සව සභාව අනිද්දා (19) පස්වරු 3.00ට ත්‍රෛනිකායික ගරුතර මහා සංඝරත්නයේ සහ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරතුමාගේ සහභාගිත්වයෙන් කිඳෙල්පිටිය ශ්‍රී මහා චේතියාරාමයේදී පැවැත්වේ. 19 වෙනි දින රාත්‍රී ආශීර්වාදාත්මක පිරිත් දේශනාව හා සඟසතු දානමය පිංකම 20 වන දින උදෑසන හෙරළියාවල ශ්‍රී සුදර්මාරාම පුරාණ මූල මහා විහාරස්ථානයේදී ද පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

අභිනව අනුනායක මාහිමිපාණන් වහන්සේට රත්නත්‍ර‍ෙය් ආශීර්වාදය හා සියලු දෙව් රැකවරණ සැලසේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා ලේඛකාධිකාරි ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය අරුග්ගොඩ විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය වල්ගම රතනසිරි අභිධාන, කොළඹ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ස්ථවිර


කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්‍ම මහා සංඝ සභාවේ මහානායක මාහිමිපාණන්ගේ ශුභාශිංසනය

“ධම්මාරාමෝ ධම්මරතෝ
ධම්මං අනුවිචින්තියං
ධම්මං අනුස්සරං භික්ඛු
සද්ධම්මා න පරිහායති”

‘ධර්‍මයෙහි ඇලුණු ධර්‍මයට ළැදි දහමට අනුව සිතන දහම සිහිකරන භික්‍ෂුව සදහමින් නොපිරිහේ” යන බුදු වදනට අනුව තම ජීවිතය සකසා ගත් අප මහා සංඝ සභාවේ උතුම් අනුනායක පදවියකින් සම්මානිත කිඳෙල්පිටිය ශ්‍රී මහා චේතියාරාම මහා විහාරය ඇතුළු විහාරත්‍රයාධිපති, බණ්ඩාරගම ජාතික පාසලේ විශ්‍රාමික විදුහල්පති, දහම් සරසවියේ කථිකාචාර්‍ය්‍ය, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ගරු මකුරුප්පේ සෝමාලංකාරාභිධාන මහා සථවිරයන් වහන්සේගේ එම අනුනායක පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ශුභාශිර්වාද පණිවිඩයක් නිකුත් කරන්නේ හදපිරි සතුටිනි.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි, සාමග්‍රි ධර්‍ම මහා සංඝ සභාවට අතිවිශිෂ්ට සේවාවක් සිදු කරන ලද රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති විද්‍යා විශාරද අතිගරු වේඩරුවේ අනෝමදස්සී අනුනායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, ත්‍රිපිටකාචාර්‍ය්‍ය අතිගරු හඟුරන්කෙත ශ්‍රී විමලාභිධාන අනුනායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ, ජ්‍යෙෂ්ඨ කර්‍මවාතාචාර්ය ගරු රඹුක්වැල්ලේ සෝරත නායක ස්වාමින්‍ද්‍රයන් වහන්සේ හා කල්‍යාණි කාරක සභික ධූරයක් දැරූ විනයාචාර්‍ය්‍ය ගරු හඟුරන්කෙත ඤාණාලෝක නායක සවාමීන්‍ද්‍රයන් වහන්සේලාගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යරතනය වන අභිනව අනුනායක ස්ථවිරයන් වහන්සේ උපතින් හැටතුන් වසරක් ද පැවිද්දෙන් හතළිස් නව වසරක් ද, උපසම්පදායෙන් හතළිස් තුන් වසරක් ද, කර්‍මවාගාචාර්‍ය්‍ය ධුරයට පත්ව දෙතිස් වසරක් ද සපුරා සිටිති. සංඝ සභාවේ විවිධ තනතුරු දැරූ සංඝ සභාවේ වැදගත් තනතුරක් වන උපදසම්පදා ලේඛකාධිකාරී ධුරය එකොළොස් වසරක් දරමින් ගිහි-පැවිදි සැම දෙනාගේ සිත්මල් පොබයමින් අප උතුම් සංඝ සභාවේ ප්‍රගමනය වෙනුවෙන් සිදු කරන ලද ප්‍රශංසනීය සේවාව ද අගය කර සිටිමි.

