වකුගඩු දීමනාවෙන් ජීවත් වුණු අපේ ගෙදරත් අලි කඩා දැම්මා | දිනමිණ

වකුගඩු දීමනාවෙන් ජීවත් වුණු අපේ ගෙදරත් අලි කඩා දැම්මා

අලි කරදරේ නැවැත්තුවොත් බුදු බව ලැබෙනවා
- දිඹුලාගල වයෝවෘද මවක් හැඬූ කඳුළින් කියයි

"බුදු බව අත්වෙයි මහත්තයෝ.., පුළුවන් නම් අලි මිනිස් ගැටුම නවත්තලා දෙන්න මැදිහත් වෙන්න. අපි දෙන්නා වකුගඩු රෝග ආධාරයෙන් ජීවත් වෙන්නේ. අද පාන්දර අලියෙක් ඇවිල්ලා අපි ජීවත් වෙන ගෙදර තුන් පැත්තකින් කැඩුවා. තව පොඩ්ඩෙන් අපේ ජීවිත දෙකම විනාශ වෙනවා, අපට දරුවෝ නෑ. වකුගඩු ආධාරය නොලැබෙන මාසවලට කවුරුන් හෝ යමක් දුන්නොත් තමයි ජීවත් වෙන්නේ. ඉස්පිරිතාලෙට යන්නත් මුදල් ඉල්ලා ගන්නේ අහල පහළින්. අපට අලින්ගෙන් කරදරයක් වෙන්න කලින් ගමට එන වල් අලි කරදරේ විසඳලා දෙන්න."

දිඹුලාගල, පැලටියාව, මගුල්දමන ගම්මානයේ රෝගී තත්ත්වයෙන් පසුවන දරුවන් නොමැති හැත්තෑ එක් වියති ටී.එච්. සමුද්‍රා විජේවංශ මාතාව හැඬූ කඳුළින් එසේ පැවසුවේ සිය නිවෙස වන අලින්ගේ ගොදුරක් බවට පත් වීමේ කනගාටුවෙන් යුතුවය. ඇගේ සැමියා ද වකුගඩු රෝගයෙන් පෙළෙන අතර, මෙම වයෝවෘද්ධ රෝගී යුවළ ජීවත් වන්නේ මාසිකව රජයෙන් දෙන රුපියල් පන්දාහේ වකුගඩු ආධාරයෙනි. එම තත්ත්වය මත අලි විනාශ කළ තම නිවෙස ඉදි කර ගැනීමට නොහැකිව ඔවුහු හඬා වැළපෙමින් සිටිති.

තමන් මුහුණ දුන් තත්ත්වය සම්බන්ධයෙන් එම මාතාව වැඩිදුරටත් මෙසේද කීවාය.

"මේ පැත්තට අලි කරදර එමටයි. ගහක් කොළක් හදා හදාගන්න විදිහක් නෑ, ග්‍රාමසේවක මහත්තයා, වනජීවී මහත්තුරුත්, අපව බලන්න ආවා. හැබැයි මේ ගේ හදාගන්න වන්දි මුදල්ක් දෙන දවසක් කිව්වේ නෑ. ඉතින් අපි අද රෑත්, ඉදිරියටත් ඉන්න වෙන්නේ ලොකු අවදානමක. අපි දෙන්නගේ ජීවිත අලි බිලි ගන්න ඉස්සර අපට උපකාරයක් කරන්න කියා අපි ඉල්ලා සිටිනවා."

මේ පිළිබඳ වෙහෙරගල වනජීවී කාර්යාලයෙන් කළ විමසීමකදී එහි නිලධාරියකු සඳහන් කළේ වර්තමානයේ අලි මිනිස් ගැටුම් වැඩි වී ඇති බවත්, අලින්ගෙන් සිදු වන හානි සඳහා වන්දි ලබා දීමට සටහන් කර ගත්තත් එය ලබා දෙන දිනයක් වකවානුවක් කීමට නොහැකි බවත්ය. අලින් විසින් හානි කරන ලද නිවාසවලට පමණක් රුපියල් කෝටි ගණනක වන්දි මුදල් ලබා දීමට නියමිත බවද ඔහු කියා සිටියේය.

සිරිපුර මධුෂානි අබේසිංහ

නව අදහස දක්වන්න