පෙට් ස්කෑනරයේ වැඩ යළිත් පුරුදු පරිදි | දිනමිණ

පෙට් ස්කෑනරයේ වැඩ යළිත් පුරුදු පරිදි

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ

පෙට් ස්කෑනර් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය රසායනිකයේ ප්‍රමාදයක් හේතුවෙන් එහි කටයුතු සඳහා බාධා එල්ල වුවත්, මේ වන විට සාමාන්‍ය පරිදි ස්කෑන් කටයුතු සිදු කරන බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

මේ රසායනිකය ගුවන් මඟින් ඉන්දියාවෙන් මෙරටට රැගෙන එන අතර, පසුගිය සතියේ එම රසායනිකය 100ක් ඇණවුම් කර තිබෙන නමුත් ගුවන් යානාවල යම්කිසි ප්‍රමාදයක් හේතුවෙන් ලැබී ඇත්තේ 70ක් පමණක් බව පෙන්වා දෙන ඒ මහතා මේ හේතුවෙන් දිනකට සිදු කරන ස්කෑන් ප්‍රමාණය නියමිත පරිදි සිදු කිරීමට නොහැකි වූ බවද පෙන්වා දෙයි.

මේ වන විට දිනකට ස්කෑන් කටයුතු 10ක් සිදු වන බව පෙන්වා දෙන ඒ මහතා ඒ අනුව අදාළ රසායනිකයේ විකිරණ ධාරිතාව හීන වීම හේතුවෙන් ස්කෑන් 7ක් වැනි ප්‍රමාණයක් පමණක් සිදු කිරීමට සිදු වූ නමුත් අද වන විට සාමාන්‍ය පරිදි ස්කෑන් කටයුතු සිදු කරන බවද කියාසිටී.

ඉන්දියාවේ සිට එම රසායනිකය මෙරටට ආනයනය කිරීමේදී එහි විකිරණ ධාරිතාව මිනිත්තු 110කට වරක් සියයට 50ක පමණ ප්‍රමාණයක් හීන වන බව පෙන්වා දෙන අධ්‍යක්ෂවරයා මේ හේතුවෙන් අදාළ රසායනිකය කඩිනමින් මෙරටට ළඟා විය යුතු බවද පසුගිය දිනවල අවශ්‍ය ප්‍රමාණයෙන් ආනයනය කළ බවද සඳහන් කරයි.

රෝගීන්ගේ සිරුරේ පවතින පිළිකාවේ ස්වභාවය නිවැරදිව හඳුනා ගැනීමටත් පසු විපරම් ප්‍රතිකාර සඳහාත් මේ පෙට් ස්කෑනර් යන්ත්‍රය මහඟු කාර්යභාරයක් ඉටු කරයි.

නව අදහස දක්වන්න