උසස් අධ්‍යාපන ආයතන ගණනාවකින් ම ධර්‍ම-ශාස්ත්‍රීය ඥානය පෝෂණය කරගත් උන්වහන්සේ බණ්ඩාරගම ජාතික පාසලේ ආචාර්‍ය්‍යවරයෙකු, නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු හා ජාතික පාසල් විදුහල්පතිවරයෙකු හා කීර්තිමත් ධර්‍මදේශකයන් වහන්සේ නමක් ලෙස ද ප්‍රශස්ත සේවාවක් සිදු කර ඇත. අප කෝට්ටේ මහා සංඝ සභාවේ ශාසනික සම්ප්‍රදායන් මනාකොට ආරක්‍ෂා කර ගනිමින් උදාර ලෝක ශාසනික සේවාවේ නිරත වීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවායි ආශිංසනය කරම්හ.

ශාසනස්ථිතිකාමී,
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්‍ම මහා සංඝ සභාවේ
අතිගරු මහානායකශ්‍රී මහා විහාරවංශාලංකාර
විමලකීර්ති ශ්‍රී ධම්මාලෝක අතිගරු ඉත්තෑපාන
ධම්මාලංකාර මහානායක ස්ථවිර


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන්ගේ ශුභාශිංසනය

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අතිපූජ්‍ය අනුනායක පදවියෙන් පිදුම් ලැබූ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද මකුරුප්පේ සෝමාලංකාර නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේට එම පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් පවත්වනු ලබන උත්සව පින්කම් මාලාවට සමගාමීව නිකුත් කරනු ලබන උපහාර සංග්‍රහය වෙනුවෙන් ආශීර්වාද පණිවිඩයක් නිකුත් කරනු ලබන්නේ බලවත් සන්තෝෂයෙනි.

අප හිතවත් සෝමාලංකාර අනුනායක ස්ථවිර පාදයන් වහන්සේ පිළිබඳ කලක සිට දැන හැදුනුම්කමක් අප තුළ පවතී. උන්වහන්සේ කවදත් භික්‍ෂු ජීවිතයට ගරුකල ඉතා ශික්‍ෂාකාමි යතිවරයන් වහන්සේ නමක් වශයෙන් අප සිත් තුළ සටහන් වී ඇත. යහපත් ගුරු ඇසුරක් ලැබීමත්, අධ්‍යාපනය තුළින් ලැබූ ශික්‍ෂණයක් නිසා උන් වහන්සේ කාගේත් සිත් දිනාගෙන ගෞරවාන්විතව තම පැවිදි ජිවිතය සකස් කරගෙන කටයුතු කරන අතර, පාසල් සේවය තුළින් දූ දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කිරීම සඳහා මහත් සේ කැපවෙමින් ක්‍රියා කළ ස්වාමීන් වහන්සේ නමකි. වැදගත් පැවිදි සිසු පිරිසක් හදා වඩා සකස්කොට ශාසන චිරස්ථායි බව ඇති කිරිමටද මහත් උත්සාහයක් දරා ඇත. විහාරස්ථාන කිහිපයකම අනුශාසකත්වය දරමින් ස්වකීය දායක කාරකාදීනට අනුග්‍රහ දක්වන අතර, දහම් පාසල් සේවය තුලින් බෞද්ධ දූ දරුවන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කිරීමට කටයුතු කර ඇති ස්වාමීන් වහන්සේ නමකි.

