නව කම්කරු නීතිය ජූනි මුල වන විට කෙටුම්පත් කරනවා | දිනමිණ

නව කම්කරු නීතිය ජූනි මුල වන විට කෙටුම්පත් කරනවා

අනුර ප්‍රේමලාල්

නව කම්කරු නීති පද්ධතිය ජූනි මස මුල වන විට කෙටුම්පත් කිරීමට අපේක්ෂා කරන බවත්, එම දළ කෙටුම්පත ආයෝජන කලාපද ඇතුළුව සියලු ක්ෂේත්‍රවල වැඩ කරන ජනතාව වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ අනුමැතිය ගැනීමට අපේක්ෂා කරන බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා වන ඉන්ෆ්ල්ක්ස් බුද්ධිමය සංවාද වේදිකාවේ සිව් වැනි සැසියට පෙරේදා (24) එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය:

“අපේ අරමුණ අලුතින් ගෙන ඒමට බලාපොරොත්තු වන නව කම්කරු නීතිය සම්බන්ධයෙන් පුළුල් සමාජ කතිකාවක් ඇති කරගැනීමයි. ඒ සඳහා ජනමාධ්‍ය අපට ලොකු සහයෝගයක් දක්වනවා. ඒ සම්බන්ධයෙන් සියලු මාධ්‍ය ආයතනවලට අපේ ස්තුතිය පළ කරනවා. ඒ වගේම අපට ආරංචි වී තිබෙනො මේ වන විට මේ සම්බන්ධයෙන් නොයෙක් තැන්වල විවිධ සංවාද ආරම්භ කරන්න සූදානම් කර තිබෙනවා කියලා. අපට ඕනෑ කරල තිබුණු දේත් මෙන්න මේක තමයි. අලුත් කම්කරු නීතිය හදන එක සම්බන්ධයෙන් සමාජයේ සෑම ස්තරයකම කතාබහක් ඇති විය යුතුයි. සමාජයේ සෑම ස්තරයකම, අලුතෙන් හදන මේ කම්කරු නීතිය පිළිබඳව යෝජනා, චෝදනා, විරෝධතා සහ සැකසංකා ඉදිරිපත් විය යුතුයි. විවිධ මත ඉදිරිපත් වුණොත් තමයි මේ කටයුත්ත වඩාත් ශක්තිමත්ව කළ හැකි වන්නේ. උගත් නීතිඥ මහත්මියක් පවා කෙටුම්පතේ තිබෙනවායැයි කියමින් නැති දේවල් ගැන අදහස් පළ කරලා තිබුණ. ඒත් මෙහෙම වේදිකාවක් තිබෙන නිසා එම සාවද්‍ය ප්‍රකාශවලට උත්තර දෙන්න අපට පුළුවන් වී තිබෙනවා. බොරුවක් කිවුවා වුණත් මේ කතිකාව ගොඩනැගීමට ඔවුන් දායක වීම සම්බන්ධයෙන් ඒ සියලු දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා.

“කම්කරු උපදේශක සභාවෙන් ඉදිරිපත් වන කරුණු, කම්කරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වන කරුණු තිබෙනවා. ලබන සතිය වන විට කම්කරු නිලධාරීන්ගේ අදහස් ගැනීමට අප අදහස් කරනවා. අපි මේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට රාජ්‍ය අංශයේ වෘත්තීය සමිතිවලටත් ආරධනා කර තිබෙනවා. මේ විදිහට විවිධ ක්ෂේත්‍රවලට ආරාධනා කර මේ කරුණු ගොනු කර ගැනීම අප මේ වන විට සිද්ධ කරමින් ඉන්නවා. ඒ ගොනු කර ගන්නා වූ අදහස්වලින් සකස් කර ගන්නා වූ දළ කෙටුම්පත අප කම්කරු උපදේශක සභාව වෙත යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කම්කරු උපදේශක සභාව නියෝජනය නොකරන වෘත්තීය සමිතිවලටත් අපි මෙම සකස් කරගන්නා වූ දළ කෙටුම්පත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කතිකාවෙන් පසුව හදන මේ දළ කෙටුම්පත ආයෝජන කලාපවල සේවය කරන අය ද ඇතුළුව සියලු ක්ෂේත්‍ර නියෝජනය කරන වැඩ කරන ජනතාව වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ අනුමැතිය ගැනීමට අපේක්ෂා කරනවා. අප මේ කටයුත්ත කරන්නේ උපරිම පාරදෘශ්‍ය භාවයෙන් යුතුවයි. අද මේ සාකච්ඡාව පවා සජීවීව විකාශය කිරීමට අප කටයුතු කර තිබෙන්නේ අන්න ඒ උදෙසායි.

