ලක්දිව සියම් උපසම්පදාවට 270 වසක් සපිරීම සමරමින් වැඩි තායි භික්ෂු දූත පිරිසට මහනුවරදී මහත් හරසර | දිනමිණ

ලක්දිව සියම් උපසම්පදාවට 270 වසක් සපිරීම සමරමින් වැඩි තායි භික්ෂු දූත පිරිසට මහනුවරදී මහත් හරසර

උපසම්පදාව ලද භික්ෂූන් වහන්සේ නමක සොයා ගත නොහැකිව ලක්දිව සම්බුදු සසුන පිරිහී ගොස් තිබුණු අවස්ථාවක කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස වැලිවිට අසරණ සරණ ශ්‍රී සරණංකර හිමි ප්‍රමුඛ කණ්ඩායමක් සියම් දේශයට ගොස් ප්‍රවර උපාලි තෙරුන් ප්‍රමුඛ උපසපන් භික්ෂු පිරිසක් මෙරටට වැඩම කරවා ලක්දිව යළි උපසම්පදාව පිහිටුවා වසර 270ක් සපිරීම ස්මරණය කරමින් මෙරටට වැඩම කළ තායිලන්ත භික්ෂූන් වහන්සේ පිළිගැනීමේ විශේෂ පුණ්‍යෝත්සවයක් ඊයේ (23) මල්වතු අස්ගිරි උභය මහා විහාර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

මෙලෙස සියම් දේශයෙන් වැඩමවූ උපාලි නාහිමිගේ ප්‍රමුඛත්වයෙන් බිහි වූ බැවින් මල්වතු අස්ගිරි උභය මහා විහාර පාර්ශ්වය ‘ශ්‍යාමෝපාලි මහා නිකාය‘ ලෙස හඳුන්වනු ලබන අතර, එකල ප්‍රවර උපාලි හිමි ප්‍රමුඛ මහා සංඝරත්න මුහුදු මාර්ගය ඔස්සේ ලක්දිවට ගොඩබටුයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙනි. ඒ අසිරිමත් අවස්ථාව සිහි ගන්වනු පිණිස එහි රෝපණය කර තිබෙන බෝ සෙවණේ සිට පසුගිය 14 දින ගමන් ආරම්භ කළ 48 දෙනකුගෙන් සමන්විත තායි භික්ෂු කණ්ඩායම සැදැහැවතුන් සමඟ කන්තලේ, හබරණ, දඹුල්ල, මාතලේ ඔස්සේ පෙරේදා (22) මහනුවරට ළඟා වූහ.

මුලින් මල්වතු මහා විහාරයට ගිය තායිලන්ත භික්ෂු කණ්ඩායම මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමි ප්‍රමුඛ විංසත්වර්ගික කාරක සංඝ සභික හිමිවරුන් විසින් පිළිගනු ලැබූහ. පසුව තායිලන්ත භික්ෂු කණ්ඩායමට නායකත්වය දුන් ප්‍රා හිමි ඇතුළු පිරිස මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමි බැහැදැක ආශීර්වාද ලැබූහ.

අලංකාර පෙරහරකින් තායි භික්ෂු කණ්ඩායම අස්ගිරි මහා විහාරයට ගමන් ගනිද්දී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි අනුනාහිමියෝ උන්වහන්සේ සමඟ එක්ව පෙරහරින් අස්ගිරි මංගල උපෝෂිතාගාරය වෙත වැඩම කළහ.

එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමි ප්‍රමුඛ විංසත්වර්ගික කාරක සංඝ සභික හිමිවරු පිරිත් සජ්ඣායනය කර, පාගමනින් වැඩම කළ තායි භික්ෂූන් වහන්සේට ආශීර්වාද කළහ.

තායි භික්ෂූන් වහන්සේ ත්‍රිකුණාමලයට වැඩම කළ අවස්ථාවේ යාපනයේ සිට පැමිණි පිරිසක් යම් විරෝධයක් දැක්වූ බවත්, බෞද්ධ රටේ බෞද්ධාගමික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නොහැකි ඇයිද යන හැඟීම බෞද්ධ ජනතාව තුළ එම අවස්ථාවේ ඇති වූ බවත් මෙහිදී අදහස් දැක්වූ වේඬරුවේ උපාලි අනුනාහිමියෝ පැවසූහ. රාජ්‍ය උත්සවයක් නොවූවද රජය මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට විශාල සහායක් දුන් බවත් මේ ඔස්සේ විශාල බෞද්ධ පිබිදීමක් නිර්මාණය වූ බවත් උන්වහන්සේ කීහ. ත්‍රිකුණාමලයේ සිට වැඩම කරගෙන පැමිණි ප්‍රවර උපාලි හිමි පිළිරුව අස්ගිරි ගෙඩිගේ විහාරස්ථානයේ තැන්පත් කිරීම වේඬරුවේ උපාලි අනුනාහිමිගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි. මේ අවස්ථාවට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහත්වරුද සහභාගි වූහ.

ඡායාරූප - රුවන් මීගම්මන

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න