ස්ව නිකාය පාර්ශ්වය වෙනුවෙන්ද විවිධ නිලතල දරමින් ක්‍රියා කොට ඇති අපේ සෝමාලංකාර නායක ස්ථවිර පාදයන් වහන්සේ පුවත් පත් සඟරා ආදියට ලිපි සැපයීමෙන්ද, ධර්ම ග්‍රන්ථ සංස්කරණය කිරීමෙන්ද ගැඹුරු හරබර ධර්ම දේශනා තුළින් ද වටිනා ධර්මශාස්ත්‍රීය සේවා රැසක් සමාජය වෙනුවෙන් ඉටු කර ඇත.

උන් වහන්සේගේ ආදර්ශමත් පැවිදි ජිවිතයත් වටිනා ධර්ම- ශාස්ත්‍රීය සේවයත්, නිකායික සේවයත් අගය කරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි

සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව මගින් “ඉන්දසර වංශාලංකාර ධර්ම කීර්ති ශ්‍රී විමල සංඝරක්‍ඛිත” යන ගෞරව නාම සම්මුතිය සහිතව අනුනායක පදවිය පිරිනමා ගෞරව උපහාර දක්වන මෙම වැදගත් අවස්ථාවේ තෙරුවන් සරණින් දෙවි රැකවරණින් අතිපූජ්‍ය මකුරුප්පේ සෝමාලංකාර අනුනායක ස්ථවිර පාදයන් වහන්සේට නිදුක් නීරෝගි චිරජිවනය සැලසේවා‘යි ඉත සිතින් ආශිර්වාද කරම්හ.

සුඛී දීඝායුකො භව...!
මෙයට ශාසනහිතකාමි,

ශාසන වංශාභිධජ සද්ධම්මජෝතික
අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මහා ස්ථවිර


අරුග්ගොඩ ශ්‍රී ඉන්‍ද්‍රසරාරාම මහා විහාර පාර්ශ්වයේ උපාධ්‍යාය ප්‍රධාන සංඝනායක මාහිමිපාණන්ගේ ශුභාසිංශනය

කිඳෙල්පිටිය පණ්ඩිත හාමුදුරුවෝ නමින් ලොකු කුඩා කා අතරත් ජනාදරයට ලක් වී සිටින කිඳෙල්පිටිය චේතියාරාමය හෙරලියාවල සුධර්මාරාමය මාලඹේ සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරත්‍රයාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ගරු මකුරුප්පේ සෝමාල'ඞකාර මහා ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ වෙත කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහ සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් අනුනායක පදවියක් පිරිනමා ඇත.

කන්ද උඩරට වැදගත් පරපුරක් ජන්ම ලාභය ලබා කුඩා අවදියේදී ම ප්‍රවෘජ්ජා භූමියට ඇතුළත් වු උන් වහන්සේ ආචාර්ය පාදයන් වහන්සේලා වූයේ හඟුරන්කෙත ශ්‍රී විමල අනුනායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ සහ රඹුක්වැල්ලේ ශ්‍රී සෝරත නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ ය.

කිඳෙල්පිටිය සීලක්ඛන්ධ පිරිවෙණේ මූලික අධ්‍යාපනය ලැබූ සෝමාල'ඞකාර ස්වාමීන් වහන්සේ පසුව මාදන්දවල ධර්මෝදය පිරිවෙණේ අධ්‍යාපනය ලබා ප්‍රාචීන පණ්ඩිත විභාගයෙන් ද සමත් වූහ. උසස් අධ්‍යාපනය සඳහා කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ සෝමාල'ඞකාර ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ එහිදී ගෞරව ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති විභාග වලින්ද උසස් ලෙෂ සමත්වූහ.

අනතුරුව පනාමුරේ පර්ෂද මූලස්ථ මහා විද්‍යාලයෙන් තම ගුරු ජීවිතය ආරම්භ කළ සෝමාල'ඞකාර හාමුදුරුවෝ පසුව තම ගම් ප්‍රදේශයේ බණ්ඩාරගමට පැමිණ බණ්ඩාරගම ජාතික පාසලේ විදුහල්පති ලෙස විශිෂ්ට සේවාවක් සිදු කොට විශ්‍රාම ලැබූහ.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාවේ කර්මවාචාර්්‍ය ධූරයට පත් වු උන් වහන්සේ වසර එකොළහක් උපසම්පදා ලේකම් ධුරය දරමින් සංඝ සභාවට විශිෂ්ට සේවාවක් සිදු කළහ.

