Home » ගුණාත්මකභාවයෙන් යුත් ඖෂධ ඉදිරියේදී අඛණ්ඩව රෝගීන්ට

ගුණාත්මකභාවයෙන් යුත් ඖෂධ ඉදිරියේදී අඛණ්ඩව රෝගීන්ට

by chanaka
October 28, 2023 9:26 am 0 comment

ඉදිරියේදී ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ අඛණ්ඩව රෝගීන්ට ලබාදීමට කටයුතු කරන බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ(27) කොළඹ ජාතික රෝහලට පැමිණි අවස්ථාවේදීය.

ඊයේ පෙරවරුවේ පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදිපිළි වෙළෙඳ සැලක ඇතිවූ ගින්නෙන් තුවාල ලබා කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ තත්වය සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා හදිසියේම ජාතික රෝහලට පැමිණියේය. එහිදී නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ හා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් 6 දෙනා පිළිබඳව සොයාබැලූ අමාත්‍යවරයා ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය සෑම පහසුකමක්ම ලබා දෙන ලෙස කොළඔ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ ඇතුළු රෝහල් බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගුණාත්මකභාවයෙන් යුත් ඖෂධ අඛණ්ඩව රෝගීන්ට ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇතිබවත් සෞඛ්‍ය සේවයට ප්‍රමුඛත්වය ලබාදෙමින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදී වෛද්‍ය සැපයුම්කරුවන්ගේ ගෙවීම් ඉක්මනින්ම ගෙවා අවසන් කරන බවයි.

එසේම පසුගිය කාලයේ ලංකාවේ ඇතිවූ ආර්ථික අර්බුදයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් රට හැරයාම වැලැක්වීම සඳහා වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් හට අවශ්‍ය පහසුකම් ලබා දීමට පියවර ගන්නා බවද පැවසිය. සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය වෘත්තිකයන් බඳවා ගැනිමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවූ බවත් ඒ අනුව සීමාවාසික වෛද්‍යවරුන් පිරිසකට අද දින පත්වීම ලබාදුන් බවත් ඉදිරියේදී හෙද හෙදියන් ඇතුළු අතුරු වෛද්‍ය සේවාව සඳහා බඳවා ගැනීම් සිදුකරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. ‍

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT