පොසොන් සතිය අදින් ඇරැඹේ | දිනමිණ

පොසොන් සතිය අදින් ඇරැඹේ

ජාතික පොසොන් සතිය අදින් (31) ඇරඹේ. ජුනි 6 වැනිදායින් පොසොන් සතිය ප්‍රකාශයට පත් වන අතර මිහින්තලය, තන්තිරිමලය හා අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් අනුරාධපුර පොසොන් මංගල්‍යය පැවැත්වෙයි.

පොසොන් සමයේ නන්දෙසින් බැතිමතුන් විශාල පිරිසක් මෙවර අනුරාධපුරයේ වන්දනාමාන කිරීම සඳහා පැමිණෙතැයි අපේක්ෂා කරන බවත් එම බැතිමතුන්ගේ ආරක්ෂාව ඇතුළු සියලු පහසුකම් සලසා දීමට පියවර ගෙන ඇති බවත් ජාතික පොසොන් කමිටු සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා සඳහන් කළේය.

පොසොන් උත්සවය පිළිබඳව ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව පැවසූ ලේකම් ජනක ජයසුන්දර මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

රජයේ මූල්‍ය කළමනාකරණයට අනුගත වෙමින් හැකි පමණින් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට උපරිම පහසුකම් ලබා දීමට අනුරාධපුර පොසොන් කමිටුව පියවර ගෙන තිබෙනවා. පසුගිය වසර කීපය තුළදී විවිධ අර්බුදකාරී තත්ත්වයන් පැවතීම හේතුවෙන් අනුරාධපුරයට බැතිමතුන්ගේ පැමිණීම ඉතා අඩු වුවද මෙවර බැතිමතුන් විශාල පිරිසක් අපේක්ෂා කරනවා. එම බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජලාශ ආශ්‍රිතව ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීමට කටයුතු කර ඇති බවත් අනුරාධපුරය ආසන්නයේ පටු පාලම් ඇති බැවින් දුම්රියෙන් අනුරාධපුරයට පැමිණෙන ජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

එමෙන්ම අනුරාධපුරයේ ගමන් පහසුව වෙනුවෙන් පොලිස් රථ වාහන අංශය මඟින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බැවින් ඊට අනුගත වන ලෙසත් පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථානවලට හානිදායක නොවන ලෙස හැසිරෙන ලෙසත් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කළේය.

එමෙන්ම මෙම පොසොන් සතිය ක්‍රියාත්මක වන කාලය පුරා අනුරාධපුරයේ සුරාසල් සහ මත්ස්‍ය වෙළෙඳසල් වසා දැමීමට කටයුතු කරන බව ද පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කිරීම වෙනුවෙන් පැවැත්වෙන මෙම ආගමික උත්සවය සැණකෙළියක් හෝ විනෝද චාරිකාවක් බවට පත් කර නොගන්නා ලෙසත්ය.

අනුරාධපුර අතිරේක - අමිල ප්‍රභාත් වනසිංහ

නව අදහස දක්වන්න