දැන උගත් පැවිදි ශිෂ්‍ය පිරිසක් ඇතිකර ඇති උන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ දියුණුවට සිදු කර ඇති සේවාව අති විශිෂ්ටය. උන් වහන්සේ සිදු කරන ආගමික හා ශාසනික සේවාව උසස් ලෙස ඉටුකිරීමට මෙම උතුම් පදවියද හේතු වේවායි ආශිංශනය කරමි.

අරුග්ගොඩ විහාර පාර්ශ්වයේ උපාධ්‍යාය සහ ප්‍රධාන සංඝ නායක කරන්නාගොඩ අමරවංශ නාහිමි


කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්‍ම මහා සංඝ සභාවේ අනුනායක මාහිමිපාණන්ගේ ශුභාශිංසනය

මහාවිහාර වංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රිධර්‍ම මහා සංඝ සභාවේ අභිනව අනුනායක ධුරයට රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අතිගරු මකුරුප්පේ ශ්‍රී සෝමාලංකාරාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ පත්වීම අපගේ අතිශය සන්තෝශයට හේතුවකි.

වයස අවුරුදු 14 දී ප්‍රවෘජ්ජා භූමියට පත්ව විසිවයස් සම්පූර්ණ වීමෙන් පසු උතුම් උපසම්පදා ශීලය ලැබ භික්‍ෂුවක විසින් ලැබිය යුතු සාම්ප්‍රදායික අධ්‍යාපනය ද අනතුරුව පිරිවෙන් අධ්‍යාපනය හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද ලැබ රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රවේදී, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා ආදී උපාධි ලබා භික්‍ෂුවක විසින් තම ජීවිතය තුළ ගොඩනගාගත යුතු අධ්‍යාපන ශික්‍ෂණය මෙන්ම ධර්ම විනය ශික්‍ෂණයෙන් ද ප්‍රවීණත්වට පත්ව ශාසනික උන්නතිය උදෙසා මෙන්ම සමාජ සුභසිද්ධිය උදෙසා ඇප කැප වී කරන සංඝ නේතෘත්‍වයක් ගොඩනගාගත් මාහිමිනමක් ලෙස අතිගරු මකුරුප්පේ අනු නාහිමියන් හැඳින්විය හැකිය. උන්වහන්සේ වෙත ලද පැවිදි සඟ පරපුර ජීවිතයේ ලද වටිනාම සම්පත මෙන්ම ආශිර්වාදය ලෙස ද ම දකිමි. ධර්‍ම විනයෙන් මෙන්ම නූතන දැනුම් සම්භාරයෙන් අග්‍රේශවරව වැඩසිටි අප සංඝසභාවේ මෙන්ම සමාජයේ අතිශය සම්භාවනාවට පාත්‍රව ආදර්ශ සම්පන්නව කටයුතු කළ විද්‍යා විශාරද අතිගරු වේඬරුවේ ශ්‍රී අනෝමදස්සි අනුනායක මාහිමි, අතිගරු හඟුරන්තෙක ශ්‍රී විමල අනුනාහිමි, ගරු රඹුක්වැල්ලේ සෝරත නාහිමි වැනි මෙරට වැඩ සිටි ශ්‍රේෂ්ඨ මහා යති උතුමන්ගේ අන්තේවාසික හා සද්ධිවිහාරිකයෙකු ලෙස ගත කිරීම තුළින් ලද ශික්‍ෂණය මකුරුප්පේ නාහිමියන්ට නිම කළ නොහැකි තරමේ ආශිර්වාදයක් වූ බව ම සිතමි.