“අනෙක් කාරණය: ජාතික කම්කරු උපදේශක සභාව පිළිබඳව පහුගිය දවස්වල මාධ්‍යවල යම් යම් කරුණු වාර්තා වී තිබුණා.ඒ උපදේශක සභාව ක්‍රියාත්මක වන්නේ කම්කරු නීතියට අනුකූලවයි. ඒ වගේම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රඥප්තිවලට අනුකූලවයි. ඒ අනුව එහි සංයුතිය අවුරුද්දකට වතාවක් වෙනස් කිරීමට ඇමැතිවරයාට බලය තිබෙනවා. ඒ අනුව මම ඒ සඳහා අලුතින් සාමාජිකයන් එම සභාවට පත් කරන්න කටයුතු කර තිබෙනවා. ඒ සෑම පත්කිරීමක්ම කර තිබෙන්නේ සියයට සියයක්ම නිවැරදිව නීතියට අනුකූලවයි. මේ නව සාමාජිකයන් පත්කිරීමේ කටයුත්තේදී කිසිම අත්තනෝමතික තීන්දුවක් මම අරගෙන නෑ. එහිදී සක්‍රීය සමාජිකයන් වැඩිම පිරිසක් සහිත වෘත්තීය සමිතිවලට මේ සභාව නියෝජනය කරන්න අවස්ථාව දී තිබෙනවා. සමහර වෘත්තීය සමිතිවල සමාජිකයන් විසිදාහ තිස්දාහ වගේ ලොකු ගානක් ඉන්නව කියලා කිවුවාට, ඇත්තටම සාමාජික මුදල් ගෙවන සක්‍රීය සාමාජිකයන් ඉන්නේ දාහක් දෙදාහක් වගේ ඉතා ටික දෙනයි. ඉතින් සක්‍රිය සාමාජිකයන් විශාල පිරිසක් සිටින වෘත්තීය සමිති පැත්තකින් තියලා එහෙම වෘත්තීය සමිතිවලට මේ සභාවේ සාමාජිකත්වය දෙන්නෙ කොහොමද? ඒ නිසා ඉතිහාසයේ මෙතෙක් කරපු වැරදි නැවත නැවත කරන්න නොවෙයි ඇමැතිවරයා විදිහට මම කටයුතු කරන්නේ. ඒ වගේම ඉතිහාසයේ කරපු වැරදි නැවත නැවත කරන්න නෙමෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් මේ රජය කටයුතු කරන්නේ.

“යල් පැන ගිය අපේ රටේ කම්කරු නීතිය වෙනස් කිරීම මගේ වුවමනාවක් නෙමෙයි; ඒක රටේ ජනතාවගේ වුවමනාවක්. මේ වැඩේ ඇතුළෙ කිසිම සැඟවුණු න්‍යායපත්‍රයක් නැති බව මම කියන්න කැමතියි. මේ පහු වෙච්ච සාකච්ඡා වාර කිහිපයේදී අප නව කම්කරු නීතිය සම්බන්ධයෙන් කරුණු ගණනාවක් සාකච්ඡා කර තිබෙනවා. විශේෂයෙන්ම අවම වැටුප සහ ප්‍රසූත නිවාඩු වගේ කාරණා ඒ අතර තිබෙනවා. අවම වැටුප සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වෙනවා. ඊ.පී.එෆ් සහ ඊ.ටී.එෆ් වඩාත් ශක්තිමත් කර නව සමාජ ආරක්ෂණ දැලක් නිර්මාණය කරන්න අප බලාපොරොත්තු වෙනවා. දේශීය ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් වගේම වතු කම්කරුවන් සම්බන්ධයෙනුත් අප අපේ අවධානය යොමු කළ යුතුයි. නිවාඩු සම්බන්ධයෙන් අපේ නීති කෙසේ සකස් විය යුතුයි ද කියලත් අප බැලිය යුතුයි. මොකද ලෝකයේ නිවාඩු වැඩිම රටක් අපි. ඒ නිසා ඒ නිවාඩු තවත් වැඩි කර ගන්නවාද නිවාඩු අඩු කරගෙන වැඩියෙන් වැඩ කර රට දියුණු කරනවාද කියා කල්පනා කරන්න කාලය උදා වී තිබෙනො. නිකං පඩි ගන්න ශ්‍රම බළකායක් වෙනුවට සක්‍රීය, ජවසම්පන්න සහ ඵලදායි ශ්‍රම බළකායක් බිහිකර ගැනීමට අපි සියලු දෙනා කටයුතු කරමු.“

නව අදහස දක්වන්න