මන්නා පිහිය ගෙලට තබා එළවළු කඩේ මුදලාලිගේ ලක්ෂ 60ක රන් කොල්ල කාලා‍ | දිනමිණ

මන්නා පිහිය ගෙලට තබා එළවළු කඩේ මුදලාලිගේ ලක්ෂ 60ක රන් කොල්ල කාලා‍

ගල්කිස්ස පීරිස් මාවතේ පිහිටි එළවළු වෙළඳ සැලකට ත්‍රිරෝද රථයකින් පැමිණ කඩාවැදුණු තිදෙනෙක් එහි හිමිකරුගේ ගෙලට මන්නා පිහියක් තබා සිරුරේ පැලඳ සිටි රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් සහ වෙළෙඳාමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 02කට අධික මුදලක් කොල්ලකා පලාගොස් ඇත.

පෙරේදා (01) දහවල් මෙම කොල්ලය සිදුව ඇති බවත් එම අවස්ථාවේදී වෙළඳ සැල තුළ සේවකයින් 08 දෙනෙක් සිට ඇති බවත් ගල්කිස්ස පොලිසිය සඳහන් කරයි.

ගල්කිස්ස පීරිස් පාරේම පදිංචිකරුවෙක් වන 41 හැවිරිදි ව්‍යාපාරිකයෙකු මෙසේ කොල්ලකරුවන් පිරිසකගේ ග්‍රහණයට ලක්ව තිබේ. පොලිසියට ඔහු විසින් කර ඇති පැමිණිල්ලට අනුව පැලඳ සිටි පවුම් 12ක් පමණ බරැති රන් අත්පලඳනා 02ක්, පවුම් 12ක් පමණ බරැති ගෙල බැඳි රන් මාලයක්, පෙන්ඩනයක්, මාලයේ දමා තිබුණු රන් සුර දෙකක් මෙසේ කොල්ලකා තිබේ. එම රන් භාණ්ඩවල මුළු බර පවුම් 28ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වන බව ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත.

ව්‍යාපාරිකයගේ ගෙලට මන්නා පිහියක් තබා කොල්ලය සිදුකර ඇති බැවින් මෙම වෙළඳ සැලේ සිටි සේවකයින් ව්‍යාපාරිකයාගේ ජීවිතාරක්ෂාව පතා සිය බලය කොල්ලකරුවන්ට එරෙහිව යෙදවීමට ගොස් නැති බවද පොලිසිය කියයි.

කොල්ලකරුවන් පැමිණි ත්‍රිරෝද රථයත් කොල්ලකරුවනුත් ඊයේ වන විට පොලිසිය හඳුනාගෙන තිබුණි. ත්‍රිරෝද රථය සොරාගත් එකක් බවත් කොල්ලකරුවන්ද දෙහිවල හා ගල්කිස්ස පැත්තේ සැරිසරන මත්කුඩුවලට තදින්ම ඇබ්බැහි වී සිටින පිරිසක් බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම කොල්ලකරුවන්ව අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ
දෙහිවල - හේරත් හා බිමල් ජයසිංහ

නව අදහස දක්වන්න