ප්‍රායෝගික දැනුමෙන් පූර්ණත්වයට පත්ව ඇති අපේ සෝමාලංකාර අනුනාහිමියෝ කවර තරාතිරමේ කෙනෙකු වුවද දමනය කර ගත හැකි විශිෂ්ට ගුණාංගයන්ගෙන් හෙබි මහ තෙරවරුන් වහන්සේ නමකි. අනුනායක තනතුරකට ගැලපෙන ශ්‍රමණ සාරුප්ප්‍යය අනූනව ගොඩ නගාගෙන ඇති මහතෙර නමකි. සිල්වත්, ගුණවත් බවෙන් හා ආදර්ශ සම්පන්නව වැඩ සිටින උතුමෙකි. උන්වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ යති උතුමෙකු අප මහා සංඝසභාවේ අනුනායක ධුරයට පත්වීම පිළිබඳව අප හද තුළ ඇත්තේ බලවත් ප්‍රීතියකි තෙරුවන් පිහිටෙන් තව බොහෝකල් අප සංඝසභාවට වැඩ වැඩීමට හා සසුන් මග ප්‍රතිභාවමත් කිරීමට උන්වහන්සේට රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවායි ආශිංසනය කරමි.

අග්ගමහා පණ්ඩිත
මහාචාර්ය කොටපිටියේ
රාහුල අනුනායක ස්ථවිර
ප්‍රධාන ලේඛකාධිකාරී


මල්වතු පාර්ශ්වයේ අතිගරු මහානායක මාහිමිපාණන්ගේ ශුභාශිංසනය

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ඨානාන්තරයට අභිනවයෙන් පත්වන්නට යෙදුණු ශාස්ත්‍රපති, පණ්ඩිත මකුරුප්පේ සෝමාලංකාර අනුනායක ස්ථවිරපාදයන් වහන්සේට අප මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ශුභාශිංසනය පිරිනමන අතර ම තත් පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් එළිදක්වනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහයට ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කරනුයේ ඉමහත් සංතෝෂයෙනි.

වර්ෂ 1974 දී මධ්‍යම පළාතේ හඟුරන්කෙත වදවල ශ්‍රී විමලාරාමයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යාවට පත්ව වර්ෂ 1980 ජූනි 17 වන දින අධිශීල සංඛ්‍යාත උපසම්පත්තියෙහි පිහිටි මකුරුප්පේ සෝමාලංකාර ස්ථවිරපාදයන් වහන්සේ ශ්‍රී ලංකා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධිය ද දිනාගත් ධර්ම ඥානයෙන් පිරිපුන් ව්‍යක්ත මහථෙර නමක් ලෙස සම්මානයට පාත්‍රව සිටිති.

වසර 31 කට අධික කාලයක් පාඨාශාලාචාර්යවරයෙකු මෙන් ම සම්මානලාභී විද්‍යාලයාධිපතිවරයෙකු ලෙස ද ගුණ-නැණ දෙකින් යුත් අනාගත පරපුරක් බිහිකිරීමෙහිලා සුවිසල් සේවයක් සිදුකොට ඇති ශාස්ත්‍රපති, පණ්ඩිත මකුරුප්පේ සෝමාලංකාර අනුනායක ස්ථවිරපාදයන් ජාතික, ආගමික, හා ශාසනික වශයෙන් සිදු කරන සේවය ප්‍රශංසාර්හ ය.

කෘතහස්ත ලේඛකයෙකු මෙන් ම දේශකයෙකු ලෙස ද ගෞරවයට පාත්‍රවි සිටින අභිනව අනුනායක ස්ථවිරපාදයන් වහන්සේ කෝට්ටේ, ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ විවිධ වගකීම් හා ඨානාන්තරයන් උසුලමින් ශාසනෝන්නතියෙහිලා ප්‍රෝත්සාභීව සිදු කරන කාර්යය ප්‍රශංසනීය ය. සමාජ සුභ සාධනය උදෙසා ස්වකීය දායකත්වය ද ලබා දෙමින් කටයුතු කරන පණ්ඩිත මකුරුප්පේ සෝමාලංකාර ස්ථවිරපාදයන් ශාසන චිරස්ථිතියෙහිලා ප්‍රතිබල සම්පන්න ශිෂ්‍ය පිරිසක් සසුනට දයාද කිරීමට කටයුතු කර ඇත.

සංඝ ශෝභන ගුණයන්ගෙන් ස්වකීය ශාසන බ්‍රහ්මචර්යාව උපශෝභිත කරගනිමින් ගිහි-පැවිදි උභය පාර්ශ්වයේ ම ගෞරව බහුමානයට පාත්‍රව සුසමාදර්ශී භික්‍ෂු ජීවිතයක් ගත කරන ශාස්ත්‍රපති, පණ්ඩිත මකුරුප්පේ සෝමාලංකාරාභිධාන කෝට්ටේ, ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අභිනව අනුනායක ස්ථවිරපාදයන් වහන්සේට උදාර ලෝකශාසනික චර්යාවෙහි නිරත වන්නට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් ආයුරාරෝග්‍ය සම්පත්තිය උදාවේවා’යි ආශංසනය කරම්හ.

ඒ වගත් මෙසේ ම,

මහනුවර උපොෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමඞ්ගලාභිධාන
මහා විහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ,
මල්වතු පාර්ශ්වයේ මහානායක ස්ථවිරයන් වහන්සේ.


අස්ගිරි පාර්ශ්වයේ අතිගරු මහානායක මාහිමිපාණන්ගේ ශුභාශිංසනය

ලංකාවේ බුදු දහම රඳා පැවතියේ සුපේෂල ශික්ෂාකාමි යතිවරයන් වහන්සේලාගේ අසීමිත ශාසනික සේවාව නිසාම බව ප්‍රකට කාරණයකි. රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මකුරුප්පේ සෝමාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද එම ගුණාංගයන්ගෙන් සපිරි මහා තෙර නමකි.

කන්ද උඩරට හගුරන්කෙත දියතිලක පත්තුවේ මකුරුප්ප නම් ග්‍රාමයේ උපත ලැබ දාහතර වසරක් සපිරුණු කල්හි හඟුරන්කෙත වදවල ශ්‍රී විමලාරාමයේ පැවදි බිමට පා තැබූහ. ඉන් පසුව බණ්ඩාරගම, කිදෙල්පිටියේ, ශ්‍රී ශීලස්ඛකන්ධ පිරිවෙණෙහි මූලික අධ්‍යාපනය ලබා හඟුරන්කෙත මාදන්වල ශ්‍රී ධර්මෝදය මහා පිරිවෙණෙහි ද්විතික අධ්‍යාපනය ලැබූහ. 1980 වර්ෂයේ ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී උපසම්පදාව ලැබූහ.

ශ්‍රී ලංකා කැලණිය විශ්ව විද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය සමත්වු පසු එම විශ්ව විද්‍යායේම ශාස්ත්‍රපති උපාධිය ලබාගත්හ. අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමාව මෙන්ම ප්‍රාචීන භාෂෝපාකාර රාජකීය පණ්ඩිත උපාධිය මෙන්ම විදේශ භාෂාවන් පිළිබඳ ප්‍රවීනතාවය ද ලබා ඇත.

ගුරු සේවයට බැදී විදුහල්පති වරයෙකු ලෙස අධ්‍යාපන ශේෂ්ත්‍රයට විශාල සේවයක් ඉටුකළා මෙන්ම පැවිදි ජීවිතය තුළින් සිදුකළා වු ශාසනික සේවාවන් බොහෝමයක් ඇති බව ප්‍රකට කාරණයකි. මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහානිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ අභිනව අනුනායක ධුරයට පත් මකුරුප්පේ සෝමාලංකාර අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට එම පදවිය තුළින් වඩාත් තියුණු ලෙස එම කටයුතු කරගෙන යාමට අවස්ථාව සැලසෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

ශ්‍රී දළදා සමිදුන්ගේ ආශිර්වාදයෙන් උන් වහන්සේ අනාගතයේ සිදුකරන්නා වූ ආගමික සහ සමාජීය සේවාවන් සාර්ථක කරගැනීමට අවශ්‍ය චිත්ත ධෛර්‍ය සහ නිරෝගී සම්පත්තිය ලැබේවායි ආශිංසනය කරම්හ.

ඒ වගත් මෙසේම,

ආචාර්ය වරකාගොඩ ධම්මසිද්ධි
ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන
මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ
අස්ගිරි පාර්ශ්වයේ මහානායක ස්ථවිරයන් වහන්සේ වම්හ.


ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක මාහිමිපාණන්ගේ ශුභාශිංසනය

කිඳෙල්පිටිය ශ්‍රී මහා චේතියාරාම විහාරය, හෙරළියාවල ශ්‍රී සුධර්මාරාම පුරාණ මූල මහා විහාරය, කඩුවෙල ගැමුණුපුර ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරත්‍රයාධිපති, බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයෙහි විශ්‍රාමික විදුහල්පති, පූජ්‍ය මකුරුප්පේ සෝමාලංකාර නායක ස්ථවිරපාදයන් වහන්සේ වෙත මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහානිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කල්‍යාණි සාමගි්‍රීධර්ම මහා සංඝ සභාවේ විසි දෙවන අනුනායක පදවිය පිරිනැමීම පිළබඳව අපගේ ශුභාශිර්වාදය පළමුව පිරිනමමු.

1855 මැයි මස 22 වන දින සමාරම්භ මෙම සංඝ සභාව වසර තිස් හතක් මුලුල්ලේ කල්‍යාණී නදී උදකුක්ඛේප සීමාවෙහි උපසම්පදා විනය කර්ම සිදු කළ අතර 1894 වසරේ සිට එය කෝට්ටේ රාජමහා විහාරස්ථ බන්ධ සීමා මාලකයේදී සිදු කිරීම ආරම්භ කරන ලදී. ඉක්බිතිව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව ලෙස දස දිග පතළ වන්නට විය. එතැන් සිට ධර්මවිනයධර යතිවරයාණන් වහන්සේලා රාශියක් මෙම සංඝ සභාව නියෝජනය කර ඇත. ඒ අතර මහාචාර්ය කොටගම වාචිස්සර, මහාචාර්ය වල්පොල රාහුල, රද්දැල්ලේ පඤ්ඤාලෝක, ලබුගම ලංකානන්ද, හඟුරන්කෙත විමල, මොල්ලිගොඩ ආරියවංස, සාහිත්‍යසූරී බෙල්ලන ඤාණවිමල, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ආදී මහානායක අනුනායක ස්වාමීන් වහන්සේලා රැසක් දෙස්විදෙස් හි සම්භාවනාවට පාත්‍රවෙමින් කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්මමහා සංඝ සභාවට සුවිශාල කීර්තියක් අත්කර දුන්හ. එවන් මහානීය යතිපරපුරක විසිදෙවන අනුනායක පදවියෙන් පිදුම් ලබන ශාස්ත්‍රපති, රාජකීයපණ්ඩිත, පූජ්‍ය මකුරුප්පේ සෝමාලංකාර නායකස්ථවිරපාදයන් වහන්සේට නිදුක් නිරෝගී වැ ලෝ සසුන් වැඩ වඩන්නට තුනුරුවනේ ආශිර්වාදය සැලසේවායී මෙත්සිතින් ප්‍රාර්ථනා කරම්හ.

මෙයට ශාසනෝන්නතිකාමී,
ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක
දොඩම්පහළ චන්ද්‍රසිරි උත්තරීතර මහානායක ස්ථවිර 

සම්බන්ධීකරණය - අනුර බණ්ඩාර පියවඩන

නව අදහස දක්වන්න